ද්‍රෞපදි රථ
From Wikipedia, the free encyclopedia
ද්‍රෞපදී රථ යනුවෙන් හැඳින්වෙන්නේ මහාබලිපුරම් හෙවත් අතීතයේ මාමල්ලපුරම් යනුවෙන් හැඳින්වුණු ස්ථානයේ පිහිටි පංච රථ සංකීර්ණයට අයත් එක් ස්මාරකයකි. මෙය බෙංගාල බොක්කේ කොරමැන්ඩල් වෙරළ තීරයේ පිහිටි අතර එය ඉන්දියාවේ තමිල් නාඩු ප්‍රාන්තයේ කාංචීපුරම් දිස්ත්‍රික්කයට අයත් ය. මෙය ඒකශෛලමය ඉන්දියානු ගෘහනිර්මාණ ශිල්පයට මනා නිදසුනකි. පසුකාලීන 7වන සියවසට අයත් මෙය පල්ලව රාජධානියේ Iවන මහේන්ද්‍රවර්මන් සහ ඔහුගේ පුත් Iවන නරසිංහවර්මන් (ක්‍රි.ව. 630–680; මාමල්ලන් ලෙස ද හැඳින්වේ) රජවරුන්ගේ සමයේ ඉදිවන්නට ඇතැයි සැලකේ. සම්පූර්ණ ස්මාරක සංකීර්ණයම ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුවේ (ASI) අනුග්‍රහය යටතේ පවතින අතර, 1984දී මෙය ඇතුළත්, මහාබලිපුරම් ස්මාරක සමූහය යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස නම්කෙරිණි.[1]
ද්‍රෞපදී රථ | |
---|---|
ද්‍රෞපදී රථ | |
මූලික තොරතුරු | |
පිහිටීම | මහාබලිපුරම් |
අනුබැඳියාව | හින්දු ආගම |
දිස්ත්‍රික්කය | කාංචීපුරම් දිස්ත්‍රික්කය |
ජනපදය | තමිල් නාඩු, |
රට | ඉන්දියාව |
රථයකට සමාන අයුරින් මෙය තනි, දිගු ග්‍රැනයිට් පාෂාණයකින් නෙළා ඇත.[1][2][3] ඇතැම් අවස්ථාවල මෙය දේවාලයක් ලෙස වරදවා හැඳින්වුණ ද, මෙම ව්‍යූහයේ වැඩ කටයුතු අවසන් කොට නොමැති හෙයින් එය අභිෂේක කොට නැත.[4] එයට හේතුව මෙහි වැඩ කටයුතු අවසන් වීමට පෙර Iවන නරසිංහවර්මන් මිය යාමයි.[2][3][5] මෙම ව්‍යූහය සුප්‍රකට මහාභාරත වීර කාව්‍යයේ එන පංච පාණ්ඩවයන්ගේ පොදු භාර්යාව වූ ද්‍රෞපදීගේ නාමය ඇසුරින් හැඳින්වූව ද,[1][3][6] මෙහි නාමකරණය පිළිබඳ කිසිදු සාක්ෂියක් ඉතිහාසයෙන් හමු නොවේ.[2] මෙම අවසන් නොකළ ව්‍යූහය දුර්ගා දෙවඟනට පුදකොට ඇත.[7]