From Wikipedia, the free encyclopedia
රාකෙල් (හෙබ්‍රෙව්: רחל, සම්මතය Raḥel ටයිබේරියානු Rāḫēl, Rāḥēl ISO 259-3 රාහෙල් ; තේරුම "බැටළු දෙන"[2], භාෂා රීතියානුකූල: පාරිශුද්ධික තැනැත්තී [උපහරණ ඇවැසිය]) වනාහී, හෙබ්‍රෙව් බයිබලයෙහි විස්තර කෙරෙන ආකාරයට, අනාගතවක්තෘවරයෙක් සහ බයිබලීය පීතෘමූලිකයන් තිදෙනාගෙන් එක් අයෙකු වූ ජාකොබ්ගේ ප්‍රියතම භාර්යාවද , ජෝසප් සහ බෙන්ජමින් ගේ මවද වූවාය. ඇය ලාබන්ගේ දියණිය සහ ජාකොබ්ගේ පළමු භාර්යාව වූ ලෙයාගේ බාල සොහොයුරියද වූවාය. ජාකොබ් ඇයගේ ඥාති සොහොයුරිය වූයේ, ජාකොබ්ගේ මව වූ රෙබෙකා ලාබන්ගේ සොහොයුරිය වූ නිසාවෙනි.
ශුද්ධවූ බයිබලයෙහි රාකෙල් පළමුවෙන්ම සඳහන් වන්නේ උප්පත්ති 29 හිදී වන අතර එහිදී ඇයගේ බැටළුවන්ට වතුර බොන්ට දෙමින් සිටින විට ජාකොබ් ඇය හමුවන්නේය. ඔහුගේ මවගේ සොහොයුරු ලාබන් හමුවනු පිණිස ඔහු මහත් දුරක් ගෙවා පැමිණ සිටියේය. ඔහුගේ කෝපාවිෂ්ට නිවුන් සොහායුරු ඒසව්ගෙන් පරිස්සම් කරනු පිණිස රෙබෙකා විසින් ඔහුව එහි යවනු ලැබුවාය.
ජාකොබ් එහි නැවැතී සිටි අතරතුර, රාකෙල්ට පෙම් බැඳ ඇය සරණ පාවා ගැනුමට හිලව් පිණිස ලාබන් හට අවුරුදු සතක් සෙවය කිරීමට එකඟ වූයේය. විවාහ දින රාත්‍රියෙහිදී, මනාලිය මුහුණු වැස්ම සහිතව රැගෙන ආ අතර, රාකෙල් වෙනුවට රාකෙල්ගේ වැඩිමහළු සොහොයුරිය ලෙයා ආදේශ කොට තුබූ බව ජාකොබ් විසින් නොදක්නා ලදි. “රාකෙල් රූමත් හා සුකොමල වූ” අතර, “ලෙයාගේ ඇස් සිවුමැලි” විය. පසුව ජාකොබ් විසින් ලාබන් හට මේ ගැන දොස් පැවරූ විට, ඔහුගේ පිළිතුර වූයේ, වැඩ්මලාට පළමුව බාලයා සරණ පාවාදීම සිරිත නොවන බවකි. ඔහුගේ මංගල සතිය සම්පූර්ණ කල පසුව රාකෙල්ද ඔහුගේ භාර්යාව ලෙස සරණ පාවා ගත හැකි බව ජාකොබ් වෙත පොරාන්දු වූ අතර, ඇය වෙනුවෙන් හිලව් පිණිස තවත් වසර සතක් සේවය කරනු ලැබිණි.
ලෙයා විසින් ඇයගේ පුතුන් සිව්දෙන බිහි කල පසුවද රාකෙල් ගැබ් ගැනීමට නොහැකිව පසු වූවාය. ඇය ලෙයා වෙත ඊර්ෂ්‍යාවෙන් පසුවූ අතර, ඇයගේ සේවිකාව වූ බිල්හා ජාකොබ්ට සරණ පාවා දී, ඇය වෙනුවට අන්වාදේශ මව වීමට සැලැසුවූවාය. බිල්හා විසින් පුතුන් දෙදෙනෙකු බිහි කලාය: දාන් සහ නප්තලී. ලෙයා නැවතත් ගැබ් ගැනුමෙන් අනතුරුව, රාකෙල් අවසානයේදී පුතකු ලැබුමට භාග්‍යවත් වූ අතර, ජෝසප් නම් වූ ඔහු, ජාකොබ්ගේ ප්‍රියතම දරුවා වූවේය.
ජෝසප්ගේ උපතෙන් පසුව, කානන් දේශය වෙත තම පවුල සමග නැවත යෑමට ජාකොබ් තීරණය කලේය. ලාබන් විසින් මෙය වළක්වනු ඇතැයි බිය වුනු හෙතෙම, තම භාර්යාවන් දෙදෙන ලෙයා හා රාකෙල්, හා තම දරුවන් දොළොස් දෙන හා සමගින් පැන ගියේ තම මාමණ්ඩියට නොදන්වාය. ලාබන් විසින් ඇය ලුහුබැඳ ගොස් ඔහුගේ කුල දේවතා රූප සොරාගත් බවට චෝදනා කලේය. ඇත්තවශයෙන්ම, රාකෙල් විසින් ඇයගේ පියාගේ කුල දේවතා රූප රැගෙන විත් තිබූ අතර, ඇයගේ ඔටුවාගේ ආසන මෙට්ටය තුල සඟවා තබා ඒ මත හිඳගෙන සිටියාය. කුල දේවතා රූප තම බිරිඳ සන්තකයෙහි තිබූ බව නොදැන සිටි ජාකොබ්, ඒවා තබා ගෙන සිටි ඕනෑම අයෙකු හට ශාප කලේය: "එහෙත් ඔබ සතු කුල දේවතා රූප යමෙකු ලඟ තිබී ඔබට සම්භ වේද, ඒ තැනැත්තා ජීවතුන් අතර නොසිටියාවේ" (උප්පත්ති 31:32). ලාබන් විසින් ජාකොබ්ගේ සහ ඔහුගේ බිරින්දෑවරුන්ගේ කූඩාරම් පරික්ෂා කිරීම ඇරඹූ අතර, රාකෙල් ගේ කූඩාරම වෙත පැමිණි කල, ඇය තම පියාට පවසමින්, "තාත්තා ඉදිරියේ මට නැගිට සිටීමට නොහැකි වීම ගැන, ඔබ අසතුටු නොවන්න. මන්ද, මාසික ඔසප් වීම මට ඇන් ඇතැ" යි කීවාය (උප්පත්ති 31:35). ලාබන් විසින් ඇය පරික්ෂා නොකල මුත්, ජාකොබ් විසින් කල ශාපය ඉන් ටික කලෙකින් පසු පළ දැරුවේය.
එප්‍රාත් නම් ස්ථානයට පැමිණෙන්නට මඳ දුරක් තිබියදී, ඇයගේ දෙවන පුත්‍රයා බෙන්ජමින් ලැබීමට රාකෙල් හට දැඩි ප්‍රසව වේදනා හටගත්තේය. වින්නඹු මාතාව ඇයට කතා කොට පැවසුවේ ඇයට ලැබෙන්නේ තවත් පුත්‍රයෙක් බවයි.[3] ඇය මිය යෑමට පෙර, රාකෙල් විසින් ඇයගේ පුත්‍රයා බෙන් ඔනි ("මගේ වැලපීමේ පුත්‍රයා ") ලෙසින් නම් කල මුත්, ජාකොබ් ඔහු හැඳින්වූයේ බෙන් යාමින් (බෙන්ජමින්) ලෙසිනි. රාෂි විසින් පැහැදිලි කර දෙන්නේ බෙන් යාමින් යන්නෙහි අර්ථය එක්කෝ, පඩ්ඩාන් ආරම් ට දකුණු දිශාවෙන් වූ කානන් හි උපන් ජාකොබ් ගේ එකම පුතු බෙන්ජමින් බැවින්, "දකුණෙහි පුත්‍රයා" (එනම්., "දකුණු දිශාවෙහි"); හෝ බෙන්ජමින් උපන්නේ ජාකොබ්ගේ මහළු වියෙහි නිසා එහි අරුත "මගේ අවසන් කාලයේ පුතු" බවයි.
හෙෂ්වාන් නම් හෙබ්‍රෙව් මාසයෙහි එකොලොස්වන දිනයෙහිදී රාකෙල් මිය ගිය අතර,[4] බෙත්ලෙහෙමට මදක් පිටතින් වූ එප්‍රාත් වෙත යන මාර්ගයෙහි, ජාකොබ් විසින් ඇය භුමදාන කරන ලදි.[5] වර්තමානයෙහිදී සැම වසරකම දහස් ගණනක් නරඹන්නන්, බෙත්ලෙහෙම සහ ජෙරුසලෙම අතර ගිලෝ අසබඩ පිහිටි රාකෙල්ගේ සොහොන දැක ගැනුමට පැමිණෙති.[6]
රාකෙල්ගේ පුතු, ජෝසප්, පිටුවහල් කිරීම හා ජාතියක් ලෙස සංවිධානය වීම අතරතුර ඊශ්‍රායෙල් ගෝත්රයන්හී නායකයා වීමට දෛවොපගත විය. බෙන්ජමින් නමැති දෙවන පුතෙකුද ඇයට වූ අතර ඔහු ප්‍රසූත කිරීමේ සංකූලතා හේතුවෙන් ඇය මිය ගියාය.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.