![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/78/Ankhesenpaaten-StatuetteHead_BrooklynMuseum.png/640px-Ankhesenpaaten-StatuetteHead_BrooklynMuseum.png&w=640&q=50)
අන්ඛෙසෙනමුන්
From Wikipedia, the free encyclopedia
අන්ඛෙසෙනමුන් (ˁnḫ-s-n-imn, "ඇගේ දිවිය අමුන්ගේ ය"; ක්‍රි.පූ. 1348 පමණ – 1322 පසුව) යනුවෙන් හැඳින්වෙන්නේ ඊජිප්තුවේ දහඅටවන රාජවංශයේ රැජිනකි. අන්ඛෙසෙන්පාටන් ලෙස උපන් ඇය, පාරාවෝ අක්නාටන්ගේ සහ ඔහුගේ මහා රාජකීය බිරිඳ වූ නෙෆර්ටිටිගේ දියණියන් සය දෙනා අතුරින් තුන්වැන්නිය වූවා ය. ඇය සිය අර්ධ-සොයුරා වූ ටූටන්ඛාමූන්ගේ මහා රාජකීය බිරිඳ බවට පත්වූවා ය.[1] ඇගේ පියාගේ මරණින් පසු පුරාතන ඊජිප්තු ආගමේ සිදු වූ වෙනස්වීම්වලට අනුකූලව ඇගේ නාමය ද පසුකලෙක වෙනස් විය. ඇගේ දෙමව්පියන්ගේ සමයට අයත් පුරාතන කැටයම් සහ සිතුවම්වල ඇගේ යොවුන් විය සවිස්තරව නිරූපණය කර තිබේ. ටූටන්ඛාමූන් සහ අන්ඛෙසෙනමුන්ගේ පියා එකම තැනැත්තකු වූව ද, මෑතකාලීන ජාන විද්‍යාත්මක සාක්ෂි අනුව පෙනීගොස් ඇත්තේ ටූටන්ඛාමූන්ගේ මව අක්නාටන්ගේ සොයුරියක, එනම් IIIවන අමෙන්හොටෙප්ගේ හඳුනානොගත් දියණියක බවයි.
අන්ඛෙසෙනමුන් | |
---|---|
![]() | |
ඊජිප්තුවේ අගබිසව | |
නිල කාලය | ක්‍රි.පූ. 1332 –1323 |
උපත | ක්‍රි.පූ. 1348 පමණ තීබ්ස් |
මරණය | ක්‍රි.පූ. 1322 (26 වියැති පමණ) |
භූමදානය | ඇතැම්විට KV21 |
වල්ලභයා | අක්නාටන් (පියා/මාමණ්ඩිය/මස්සිනා-මාමණ්ඩිය) ටූටන්ඛාමූන් (අර්ධ-සොයුරා/මස්සිනා) ආයි (මුත්තණුවන්/මහා-මාමණ්ඩිය) |
දරුවන් | මළ බිළිඳියන් දෙදෙනෙක් |
පියා | අක්නාටන් |
මව | නෙෆර්ටිටි |
ආගම | පුරාතන ඊජිප්තු ආගම |
ඇය බොහෝවිට අක්නාටන්ගේ රාජ්‍ය සමයේ 4වන වර්ෂයේ උපත ලබන්නට ඇතැයි විශ්වාස කෙරේ. ඇගේ පියාගේ 12වන වර්ෂයේ දී ඇය සමග ඇගේ බාල සොයුරියන් තිදෙනා නිරූපණය කොට තිබේ. ඇගේ පියා විසින් සිය භාර්යාව (නෙෆර්ටිටි) සම-අනුරාජ පදවියට පතකර ඇති බව පෙනේ. ඔහුගේ පවුල තාත්වික ස්වරූපයෙන් සියලු නිල කලා නිර්මාණවල නිරූපණය කොට තිබේ.
නිසැකවම අන්ඛෙසෙනමුන් එක් රජකුටවත් විවාහ කර දී ඇත. ඇය පාරාවෝ ටූටන්ඛාමූන්ගේ මහා රාජකීය භාර්යාව වූවා ය. ඇයව කෙටි කාලීනව ටූටන්ඛාමූන්ගේ අනුප්‍රාප්තිකයා වූ ආයිට ද විවාහ කරදුන්නා විය හැක. ඇතැමුන් විශ්වාස කරන්නේ ආයි ඇගේ මාතෘ පාර්ශ්වීය මුත්තණුවන් බවයි.[2] ඇය ඇතැම්විට ඇගේ මවගේ මරණින් පසු අක්නාටන්ගේ හෝ ඔහුගේ සම-අනුරාජයා වූ ස්මෙන්ඛ්කරේගේ මහා රාජකීය භාර්යාව වී යැයි ඇතැම්හු පවසති.
2010 පෙබරවාරි මස ප්‍රකාශිත මෑතකාලීන DNA පරීක්ෂාවක් අනුව, යෝජනා වී ඇත්තේ KV21 සොහොන්ගැබේ භූමදානය කළ 18වන රාජවංශයේ රැජිනියන් දෙදෙනාගේ මමීවලින් එකක් ඇගේ විය හැකි බවයි. DNA අනුව, මෙම මමී දෙකම රාජකීය සාමාජිකයන්ගේ බව පෙනේ.[3]