නවකතාව
From Wikipedia, the free encyclopedia
නවකතාව යනු ප්‍රබන්ධ චරිත සහ සිදුවීම් ගොඩනංවමින් අනුක්‍රමික කථා පුවතක විලාසයෙන් ගලායන දීර්ඝ ගද්‍ය ආඛ්‍යානයකි. මෙම සාහිත්‍යාංගය වසර දෙදහසකට ආසන්න පරිපූර්ණ සහ අඛණ්ඩ ඉතිහාසයකට උරුමකම් කියන්නක් ලෙස සැලකේ. [1] මෙම දැක්ම විසින් සම්භාව්‍ය ග්‍රීසිය සහ රෝමය, මධ්‍යකාලීන සහ මුල් නුතන අරුමැසි කතාව, සහ කෙටි-නවකතා (novella) සම්ප්රදාය තුළ ද නවකතාවේ මූලාරාම්භයන් හඳුනාගනී. කෙසේවෙතත් ඉයන් වොට් The Rice of the Novel (1957) හි නවකතාව මුලින් ම හඳුනාගත හැකිවන්නේ 18වන සියවසේ මුල් අවධියේ දී බවට අදහස් දක්වයි.නූතන යුගය තුළ නවකතාමය ලක්ෂණ පෙන්නුම් කළ ප්‍රථම යුරෝපියානු සාහිත්‍ය කරුවා ලෙස බොහෝවිට සඳහන් කරනු ලබන්නේ දොන් ක්විසෝට්හි (Don Quixote) කතුවර මිගුවෙල් දි සර්වැන්තේස් (Miguel de Cervantes) ය. දොන් කිවිසෝට් කෘතියේ ප්‍රථම භාගය 1605දි ප්‍රකාශයට පත්විය. [2]අරුමැසි කතාව (romance) ද මීට සමීප දීර්ඝ ගද්‍ය ආඛ්‍යාන විශේෂයකි. අපූර්ව සහ අද්භූත සිදුවීම් ඇසුරු කරගන්නා ගද්‍යමය හෝ පද්‍යමය වූ ප්‍රබන්ධ ආඛ්‍යාණයක් ලෙස වෝල්ටර් ස්කොට් අරුමැසි කතාව නිර්වචනය කළ අතර නවකතාව තුළ දිගහැරෙන සිදුවීම් ව්‍යවහාරික මිනිස් දිවියේ දෛනික රිද්මයට සහ නූතන සමාජ තත්ත්වයට අනුකූල බවට ද අදහස් දැක්වීය. [3] කෙසේවෙතත් ස්කොට්ගේ ඓතිහාසික අරුමැසි කතාවන් ද ඇතුළු ව [4] එමලි බ්‍රොන්ටේගේ වදරිං හයිට්ස් [5] (Wuthering Heights) සහ හර්මන් මෙල්විල්ගේ මෝබි ඩික් [6] (Moby-Dick) වැනි කෘතීන් ද නවකතාවන් ලෙස බොහෝවිට සඳහන් කරනු දැකිය හැකි අතර Romance යන යෙදුම Novel යන්නට බෙහෙවින් සමීප අරුත් නගන යෙදුමක් (kindred term) බවට ස්කොට් කරුණු දක්වා තිබේ. අරුමැසි කතාව උදෙසා මෙන් ම ආදරය සහ රාගය ඇසුරු කරන නවකතාවන් (romance novel) උදෙසා ද ඉංග්‍රීසි භාෂාවේ romance යන යෙදුම භාවිත වන අතර යට කියන ලද්දේ අරුමැසි කතාව සම්බන්ධයෙන් මිස ආදරකතා ශානරය පිළිබඳ ව නොවේ. අරුමැසි කතාව සහ නවකතාව භාෂාත්මක ව වෙන්කර දක්වන්නේ ඉංග්‍රීසි භාෂාව තුළ පමණක් වන අතර අනෙකුත් යුරෝපියානු භාෂාවල novel සහ romance පර්යාය යෙදුම් ලෙස භාවිත වෙයි. [7]