හින්දු ධර්මය
From Wikipedia, the free encyclopedia
හින්දු ආගම (සංස්කෘත භාෂාව: हिन्दू धर्म, හින්දු ධර්මය, सनातन धर्म, සනාතන ධර්මය) ඉන්දීය අර්ධද්වීපයේ ප්රභවය ලත් ආගමික සම්ප්රදායකි. එය බිලියන 1.2කට අධික අනුගාමිකයන් හෝ ගෝලිය ජනගහනයෙන් 15-16%ක් සිටින ලොව තුන්වන විශාලම ආගම වේ.[1] ඒ අතුරින් මිලියන 905 ක් භාරතයේ සහ නේපාලයේ වාසය කරති. හින්දු ජනයා බහුලව වෙසෙන අනෙකුත් භූමිප්රදේශ ලෙස බංග්ලාදේශය, ශ්රී ලංකාව, පකිස්තානය, ඉන්දුනීසියාව සහ මැලේසියාව යන රටවල් දැක්විය හැකිය. හින්දු සමය වර්තමානයේ ලොව පවත්නා පැරණිතම ආගමයි. එහි ප්රභවය පැරණි වෛදික ශිෂ්ටාචාරය දක්වා දිව යයි. ඉතා සංකීර්ණ විශ්වාස සහ සම්ප්රදායයන්ගෙන් සමන්විත හින්දු ආගමට එක් ප්රධාන ශාස්තෘවරයෙකු නොමැත.
හින්දු ආගමට අයත් ග්රන්ථ රාශියකි. ශ්රැති සහ ස්මෘති වශයෙන් දීර්ඝ කාලයක් තිස්සේ වර්ධනය වූ මෙම ආගමික කෘතීන්හි දේවධර්මය, දර්ශනය සහ පුරාණෝක්ති ද ධර්මානුකූල දිවිපෙවෙතක් ගෙනයාම සදහා වන මාර්ගෝපදේශ ද සදහන් වෙයි. මෙම ග්රන්ථ අතර වේද සහ උපනිෂද් ග්රන්ථ අධිකාරීත්වයෙන් ද වැදගත්කමින් ද පෞරාණිකත්වයෙන් ද ප්රධාන තැනක් හිමිකර ගනී. අනෙකුත් ප්රධාන ග්රන්ථ අතර තන්ත්ර, පුරාණ, මහාභාරත සහ රාමායණය වැනි මහාකාව්ය, මෙන් ම භගවද් ගීතාව ද වේ.