![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/64/Small_aten_temple.jpg/640px-Small_aten_temple.jpg&w=640&q=50)
අමර්ණ
From Wikipedia, the free encyclopedia
අමර්ණ (අරාබි: al-‘amārnahالعمارنة ) යනු ඊජිප්තු පුරාවිද්‍යා භූමියක් වන අතර, එය පසුකාලීන දහඅටවන රාජවංශයේ රාජ්‍ය කළ අක්නාටන් පාරාවෝවරයා විසින් අලුතෙන්ම ස්ථාපනය කළ නව අගනගරයේ නටබුන් සහිත ය. මෙම අගනගරය ඔහුගේ මරණින් පසු (ක්‍රි.පූ. 1332) අත්හැර දමා ඇත.[1] මෙම නගරය සඳහා පුරාතන ඊජිප්තුවාසීන් භාවිත කර ඇත්තේ අක්ටාටන් (හෝ අක්ටේටන්—විවිධාකාරයෙන් පරිවර්තනය කෙරේ) යන නාමයයි. අක්ටාටන් යන්නෙහි අරුත "ආටෙන්ගේ ක්ෂිතිජය" යන්නයි.[2]
العمارنة | |
![]() අක්ටාටන්හි ඇති කුඩා ආටන් දෙව්මැදුරක් | |
විකල්ප නම | එල්-අමර්ණා, ටෙල් එල්-අමර්ණා |
---|---|
පිහිටීම | මින්යා පළාත, ඊජිප්තුව |
කලාපය | ඉහළ ඊජිප්තුව |
මාදිලිය | ජනාවාසය |
ඉතිහාසය | |
ගොඩනැගූ තැනැත්තා | අක්නාටන් |
ස්ථාපිත දිනය | ක්‍රි.පූ. 1346දී පමණ |
යුග | ඊජිප්තුවේ දහඅටවන රාජවංශය, රෝම අධිරාජ්‍යය |
මෙම ප්‍රදේශය පිහිටා ඇත්තේ නයිල් ගංගාවේ නැගෙනහිර ඉවුරේ වර්තමාන ඊජිප්තුවේ මින්යා පළාතේ, අල්-මින්යා නගරයේ සිට කිලෝමීටර 58ක් (සැතපුම් 36) දකුණට වන්නට සහ ඊජිප්තුවේ කයිරෝ අගනුවර සිට කිලෝමීටර 312ක් (සැතපුම් 194) දකුණට වන්නට ය. එසේම එය ලුක්සෝර් සිට කිලෝමීටර 402ක් (සැතපුම් 250) උතුරට වන්නට පිහිටා ඇත.[3] ඩේර් මවාස් නගරය, අමර්ණ සිට කෙළින්ම බටහිරින් පිහිටා ඇත. අමර්ණ නගරයට නැගෙනහිර දෙසින් නූතන ගම්මාන කිහිපයක්ම වන අතර, ඒ අතර උතුරින් වූ එල්-ටිල් සහ දකුණින් වූ එල්-හැග් ක්වැන්ඩිල් ගම්මාන ද වේ.
මෙම භූමිය පසුකාලීන රෝම සහ මුල්කාලීන ක්‍රිස්තියානු සමයන්හි යටත් කොට ගෙන ඇත. නගරයේ දකුණින් වූ කැනීම්වලින් මෙම යුගයට අයත් ඉදිකිරීම් හමුවී ඇත.[4]