චීන ඉතිහාසය
චීන ශිෂ්ටාචාරයේ අතීත සිදුවීම් පිළිබඳ වාර්තාව / From Wikipedia, the free encyclopedia
චීන ඉතිහාසය පිළිබඳ ප්‍රථම ලිඛිත වාර්තා හමුවන්නේ ක්‍රි. පූ. 1500 තරම් ඈතදී [1][2] ෂෑං රාජවංශය යටතේ දී (ක්‍රි. පූ.1600–1046 පමණ) ය.[3] මහා ඉතිහාසඥයාගේ සටහන් (ක්‍රි.පූ. 100 පමණ) සහ උණ අනුවාර්ෂික වාර්තා වැනි ඓතිහාසික මූලාශ්රවල ෂෑං රාජවංශයට පෙරපැවති ස්ථිර ලිඛිත මාධ්‍යයක් නොමැති වූ ශියා රාජවංශය (ක්‍රි.පූ. 2070–1600 පමණ) නම් රාජවංශය පිළිබඳ සඳහන් වේ.[3][4] සහස්‍රයකට පෙර නියෝලිතික යුගයේ කහ ගඟ සහ යැංසි ගංගා නිම්න අවට විවිධ ස්ථාන කේන්ද්‍ර කරගනිමින් සංස්කෘතිය ගොඩනැගුණත්, කහ ගඟ චීන ශිෂ්ටාචාරයේ තොටිල්ල ලෙස සැලකෙයි. වසර දහස් ගණනක අඛණ්ඩ ඉතිහාසයක් සහිත චීනය ලොව පැරණිතම ශිෂ්ටාචාරවලින් එකක් ලෙස සැලකෙයි.[5] එසේම එය ශිෂ්ටාචාරයේ තොටිලිවලින් එකක් ලෙස ද හඳුන්වයි.[6]
චීන සංස්කෘතියේ, සාහිත්‍යයයේ සහ දර්ශනයේ වැඩි ප්රගමනයක් සිදු වූයේ ෂෝවු රාජවංශ (ක්‍රි.පූ. 1046–256) සමයේ ය. නමුත් ක්‍රි.පූ. 8වන සියවස වන විට ෂෝවු රාජවංශය අභ්‍යන්තර සහ බාහිර පීඩනයන්ට ලක්ව කුඩා රාජ්‍යවලට කැඩී ගියේ ය. මෙය වසන්ත සහ සරත් සමයේ ඇරඹුම වූ අතර එය අනතුරුව සතුරු රාජ්‍ය යුගය දක්වා විහිදිණි. මෙය චීන රාජවංශයේ දුර්වල රාජ්‍ය සමයන් අතුරින් එකක් ලෙස සැලකෙන අතර මෑතක දී එනම් 1927දී ඇරඹුණු චීන සිවිල් යුද්ධය ද එවැනි අවස්ථාවකි.
බහු රාජධානි සහ යුධඅධිපතිවරුන්ගේ යුගයන්හි දී, චීන රාජවංශ විසින් චීනයේ විවිධ ප්‍රදේශ පාලනය කර ඇත. සමහර යුගයන්හි දී පාලනය නූතන ෂින්ජියෑං සහ ටිබෙටය වැනි පදේශ දක්වා ද විහිදිණි. ක්‍රි.පූ. 221දී චින් රාජවංශයේ චින් ෂි හුවාං විසින් විවිධ සතුරු රාජ්‍ය එක්සත් කර "අධිරාජයා" (හුවාංඩි) යන විරුද නාමය ආරූඪ කර ගන්නා ලදී. මෙය මහේශාක්‍ය චීන අධිරාජ්‍යයේ ආරම්භය ලෙස සැලකෙයි. අනතුරුව බලයට පැමිණි රාජවංශ විසින් අධිරාජයාට විශාල භූමි ප්‍රදේශ ඍජුවම පාලනය කළ හැකිවන පරිදි පරිපාලන ක්‍රම ගොඩනගන ලදී. චීනයේ අවසන් රාජවංශය වූයේ චිං (1644–1912) රාජවංශයයි. ඉන් අනතුරුව 1912දී චීන සමූහාණ්ඩුව විසින් ද, 1949දී මහජන චීන සමූහාණ්ඩුව විසින් ද මහා චීන භූමියේ පාලනය ගෙන යන ලදී.
ක්‍රි.පූ. 206 සිට ක්‍රි.ව. 1912 දක්වා වූ සියවස් 21ක කාලය තුළ චීන රාජ්‍යය තුළ එදිනෙදා පාලනය ගෙනයාමට විද්වත් නිලධාරීන් නම් වූ විශේෂ නිලධාරීහු උපකාර වූහ. අක්ෂර කලාවට සහ දර්ශනය පිළිබඳ හසල දැනුමක් තිබූ තරුණ නිලධාරීන් අපහසු විභාග මාලාවක් ඔස්සේ ප්‍රවේශමෙන් මෙම තනතුර සඳහා තෝරාගන්නා ලදී. චීන ඉතිහාසය විචාරීමේ දී පෙනී යන කරුණක් වන්නේ මාරුවෙන් මාරුවට එළැඹි දේශපාලන ස්ථාවර සහ අස්ථාවර යුගයන්වල දී චීනය නිතර ස්ටෙප්ස් භූමියේ ජනයාගේ ආක්රමණවලට ලක් වූ බවයි. අනතුරුව ඔවුන්ව හන් චීන ජනගහනය විසින් අධිශෝෂණය කරගනු ලැබිණි. ආසියාවේ අනෙක් පෙදෙස් සහ බටහිර ලෝකයෙන් සිදු ළුූ සංස්කෘතික සහ දේශපාලන බලපෑම් නිසා සිදු වූ සංක්‍රමණ, සංස්කෘතික ආභාසයන්, ව්‍යාප්තිය, සහ විදේශ සබඳතා නූතන චීන සංස්කෘතිය හැඩගැස්වීමට මහෝපකාරී විය.