අක්නාටන්
From Wikipedia, the free encyclopedia
අක්නාටන් (/ˌækəˈnɑːtən/;[1] එක්නේටන්,[7] අක්නේටන්,[8]ඉක්නේටන්,[9]සහ ඛුඑනාටන්;[10][11]ලෙස ද හඳුන්වයි; අරුත "ආටන් වෙනුවෙන් ක්‍රියාකාරී") හෙවත් සිය පස්වන රාජ්‍ය වර්ෂයට පෙර අමෙන්හොටෙප් IV (ඇතැම්විට ග්‍රීක ස්වරූපයෙන් අමෙනෝෆිස් IV ලෙස ද දක්වයි, අරුත: අමුන් සතුටට පත් කළ) ලෙස හැඳින්වෙන්නේ පුරාතන ඊජිප්තුවේ 18වන රාජවංශයේ පාරාවෝවරයෙකි. ඔහු විසින් වසර 17ක් රාජ්‍යය පාලනය කොට ඇති අතර, ඇතැම්විට ක්‍රි.පූ. 1336 හෝ 1334දී මියගොස් ඇත. ඔහු වඩාත් ප්‍රසිද්ධ වී ඇත්තේ සම්පදායික ඊජිප්තු බහුදේවවාදය බැහැරකොට ආටන් ඇදහීම වටා කේන්ද්‍රගත වූ ආගමික සංකල්පයක් හඳුන්වා දීම නිසාවෙනි. මෙය ඇතැම් අවස්ථාවල දී, සමේශ්වරවාදයක් හෝ අර්ධ-ඒකදේවවාදී ආගමික සංකල්පයක් ලෙස සැලකේ. පැරණි ශිලාලේඛනවල ආටන්ව හිරු ලෙස හඳුන්වා තාරකා සමග සසඳා ඇත. නමුත් පසුකාලීන නිල භාෂාව අනුව ආටන් යනු දෙවිකෙනකු ලෙස පැවසීම තහනම් කොට ඇති අතර, ඔහුට සාමාන්‍ය දෙවිකෙනකුට වඩා උසස් “සූර්ය දේවතාවා” නම් තත්ත්වයක් ලබා දී ඇත.
අක්නාටන් අමෙන්හොටෙප් IV | |
---|---|
අමෙනෝෆිස් IV, නැෆු(`)රුරෙයා, ඉඛ්නේටන්[1] | |
මුල්කාලීන අමර්ණ සම්ප්රදාය අනුව නිර්මිත අක්නාටන්ගේ ප්‍රතිමාවක්. | |
පාරාවෝ | |
රාජ්‍ය සමය | ක්‍රි.පූ. 1353–1336[2] හෝ ක්‍රි.පූ. 1351–1334[3] (ඊජිප්තුවේ 18වන රාජවංශය) |
පූර්වප්‍රාප්තිකයා | අමෙන්හොටෙප් III |
අනුප්‍රාප්තිකයා | ස්මෙන්ඛ්කරේ හෝ නෙෆර්නෙෆරුආටෙන් |
වල්ලභ | නෙෆර්ටිටි කියා මෙරිටාටෙන් අන්ඛෙසෙනමුන් හඳුනා නොගත් සොයුරියක් |
දරුවන් | ස්මෙන්ඛ්කරේ? මෙරිටාටෙන් මෙකෙටාටෙන් අන්ඛෙසෙනමුන් නෙෆර්නෙෆරුආටෙන් ටැෂෙරිට් නෙෆර්නෙෆරුරේ සෙටෙපෙන්රේ ටුටන්ඛාමුන් අන්ඛෙසෙන්පාතෙන් ටැෂෙරිට්? |
පියා | අමෙන්හොටෙප් III |
මව | ටියේ |
මරණය | ක්‍රි.පූ. 1336 හෝ 1334 |
භූමදානය | අක්නාටන්ගේ රාජකීය සොහොන්ගැබ, අමර්ණ (මුල් සොහොන්ගැබ) KV55 (මතභේදාත්මක ය)[6] |
ස්මාරක | අක්ටාටන්, ගෙම්පාටෙන්, හ්ව්ට්-බෙන්බෙන් |
අක්නාටන් සම්ප්‍රදායික ඊජිප්තු ආගමට නැවතුම තබන්නට උත්සාහ ගත්ත ද, අවසානය වනතුරුත් එය අනුමත වූයේ නැත. ඔහුගේ මරණින් පසු, සම්ප්‍රදායික ආගම යළි ස්ථාපනය කෙරිණි. වසර දොළහකට පමණ පසු 18වන රාජවංශයේ අනුප්‍රාප්තියට පැහැදිළි අයිතියක් නොතිබූ පාලකයින් විසින් නව රාජවංශයක් පිහිටුවූ අතර, ඔවුන් විසින් අක්නාටන් සහ ඔහුගෙන් පසු බලයට පත් වූ පාලකයින් නින්දාවට ලක් කොට ඇත. ඔවුන් සිය ලේඛන වාර්තා ආදියෙහි අක්නාටන් හඳුන්වා ඇත්තේ "සතුරා" හෝ "එම අපරාධකරු" වැනි වදන්වලිනි.[12]
ආටන් දෙවිඳුන් වෙනුවෙන් අක්නාටන් විසින් අමර්ණ ප්‍රදේශයේ ඉදිකළ අක්ටාටන් නගරය 19වන සියවසේ දී සොයාගන්නා තෙක්ම ඔහු පිළිබඳ තොරතුරු ඉතිහාසයෙන් සැඟවී තිබිණි. ෆ්ලින්ඩර්ස් පෙට්‍රී විසින් අමර්ණ නගරයේ සිදුකළ මුල්කාලීන කැනීම් හේතුවෙන් මේ ගුප්ත පාරාවෝවරයා පිළිබඳ විද්වතුන් තුළ වූ උනන්දුව වැඩි විය. 1907දී එඩ්වඩ් ආර්. අයිර්ටන් විසින් පොළොවෙන් යට වී තිබූ KV55 සොහොන්ගැබෙන් මමියක් සොයාගත් අතර, එය අක්නාටන්ගේ වියහැකි යැයි විශ්වාස කෙරිණි. එහි DNA විශ්ලේෂණය අනුව පෙනී ගියේ KV55 සොහොන්ගැබේ භූමදානය කොට ඇති පුද්ගලයා ටුටන්ඛාමුන් රජුගේ පියා බවයි.[13] නමුත් එය සැබැවින්ම අක්නාටන්ගේ ද යන්න ගැටලු සහගත ය.[6][14][15][16][17]
අක්නාටන් සහ ඔහුගේ රැජින වූ නෙෆර්ටිටි පිළිබඳ පවසන විට ඔහු සහ ටුටන්ඛාමුන් අතර ඇති සම්බන්ධය ද අමතක කළ නොහැකි ය. (ටුටන්ඛාමුන්ගේ මව නෙෆර්ටිටි නොවේ. ටුටන්ඛාමුන්ගේ මව, පුරාවිද්‍යාඥයින් විසින් “ලාබාල යුවතිය” ලෙස හඳුන්වන මමිය අයත් තැනැන්තියයි.) එසේම ඔවුන් විසින් හඳුන්වා දුන් විශිෂ්ට කලා සම්ප්රදාය මෙන්ම ඔහු ස්ථාපනයට උත්සාහ ගත් ආගම ද ඔහුගේ සුවිශේෂී බවට හේතු වී ඇත.