භාරතය
From Wikipedia, the free encyclopedia
භාරතය දකුණු ආසියානු රටකි. එය ජම්බුද්වීපය, හින්දුස්ථාන් හා ඉන්දියාව යන නම්වලින් ද හැඳින්වේ. ප්‍රමාණය අතින් ලොව සත්වන තැන භාරතයට හිමිවෙයි. 2023 ජුනි මස වන විට චීනය අභිභවා ඉන්දියාව ලෝකයේ වැඩිම ජනතාවක් වෙසෙන රට විය. එමෙන්ම ප්රජාතන්ත්රවාදී රටවල් අතුරින් වැඩිම ජනගහණය සහිත රට වෙයි. දකුණෙන් ඉන්දියන් සාගරයෙන් ද, බටහිරින් අරාබි මුහුදින් ද, නැගෙනහිරින් බෙංගාල බොක්කෙන් ද වටවී ඇති භාරතය බටහිරින් පකිස්තානයෙන් ද, උතුරින් චීනය, නේපාලය සහ භූතානය යන රටවලින් ද, නැගෙනහිරින් බංගලාදේශයෙන් සහ බුරුමයෙන් ද මායිම් වී ඇත. ඉන්දියන් සාගරයේ පිහිටි ශ්‍රී ලංකාව සහ මාලදිවයින ද භාරතයට ආසන්න ව පිහිටයි. භාරතයට අයත් අන්දමන් සහ නිකොබාර් දූපත් ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට ආසන්නව පිහිටා ඇත. භාරතය සතුව කිලෝමීටර් 7,517ක මුහුදු තීරයක් පවතියි.
අතීතයේ සිටම වෙළෙඳ සහ සංස්කෘතික අතින් දියුණු ප්‍රදේශයක් වූ ඉන්දියානු උප මහාද්වීපය ඉන්දු නිම්න ශිෂ්ටාචාරය, අධිරාජ්‍ය සහ වෙළෙඳ මාර්ග ගණනාවකට නිජභූමිය විය. හින්දු ධර්මය, බුදු දහම, ජෛන ධර්මය සහ සිඛ ධර්මය යන ප්‍රධාන ධර්ම හතරක් භාරතයේ බිහිවුණ අතර ශරතුස්ත්‍රවාදය (Zoroastrianism), යුදෙව්, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් වැනි ආගම් ද බොහෝ කලක සිට පැවතීම මෙහි සංස්කෘතික විවිධත්වය ඇති කිරීමට හේතුවිය. දහඅට වැනි සියවස මුල් භාගයේ දී බ්‍රිතාන්‍ය නැගෙනහිර ඉන්දියා සමාගම මගින් එක්සත් රාජධානියට අයත් යටත් විජිතයක් කර ගන්නා ලද භාරතය අවිහිංසාවාදී අරගලයකින් පසු 1947 දී නිදහස් රාජ්‍යයක් බවට පත්විය.
භාරතය පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයක් සහිත ෆෙඩරල් ව්‍යවස්ථාමය සමූහාණ්ඩුවකි. එය ප්‍රාන්ත 28කින් සහ කේන්ද්‍රීය පාලන ප්‍රදේශ 8කින් සමන්විතය.
භාරතීය ආර්ථිකය දළ දේශීය නිෂ්පාදිතය අනුව ලොව 5 වැනි තැන ද, ක්‍රය ශක්ති සාම්‍යය අනුව ලොව 4 වැනි තැන ද ගනියි. 1991 දී ඉන්දීය ආර්ථිකය ලිහිල් කිරීමෙන් අනතුරුව එය ශීඝ්‍රයෙන් සංවර්ධනය වන ආර්ථිකයක් බවට පත් විය.
ජාතික සත්ත්වයා | ඉන්දියානු අලියා | |
---|---|---|
ජාතික පක්ෂියා | ඉන්දියානු මොණරා | |
ජාතික වෘක්ෂය | නුග ගස | |
ජාතික පුෂ්පය | නෙළුම් මල | |
ජාතික පලතුර | අඹ | |