අමෙන්හොටෙප් I
From Wikipedia, the free encyclopedia
අමෙන්හොටෙප් I (/ˌæmɛnˈhəʊtɛp/[3]) හෙවත් පුරාතන ඊජිප්තු බසින් "jmn-ḥtp" හෝ "yamānuḥātap", අරුත "අමුන් සතුටට පත්කරන" හෙවත් අමෙනෝෆිස් I (/əˈmɛnəʊfɪs/[4]) නැතහොත් පුරාතන ග්‍රීක බසින් Ἀμένωφις යනුවෙන් හඳුන්වන්නේ, ඊජිප්තුවේ 18වන රාජවංශයේ දෙවන පාරාවෝවරයායි. ඔහු සාමාන්‍යයෙන් ක්‍රි.පූ. 1526 සිට 1506 දක්වා රාජ්‍ය පාලනය සිදුකරන්නට ඇතැයි සැලකේ. ඔහු Iවන අහ්මෝස් රජුගේ සහ අහ්මෝස්-නෙෆටාරි රැජිනගේ පුත්‍රයායි. නමුත් ඔහුට අවම වශයෙන් අහ්මෝස්-අන්ඛ් සහ අහ්මෝස් සැපෙයාර් ඇතුළු වැඩිමහල් සොහොයුරන් දෙදෙනකුවත් සිට ඇති නමුත් ඔවුන් සිහසුනට පත්ව නැත. කෙසේවෙතත්, Iවන අහ්මෝස්ගේ 17වන රාජ්යවර්ෂයත් ඔහුගේ මරණයත් අතර වර්ෂ අට තුළ, ඔහුගේ අනුප්‍රාප්තිකයා මියගිය හෙයින් අමෙන්හොටෙප් කිරුළහිමි කුමරු තනතුරට පත් විය.[5] අනතුරුව ඔහු වර්ෂ 21ක් රාජ්‍ය පාලනය සිදුකළේ ය.[1]
අමෙන්හොටෙප් I | |
---|---|
අමෙනෝෆිස් I | |
පාරාවෝ | |
රාජ්‍ය සමය | ක්‍රි.පූ 1526 - 1506 (විවාදිතයි), මැනතෝ අනුව වර්ෂ 20ක් සහ මාස 7[1] (18වන රාජවංශය) |
පූර්වප්‍රාප්තිකයා | අහ්මෝස් I |
අනුප්‍රාප්තිකයා | තුත්මෝස් I |
වල්ලභ | අහ්මෝස්-මෙරිටාමොන් |
දරුවන් | අමනෙම්හාට් (ළමාවියේ මියගියේ ය), ඇතැම්විට අහ්මෝස් රැජින |
පියා | අහ්මෝස් I |
මව | අහ්මෝස්-නෙෆටාරි |
මරණය | ක්‍රි.පූ. 1506 හෝ 1504 |
භූමදානය | මමිය ඩේර් එල්-බහ්රි කුටියකින් හමු විය; මුලින් භුමදානය කරන ලද්දේ ඩ්රා' අබු එල්-නගා' හෝ KV39හි විය හැක |
ඔහුගේ රාජ්‍ය සමය පිළිබඳ ලිඛිත වාර්තා අල්ප වුවත්, පවතින සාධක අනුව මූලික අවබෝධයක් ලබා ගත හැක. සිය පියා යුධ ආක්‍රමණ මගින් ගොඩනැගූ රාජධානිය ඔහුට හිමි වූ අතර, නුබියාව සහ නයිල් ඩෙල්ටාවේ බලය ඊජිප්තුව යටතේ පැවතිය ද, නැගෙනහිර මධ්‍යධරණී පෙදෙසේ බලය ඔවුනට හිමිව තිබුණේ නැත. ඉහළ ඊජිප්තුවේ දේවස්ථාන ප්‍රතිනිර්මාණය කළ ඔහු, සිය සොහොන්ගැබ සිය මතකාගාර දේවස්ථානයෙන් වෙන්ව ඉදිකළේ ය. මෙය නව රාජධානියේ රාජකීය අවමංගල්‍ය ස්මාරක ක්ෂේත්රයේ විප්ලවයක් ලෙස සැලකෙයි. ඔහුගේ මරණින් පසු, ඔහු ඩේර් එල්-මෙදිනාහි ආරක්ෂකයා ලෙස දේවත්වයෙන් අදහන ලදී.[6]