From Wikipedia, the free encyclopedia
කොනාරක් (ඔඩියා: କୋଣାର୍କ) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ පුරි දිස්ත්‍රික්කයේ පිහිටි හධ්ය ප්‍රමාණයේ නගරයකි. මෙය බෙංගාල බොක්ක අසල වෙරළ තීරයේ ප්‍රාන්ත අගනුවර වන භුබනේස්වර් සිට කිලෝමීටර 65ක් දුරින් පිහිටා තිබේ.[1] 13වන සියවසේ Iවන නරසිංහදේව රජ සමයේ කළු ග්‍රැනයිට් පාෂාණයෙන් ඉදිකළ සූර්ය දේවාලය හෙවත් කළු පැගෝඩාව පිහිටියේ මෙහි ය. මෙම දේවාලය ලෝක උරුම අඩවියකි.[2] වර්තමානයේ බෙහෙවින් නටබුන් බවට පත්ව ඇති මෙම දෙවොලේ ප්‍රතිමා එකතුවක් සූර්ය දේවාල කෞතුකාගාරයේ තබා ඇත. මෙය ක්‍රියාත්මක වන්නේ ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණය මගිනි.
කොනාරක් କୋଣାର୍କ කොනාර්ක, කොනාරක් | |
---|---|
නගරය | |
සූර්ය දේවාලය, කොනාරක් | |
ඉන්දියාවේ ඔඩිෂා තුළ පිහිටීම | |
ඛණ්ඩාංක: 19°53′27″N 86°06′01″E | |
රට | ඉන්දියාව |
ප්‍රාන්තය | ඔඩිෂා |
දිස්ත්‍රික්කය | පුරි |
උන්නතාංශය | 2 මී (7 අඩි) |
ජනගහණය(2001) | |
• මුළු | 15,015 |
භාෂා | |
• නිල | ඔඩියා |
වේලා කලාප | IST (UTC+5:30) |
වාහන ලියාපදිංචිය | OD |
වෙබ් අඩවිය | http://konark.nic.in |
කොනාරක් නගරය කොනාරක් නර්තන උළෙල යනුවෙන් හැඳින්වෙන් වාර්ෂික නර්තන උළෙල හේතුවෙන් ප්‍රකට වී ඇත. සෑම දෙසැම්බරයකම පැවැත්වෙන මෙම උත්සවය සම්භාව්‍ය ඉන්දියානු නර්තන ක්‍රම වෙනුවෙන් වෙන්කොට ඇත. මේ අතරට ඔඩිෂාහි සම්ප්‍රදායික නර්තන ක්‍රමයක් වන ඔඩිසි නර්තනය ද ඇතුළත් ය.[3]
1980 පෙබරවාරි 16 දින, කොනාරක් නගරය පූර්ණ සූර්යග්‍රහණය දර්ශනය වූ මාර්ගය ඔස්සේ විය.[4][5][6]
කොනාර්ක යන වදන පැන නැගී ඇත්තේ සංස්කෘත වදනක් වන කෝණ (අර්ථය කෝණය) සහ සූර්ය දෙවියන්ට පිදූ දෙවොල ආශ්රයෙන් අර්ක (අර්ථය සූර්යයා) යන වදන එක් වීමෙනි.[7]
13වන සියවසේ ඉදිවූ සූර්ය දේවාලය සූර්ය දෙවියන් වෙනුවෙන් පුදකළ දැවැන්ත රථයක් ලෙසින් සැලසුම් කෙරුණකි. මෙයට විසිතුරු කරන ලද රෝද යුගළ දොළසක් ඇති අතර, එය ඇදීමට අශ්ව රූ සතක් ඇත. මින් ඇතැම් රෝද මීටර 3ක් පමණ පළල් ය. වර්තමානයේ මෙහි වූ අශ්ව ප්‍රතිමා හතෙන් දක්නට ලැබෙන්නේ සයක් පමණි.[8] 17වන සියවසේ මුල්කාලයේ මෝගල් ජහාන්ගිර් අධිරාජයගේ දූතයකු විසින් මෙම දේවාලය අවභාවිතයට ගෙන වනසා ඇත.[9]
මෙම දේවාලය උච්චස්ථානයට පත්ව තිබූ සමයේ, මෙහි වන්දනාමාන කෙරුණු සූර්ය දෙවියන්ගේ ප්‍රධාන ප්‍රතිමාව මුදුනේ සවිකළ විශාල චුම්බකයකින් සහ පත්ළේ සවිකළ විශාල චුම්බකයකින් යුතුව අහසේ පාවෙන අයුරින් නිමවා කිබෙන්නට ඇතැයි සැලකේ.[10]
දේව ප්‍රතිමාව මධ්‍යයේ දියමන්තියක් ඔබ්බවා තිබූ අතර, එයට හිරු එළිය පතිත වී පරාවර්තනය වූ බැව් විශ්වාස කෙරේ. 1627දී, ඛුර්දාහි රජු කොනාරක්හි සිට සූර්ය දේව ප්‍රතිමාව පූරිහි ජගන්නාත් දේවාලය වෙත රැගෙන ගියේ ය. මෙම කොනාරක් සූර්ය දේවාලය අයත් වන්නේ කාලිංග ගුරුකුලයේ ඉන්දියානු ගෘහනිර්මාණ ශෛලියට ය. මෙම සූර්ය දේවාලය ඉදි කොට ඇත්තේ නැගෙනහිර-බටහිර දිශාව ඔස්සේ ය. මෙහි ඇතුළු ශුද්ධස්ථාන හෙවත් විමාන, කුළුණක් හෙවත් ශිඛරයක් වටා පිහිටා තිබෙන්නට ඇත. නමුත් 19වන සියවසේ එය විනාශ කොට ඇත. මෙහි ශ්‍රවණාගාරය හෙවත් ජගමෝහන ශාලාව තවමත් පවතින අතර, නටබුන් අතුරින් බොහෝමයක් එයට අයත් ඒවායි. නෘත්‍ය ශාලාව හෙවත් නාට්මන්දීර්හි පියස්ස ඇද වැටී ඇත. මෙය නටබුන් පිහිටි පෙදෙසේ නැගෙනහිර අන්තයේ පිහිටා ඇති අතර, උස් වේදිකාවක එය ඉදිකර තිබිණි.[11]
1559දී, මුකුන්දා ගජපති කත්තක්හි සිහසුනට පත් විය. ඔහු අක්බර් අධිරාජයාට පක්ෂපාතී වූ අතර, බෙංගාලයේ සුල්තාන් වූ සුලෙයිමාන් ඛාන් කරානිට සතුරුව ක්‍රියා කරන්නට වූයේ ය. සටන් කිහිපයකින් පසු, අවසානයේ ඕදිෂාව බිඳවැටිණි. මෙම බිඳ වැටීමට රාජ්‍යයේ අභ්‍යන්තර ව්‍යාකූළ ස්වභාවය ද හේතුවූයේ ය. 1568දී, සුල්තාන්ගේ සෙන්පතියකු වූ කාලපහාද්ගේ හමුදාව විසින් කොනාරක් දේවාලයට හානි සිදුකළ බැව් පැවසේ.[12] කාලපහාද් විසින් මෙම ආක්රමණයේ දී තවත් දේවාල කිහිපයක් විනාශ කළ බැව් වාර්තා වේ.
2011 ඉන්දියානු සංඛ්‍යාලේඛන අනුව,[13] කොනාරක්හි ජනගහනය 16,779කි. මින් පුරුෂ ජනගහනය 8,654 (52%) වන අතර, ස්ත්‍රී ජනගහනය 8,125 (48%) ක් විය. 2001 ජනගහන වාර්තා අනුව, කොනාරක්හි සාමාන්‍ය සාක්ෂරතා ප්‍රතිශතය 57%කි. මෙය ඉන්දියාවේ ජාතික සාක්ෂරතා ප්‍රතිශතය වන 59.5%ට වඩා පහළ අගයයකි: මින් පුරුෂ සාක්ෂරතාව 64%කි. ස්ත්රීන්ගේ සාක්ෂරතාව 49%කි. කොනාරක් නගරයේ ජනගහනයෙන් 14%ක් අවුරුදු 6ට අඩු පුද්ගලයෝ වෙති.
කොනාරක් සුප්‍රකට සංචාරක ස්ථානයක් ලෙස සැලකේ. සංචාරකයන්හට භුබනේස්වර් හෝ පූරි සිට කොනාරක් වෙත ළඟා විය හැක. භුබනේස්වර් ගුවන්තොටුපළේ සිට කොනාරක් වෙත කිලෝමීටර 64ක දුරක් ඇති අතර, සුඛෝපභෝගී බස් රථ සේවා ද මුළු දිවා කාලය පුරා මෙහි ක්‍රියාත්මක ය. මීට සමගාමීව ටැක්සි සේවාවක් ද ක්‍රියාත්මක වේ. පූරි සිට කොනාරක් වෙත් ඇති දුර ප්‍රමාණය කිලෝමීටර 34ක් පමණ ය. පූරි දුම්රිය ස්ථානයේ සිට බසයක හෝ ටැක්සියක නැගී කොනාරක් වෙත ළඟ විය හැක. කොනාරක් වෙත දුම්රිය සේවා ද ක්‍රියාත්මක වුවත්, එය එතරම් ජනප්‍රිය නැත.[14]
බුගුඩාහි බිරාන්චිනාරායන් දේවාලය, ඔඩිෂාහි පිහිටි තවත් සූර් දේවාලයකි.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.