![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/4e/Paul_Avril_-_Les_Sonnetts_Luxurieux_%25281892%2529_de_Pietro_Aretino%252C_2.jpg/640px-Paul_Avril_-_Les_Sonnetts_Luxurieux_%25281892%2529_de_Pietro_Aretino%252C_2.jpg&w=640&q=50)
ලිංගික සංසර්ගය
අන්තර්-පුද්ගල ශාරීරික ක්‍රියාවලියක් / From Wikipedia, the free encyclopedia
ලිංගික සංසර්ගය යනු හුදෙක් වින්දනයක් ලැබීමට හෝ ප්‍රජනනය පිණිස හෝ එකී අරමුණු දෙක ම පිණිස පුරුෂ ශිශ්නය ස්ත්‍රී යෝනිය තුළට ඇතුළු කිරීමේ සහ යෝනිය තුළ තිබිය දී ම තෙරපමින් ඉදිරියට හා පසුපසට කිරීමේ ක්‍රියාවයි.[3] සාමාන්‍යයෙන් සිංහල භාෂාවේ ලිංගික සංසර්ගය, මෛථූන්‍ය, සම්භෝගය, සංවාසය යන වචන සේ ම ඉංග්‍රීසි භාෂාවේ sexual intercourse සහ ලිංගික ව හැසිරීම යන අරුත දෙන [having] sex යන ක්‍රියාපදය ද යෝනි-ශිෂ්ණ සංසර්ගය (vaginal intercourse) සමග සමාන කර සලකනු ලැබුව ද ලිංගික සංසර්ගය (sexual intercourse) යන යෙදුම ගුද සංසර්ගය/පායුක සංසර්ගය (anal sex/anal intercourse), මුඛ සංසර්ගය හෙවත් මෞඛ ලෝලනය (oral sex) සහ ඇගිළි/කෙළිබඩු යෝනිගත කිරීම යන අන්තර්ග්‍රාහක ලිංගික ක්‍රියා සදහා පොදු යෙදුමක් ලෙස ද භාවිත වේ.[4][5]
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/4e/Paul_Avril_-_Les_Sonnetts_Luxurieux_%281892%29_de_Pietro_Aretino%2C_2.jpg/320px-Paul_Avril_-_Les_Sonnetts_Luxurieux_%281892%29_de_Pietro_Aretino%2C_2.jpg)
මෙම ක්‍රියාව විෂමලිංගික යුවලක් අතර කායික සමීපතාව පෙන්නුම් කරන අතර මිනිසුන් අතර හුදෙක් ශාරීරික හෝ මානසික වින්දනය පිණිස ද භාවිත විය හැකි ය. එමෙන් ම එය විෂමලිංගික පෙම්වතුන් දෙදෙනෙක් හෝ යුවලක් අතර බැදීම වැඩිදියුණු කිරීමට ද හේතු වේ.[4][6]
ලිංගික සංසර්ගය තුළින් එකෙකු තුළ පවතින ලිංගිකමය රෝග අනිකා වෙත ආසාදනය වීමේ ඉඩකඩක් ද පවතින බැවින් මේ සිදුකිරීමේ දී ආරක්ෂිත ලිංගික හැසිරීම් අනුගමනය කිරීමට දිරිමත් කිරීම සිදුකෙරේ.[7][8]
විවිධ නීති පද්ධති තුළ ඇතැම්විට සංස්කෘතික අවශ්‍යතා ද හේතුවෙන් විවිධ පුද්ගල කාණ්ඩයන් හෝ සබදතාවන් අතර ලිංගික සංසර්ගය සම්බන්ධයෙන් සීමාවන් හෝ තහංචි පණවා තිබෙනු දැකිය හැකි ය. නිදසුන් ලෙස ලේ ඥාතීන් අතර, බාලවයස්කරුවන් සමග, ගණිකාවන් සමග, සතුන් සමග, අවිවාහකයන් අතර, විවාහයට පරිබාහිර පාර්ශ්වයන් සමග ලිංගික ව එක්වීම තහනම් කර තිබෙන අවස්ථා දැක්විය හැකි ය. සියලුම රටවල මේ සෑම ආකාරයක ම තහනම් කිරීම් දක්නට නැති වුව ද සෑම රටක ම පාහේ බාලවයස්කරුවන් සමග ලිංගික ව එක්වීම මෙන් ම කාන්තාවක් සමග ඇගේ කැමැත්තෙන් තොර ව ලිංගික ව එක්වීම ද තහනම් කර තිබේ. ලිංගික සංසර්ගය හෝ වෙන යම් ලිංගික ක්‍රියාවක් සම්බන්ධයෙන් පුද්ගලයකු ගන්නා තීරණ කෙරෙහි ආගමික මත ද බලපෑමක් සිදුකරයි. නිදසුන් ලෙස කන්‍යාභාවය සංකල්පයේ බලපෑම දැක්විය හැකි ය.[9][10] එමෙන් ම ආගමික මත ලිංගික සංසර්ගය හෝ වෙන යම් ලිංගික ක්‍රියා සම්බන්ධ නෛතික සහ ප්‍රතිපත්තිමය කාරණා කෙරෙහි ද බලපෑම් කළ හැකි ය. ලිංගිකත්වය පිළිබද ආගමික මත ආගමින් ආගමට මෙන් ම එක ම ආගමක ද විවිධ පාර්ශ්වයන්/නිකායන් අතර වෙනස් වෙයි. කෙසේනමුත් අනාචාරය හෙලාදැකීම වැනි සැමට පොදු ආකල්ප ද දැකිය හැකි ය.
ඇතැම් සත්ත්ව විශේෂයන්හි ලිංගික සංසර්ගය යෝනියක සහභාගීත්වයෙන් තොර ව සිදු වේ. නිදසුන් ලෙස ගුදය, මූත්‍ර විවරය සහ ප්‍රජනක විවරය යන තුනට ම එක් පොදු විවරයක් (ජම්බාලියක්) පවතින සතුන්ගේ ඒ හරහා පිරිමි සතුන් ශුක්‍රාණු ඇතුළු කිරීම දැක්විය හැකි ය. බොහෝ ක්ෂීරපායී විශේෂ තුළ විරුද්ධ ලිංගිකයන් යුගල වීම සහ සංසර්ගය මදන සමය (ස්ත්‍රී ප්‍රජනක චක්‍රය තුළ සඵලතාවය උච්ඡත ම කාල සීමාව) තුළ සිදු වන්නේ ප්‍රජනනය සාර්ථක වීමේ වැඩි සම්භාවිතාවක් උදාකරගනිමිනි.[11][12] කෙසේනමුත් බොනොබෝ, ඩොල්ෆින් සහ චිම්පන්සින් ගැහැනු සතා මදන සමයේ (estrus) සිටියත් නැතත් ලිංගික ව එක්වන බව සොයාගෙන තිබේ. එසේ ම මෙම සතුන් අතර සමලිංගික චර්යාවන් ද දක්නට ලැබෙන බව සොයාගෙන තිබේ.[13] මෙම සතුන් අතර ලිංගික සංසර්ගය මදන නොවන සමයන් තුළ සිදුවීම මිනිසුන් මෙන් ම ඔවුන් ද එය වින්දනය පිණිස සිදුකරන්නක් බවට සාක්ෂියක් ලෙසත් ඔවුන්ගේ ප්‍රජා බැදීම් වැඩිදියුණු කිරීමට හේතු සාධකයක් ලෙසත් සලකා තිබේ.[14]