චන්දේල
From Wikipedia, the free encyclopedia
ජේජකභුක්තියේ චන්දේලවරුන් යනුවෙන් හැඳින්වෙන්නේ මධ්‍ය ඉන්දියාවේ රාජ්පුත් රාජවංශයකි. 9වන සහ 13වන සියවස් අතර කාලයේ බුන්දෙල්ඛාන්ද් ප්‍රදේශයේ (එකල ජේජකභුක්ති නම් විය) ඔවුහු පාලනය ගෙනගියහ.
ජේජකභුක්තියේ චන්දේලයෝ | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
ක්‍රි.ව. 9වන සියවස–ක්‍රි.ව. 13වන සියවස | |||||||||
ක්‍රි.ව. 1200දී ආසියාව දැක්වෙන සිතියමක්; චන්දේල රාජධානිය මධ්‍ය ඉන්දියාවේ නිරූපණය කොට ඇත. | |||||||||
අගනුවර | ඛජුරාහෝ කලන්ජාරා මහෝබා | ||||||||
පොදු භාෂාවන් | සංස්කෘත | ||||||||
ආගම | හින්දු ආගම ජෛන ආගම | ||||||||
රජය | රාජාණ්ඩුව | ||||||||
• ක්‍රි.ව. 831 -845 පමණ | නන්නුක | ||||||||
• ක්‍රි.ව. 1288-1311 පමණ | හම්මීරවර්මන් | ||||||||
ඓතිහාසික යුගය | සම්භාව්‍ය ඉන්දියාව | ||||||||
• ස්ථාපිත කළේ | ක්‍රි.ව. 9වන සියවස | ||||||||
• අහෝසි කළේ | ක්‍රි.ව. 13වන සියවස | ||||||||
| |||||||||
වර්තමානයේ මෙය අයත් වන්නේ | ඉන්දියාව |
චන්දේලවරුන් මුලින් කාන්යකුබ්ජයේ (කනෞජ) ගුර්ජර-ප්‍රතිහාරයන්ගේ වැඩවසම් රාජ්‍යයක් ලෙස පාලනය ගෙනගොස් තිබේ. 10වන සියවසේ දී, චන්දේල පාලක යශෝවර්මන් අර්ධව ස්වාධීන විය. නමුත් ඔහු ප්‍රතිහාරයන්ගේ අධිපතීත්වය පිළිගත්තේ ය. ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ ධංග රජ සමය වන විට, චන්දේලවරුන්ට ස්වාධිපත්‍යයෙන් නැගී සිටීමට හැකි විය. ඔවුන්ගේ බලය ගොඩනැගීම හා බිඳවැටීම තීරණය වූයේ සිය අසල්වැසි රාජවංශ වූ මාල්වාහි පරමාරවරුන් සහ ත්රිපූරිහි කලචූරිවරුන් අතර ඇතිවූ සටන් හේතුවෙනි. 11වන සියවසේ සිට, චන්දේලවරුන්ට උතුරින් මුස්ලිම් රාජවංශවල ආක්රමණවලට මුහුණපෑමට සිදු විය. මෙම මුස්ලිම් ආක්‍රමණිකයන් අතර ඝස්නවිද්වරුන් සහ ඝූරිද්වරුන් ඇතුළත් විය. 13වන සියවසේ දී චාහමාන සහ ඝූරිද් ආක්‍රමණ හේතුවෙන් 13වන සියවසේ ආරම්භය වන විට චන්දේල බලය අවසන් විය.
චන්දේලවරුන් ඔවුන්ගේ කලාව සහ ගෘහනිර්මාණ හේතුවෙන් සුප්‍රකට ය. විශේෂයෙන්ම ඔවුන්ගේ මුල් අගනුවර වූ ඛජුරාහෝවේ පිහිටි දේවාල මේ අතුරින් ප්‍රධාන ස්ථානයක් හිමි කරගනියි. මීට අමතරව ඔවුන් විසින් දේවාල, ජලාශ, මාලිග සහ වෙනත් ගොඩනැගිලි ගණනාවක් ඉදිකොට තිබේ. මේ අතරට අජේගාර්, කලින්ජාර් බලකොටු සහ ඔවුන්ගේ පසුකාලීන අගනුවර වූ මහෝබා අයත් වේ.