තාලව අස්ථිය
From Wikipedia, the free encyclopedia
තාලව අස්ථි (palatine bones;/ˈpælətaɪn/[1][2]) යනු බොහෝ සත්ත්ව විශේෂ තුළ දක්නට ලැබෙන වක්ත්‍ර සැකිල්ලට අයත් අක්‍රමවත් අස්ථි යුගලකි. ඌර්ධවහනුක අස්ථි සමග එක් වී මෙය දැඩි තල්ල නිර්මාණය කරයි. (තල්ල සඳහා යෙදෙන “Palate” යන වදන ලතින් palatum යන වදනින් සම්භවය වූවකි. මෙය ‘මාලිගය’ අරුතැති palatium හා සම්බන්ධයක් නැත)
තාලව අස්ථිය | |
---|---|
![]() හිස්කබලේ ශරීය කඩක්. (තාලව අස්ථිය: Palatine bone ලෙස පහළ වම්පසින් දැක් වේ.) | |
![]() ඉහළ දන්ත වක්‍රයේ ස්ථිර දත් පහළින් පෙනෙන අයුරු. (තාලව අස්ථියේ තිරස් තලය පහළ පෙදෙසේ දක්නට ඇත.) | |
තොරතුරු | |
ලතින් | os palatinum |
හඳුන්වනයන් | |
ග්‍රේ ගේ | p.166 |
MeSH | A02.835.232.781.324.502.660 |
TA | A02.1.13.001 |
FMA | 52746 |
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව |
ව්‍යූහය
තාලව අස්ථි පිහිටියේ නාස් කුටීරයේ පසුපස පෙදෙසේ ඌර්ධවහනුක අස්ථිය සහ කීලාස්ථියේ ගරුකාභ ප්‍රසරය අතර ය.
කුහර ත්‍රිත්වයේම බිත්ති සෑදීමට මේවා උපකාර වේ: එනම් නාසා කුටීරයේ පාදම සහ පාර්ශ්වික බිත්ති, මුඛයේ පියස්ස, සහ අක්ෂිකූපයේ පාදමයි. එසේම මෙම අස්ථි ගරුකාභතාලව සහ ගරුකාභ යන නිඛාත මෙන්ම අධර අක්ෂිකූප පරිඛා තැනීමට ද ආධාර වෙයි.
සෑම තාලව අස්ථියක්ම ඉංග්‍රීසි L අකුරේ හැඩයට සමානත්වයක් දක්වන අතර, තිරස් තලයක් සහ ලම්බ තලයකින් සමන්විත ය. එසේම සෑම අස්ථියකම කැපීපෙනෙන ප්‍රසර තුනක් සහිත ය. එනම්, කොටස් දෙක සම්බන්ධ වන සන්ධියේ පසුපසින් සහ පාර්ශ්විකව පිහිටි පිරමිඩාකාර පුසරය, සිරස් පෙදෙසේ පවතින කීලාස්ථිතාලව අටනිය මගින් වෙන් වී ඇති අක්ෂිකූප සහ කීලාකාර ප්‍රසර යන ඒවා ය. මෙහි තල දෙක දැඩිතල්ලේ අපර පෙදෙස සහ නාසා කුටීරයේ පියස්ස තනයි. පූර්වව ඒවා ඌර්ධවහනුක අස්ථි සමග සම්බන්ධ වී ඇත. තිරස් තල දෙක මධ්‍ය තාලව සීවනියේ අපර පෙදෙසේ දී එකිනෙක සමගත්, වඩා පූර්ව පෙදෙසේ තීර්යක් තාලව සීවනියේ දී ඌර්ධවහනුක අස්ථි සමගත් සන්ධානය වේ.[3]
මිනිස් තාලව අස්ථිය අස්ථි හයක් සමග සන්ධානය වේ: එනම් කීලාස්ථිය, ජිද්‍රාස්ථිය, ඌර්ධවහනුක අස්ථිය, අධර නාසා කම්බු, හලාස්ථිය සහ ප්‍රතිවිරුද්ධ පැත්තේ තාලව අස්ථිය සමගයි.
තාලව අස්ථිවල, ස්නායු සහ රුධිර වාහිනී ගමන් කිරීම සඳහා වැදගත් ජිද්‍ර දෙකක් වන: මහා තාලව සහ කුඩා තාලව ජිදු පිහිටා ඇත. ප්‍රමාණයෙන් විශාල මහා තාලව ජිද්‍රය සෑම තාලව අස්ථියකම අපරපාර්ශ්වික පෙදෙසේ දක්නට ලැබේ. එය සාමාන්‍යයෙන් ඌර්ධවහනුක තෙවන චාර්වක අග්‍රයේ දක්නට ඇත. මහා තාලව ජිද්‍රය මහා තාලව ස්නායුව සහ රුධිර වාහිනී ගමන් කිරීමට ඉඩ සලසා දෙයි. ඒ අසල ඇති කුඩා විවෘතවීමක් වන කුඩා තාලව ජිද්‍රය කුඩා තාලව ස්නායුව සහ ගලමූල ග්‍රන්ථියට හා මෘදු තල්ලට ගමන්කරන රුධිර වාහිනී සඳහා ඉඩ සලසා දෙයි. මෙම ජිද්‍ර දෙකම ගරුකාභතාලව නිඛාතයේ සිට තල්ල වෙත තාලව ස්නායු සහ රුධිර වාහිනී ගමන් කිරීමට ඉඩ සලසන ගරුකාභ තාලව නාලයේ විවෘත වීම් ලෙස සැලකේ.[3]
කෘත්‍යය
තාලව අස්තියේ අක්ෂිකූප ප්‍රසරය සහ කීලාස්ථිය අතර පිහිටි විවෘත වීමක් ලෙස කීලාස්ථිතාලව ජිද්‍රය දක්නට ලැබෙයි. එය නාසා කුටීරයට විවෘත වන අතර එය ගරුකාභතාලව ගැංග්ලියමේ ශාඛා සහ ඌර්ධවහනුක ධමනියෙන් ඇති වන ගරුකාභතාලව ධමනිය වෙත අවකාශය සලසා දෙයි.[3]
වෙනත් සතුන් තුළ
අස්ථික මසුන් තුළ තාලව අස්ථිය ලම්භ තලයක් පමණක් දරන අතර, එය ඌර්ධවහනුක අස්ථියේ ඇතුළු දාරය මත පවතී. අස්ථියේ පහළ පෘෂ්ඨය ඇතැම්විට දත් දැරිය හැකි අතර, ඌර්ධවහනුක අස්ථියේ දත්වලට පිටුපසින් දෙවන පේළියක් ලෙස පිහිටයි. බොහෝ විට, තාලව අස්ථියේ පිහිටි දත් මොවුන්ගේ ඌර්ධවහනුක දත්වලට වඩා විශාල ය. මේ ආකාරයේම සැකැස්මක් ප්‍රාථමික සිව්පාවුන්ගේ ද ඇත. බොහෝ වර්තමාන උභයජීවීන්ගේ තාලව අස්ථිය ක්ෂීණ වී ඇත. මැඩියන් සහ සලමන්දරාවන්ගේ හලාස්ථිය සහ ඌර්ධවහනුක අස්ථිය අතර, එය පවතින්නේ පටු තීරුවක් ලෙස ය.[4]
ආදි ෆොසිල උරගයින්ගේ මෙම අස්ථි සැකැස්ම වඩා ප්‍රාථමික පෘෂ්ඨවංශීන්ගේ සැකැස්මට සමානකම් දක්වයි. නමුත් ක්ෂීරපායීන් තුළ තාලව අස්ථියේ පහළ පෘෂ්ඨය පරිණාමයේ දී නැවී තිරස් තලය සාදා මුඛයේ මධ්‍ය රේඛාව හමු වී ඇත. මෙය මුඛ කුහරය සහ නාසා කුහරය වෙන්කරමින් පවතින දැඩි තල්ලේ පසුපස පෙදෙස සාදයි. මේ නිසා ආහාර ගන්නා විට හුස්ම ගැනීම පහසු වී ඇත. බොහෝ වත්මන් උරගයින්ගේ සමාන්තර වර්ධනය හේතුවෙන් කිඹුලන් තුළ මෙය ප්‍රමාණයෙන් විශාල වී ඇත. පක්ෂීන් තුළ තාලව අස්ථි වෙන් වී පිහිටන අතර, එය උඩු හනුවේ පසුපෙදෙස දිගේ පිහිටමින් කපාලය සමග ජංගම සන්ධානයක් සාදයි.[4]
ක්ෂීරපායීන්, උභයජීවීන් සහ වෙනත් විශේෂ අතර මෙහි නොයෙකුත් වෙනස්කම් ඇත. උදාහරණයක් ලෙස රළු-සමැති නුට්ටා වැනි බොහෝ උභයජීවීන් තුළ තාලව අස්ථිය විශේෂිත V-හැඩැති ව්‍යූහයක් ලෙස පවතී.[5] බළල් විශේෂවල නම් තාලව අස්ථියේ තිරස් සහ සිරස් අංග අංශක හතලිස් පහක කෝණයකින් යුතුව සම්බන්ධ වී ඇත.[6]
අමතර පින්තූර
- අක්ෂිකූපය සෑදීමට සන්ධානය වන අස්ථි හත.
- වම් තාලව අස්ථිය සහ ඌර්ධවහනුක අස්ථිය අතර සන්ධානය.
- හිස්කබලේ පාදම. අධර පෘෂ්ඨය.
- වම් අක්ෂිකූපයේ මධ්‍ය බිත්තිය.
- වම් නාසා කුටීරයේ පියස්ස, පාදම සහ පාර්ශ්වික බිත්තිය.
- වම් තාලව අස්ථියේ මධ්‍ය පෙනුම.
- වම් තාලව අස්ථියේ අපර පෙනුම.
මේවාත් බලන්න
මූලාශ්‍ර
බාහිර සබැඳි
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.