![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/34/Art-portrait-collage_2.jpg/640px-Art-portrait-collage_2.jpg&w=640&q=50)
කලාව
From Wikipedia, the free encyclopedia
කලාව යනු සංවේදනා හෝ මනෝභාව ආමන්ත්‍රණය කෙරෙන පරිදි මූලිකාංග දැනුවත් ව පිළිවෙලකට සකස් කිරීමේ ක්‍රියාවලිය යි, නැතහොත් එම ක්‍රියාවලියේ ඵලය යි. සාහිත්‍යය හා සංගීතය ද ඇතුළු ව පුළුල් පරාසයක පැතිර ගිය මානව ක්‍රියාකාරකම්, නිර්මාණ හා ප්‍රකාශන මාධ්‍ය ගණනාවක් මෙයට ඇතුළත් වේ. සෞන්දර්යවේදය නමින් හැඳින්වෙන දර්ශනවාදයේ ශාඛාව තුළ කලාවේ අර්ථය ගවේෂණය කරනු ලැබේ.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/34/Art-portrait-collage_2.jpg/640px-Art-portrait-collage_2.jpg)
කලාව නිර්වචනය කිරීම හා විනිශ්චය කිරීම 20 වැනි සියවසේ මුල් භාගයේ පටන් විශේෂයෙන් ප්රශ්නකාරී දෙයක් බවට පත් ව තිබේ. රිචර්ඩ් වොල්හයිම් මේ හා සම්බන්ධ ප්රවේශයන් තුනක් හඳුනා ගනියි : සෞන්දර්යාත්මක ගුණය මානව දෘෂ්ටියෙන් ස්වාධීන වූ පරම අගයක් හැටියට සලකන යථාර්ථවාදී ප්රවිෂ්ටය; සෞන්දර්යාත්මක ගුණය පරම අගයකින් යුක්ත වන නමුත් සාමාන්‍ය මානව අනුභූතිය මත රඳා පවත්නා බව පිළිගැනෙන වෛෂයිකවාදී ප්රවිෂ්ටය; සෞන්දර්ය ගුණය පරම අගයක් හැටියට නොගන්නා, ඒ වෙනුවට එය විවිධ මනුෂ්‍යයන්ගේ මානව අනුභූතීන් මත රඳා පවතින අතර ඒවා සමග විපර්යාසයට ද ලක්වෙතියි පවසන සාපේක්ෂතාවාදී ආස්ථානය.[1] කිසියම් වස්තුවක් එහි දෘශ්‍යමාන කාර්යය කුමක් හෝ වේවා එහි අරමුණ හෝ එවැන්නක් නොමැතිකම, එහි නිර්මාපකයා ආදී පදනම් මත ගුණාංගීකරණය කිරීමට පුළුවන. පෙනෙන පරිදි කිසියම් ද්‍රවයක් දරා සිටින උපකරණයක් හැටියට භාවිත කළ හැකි වුවත් කෝප්පයක් හුදෙක් සැරසිල්ලක් ලෙසින් භාවිතයට ගන්නේ නම් එය කලා කෘතියක් වශයෙන් ද සැලකීමට හැකියාවක් තිබේ. ඒ අතර ම චිත්‍රයක් මහාපරිමාණ ප්රතිනිෂ්පාදනයට ලක් වන්නේ නම් එය හුදෙක් ශිල්පයක් වශයෙන් හැඳින්වීමට ද ඉඩ තිබේ.
සාම්ප්‍රදායික ව, කලාව නමැති පදය ඕනෑ ම ශක්‍යතාවක් හෝ සමත්කමක් විස්තර කරනු පිණිස භාවිත විය. කලාව, "ආගම හා විද්‍යාව සමග එක්ව වර්ගීකරණය කළ හැකි මිනිස් මනසේ විශේෂ අධ්‍යයනේන්ද්‍රියක්"[2] හැටියට සැලකීමට පටන් ගත් රොමෑන්තික යුගයේ දී මේ සංකල්පනය වෙනසකට භාජනය විණි. සාමාන්‍ය වශයෙන්, කලාව සිතිවිලි හා භාව උද්දීපනය කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන නිර්මාණය කරනු ලැබේ.
කලාවේ ස්වභාවය "මානව සංස්කෘතිය පිළිබඳ සාම්ප්‍රදායික ගැටලු අතරින් වඩාත් ම දුරවබෝධාත්මක වූවක්"[3] වශයෙන් රිචර්ඩ් වොල්හයිම් විස්තර කරයි. මනෝභාව හා අදහස් ප්‍රකාශ කිරීම හෝ සන්නිවේදනය සඳහා වූ වාහකයක්, ආකෘතික අංශ ඒවායේ ම අවශ්‍යතා උදෙසා ගවේෂණ කිරීමේ හා ඇගැයීමේ මාර්ගයක්, සහ අනුකරණයක් හෝ නිරූපණයක් වශයෙන් එය නිර්වචනය කරනු ලැබ තිබේ. එක් පුද්ගලයකු තවෙකෙකු අතර වක්‍ර සන්නිවේදනයක් සිදු වන මාර්ගයක් වශයෙන් ලියෝ තොල්ස්තෝයි කලාව හඳුනාගත්තේ ය.[4] බෙනදෙත්තෝ ක්‍රෝස් සහ ආර්. ජී. කොලිංවුඩ් කලාව මනෝභාව ප්‍රකාශයට පත් කරන බවත් එහෙයින් කලා කෘතියක් සාරභූත වශයෙන් එහි නිර්මාපකයාගේ මනස තුළ පවත්නා බවත් කියැවෙන විඥානවාදී දෘෂ්ටිය ඉදිරිපත් කළෝ ය.[5] [6] කලාව ආකෘතිය වශයෙන් ගන්නා කලා න්‍යායෙහි මුල් ඇත්තේ ඉමැනුවෙල් කාන්ට්ගේ දර්ශනය තුළ ය. මෙය විසි වන සියවසේ මුල් භාගයෙහි දී රොජර් ෆ්‍රයි සහ සිල්වි බෙල් විසින් වැඩිදුර වර්ධනය කරනු ලැබී ය.[7] කලාව වනාහි අනුකරණය හා නිරූපණය හැටියට ගන්නා නිර්වචනය ඇරිස්ටෝට්ල්ගේ දර්ශනය තුළ ගැඹුරින් මුල් බැස ඇත.[8]