අක්නාටන් (/ˌækəˈnɑːtən/;[1] එක්නේටන්,[7] අක්නේටන්,[8]ඉක්නේටන්,[9]සහ ඛුඑනාටන්;[10][11]ලෙස ද හඳුන්වයි; අරුත "ආටන් වෙනුවෙන් ක්‍රියාකාරී") හෙවත් සිය පස්වන රාජ්‍ය වර්ෂයට පෙර අමෙන්හොටෙප් IV (ඇතැම්විට ග්‍රීක ස්වරූපයෙන් අමෙනෝෆිස් IV ලෙස ද දක්වයි, අරුත: අමුන් සතුටට පත් කළ) ලෙස හැඳින්වෙන්නේ පුරාතන ඊජිප්තුවේ 18වන රාජවංශයේ පාරාවෝවරයෙකි. ඔහු විසින් වසර 17ක් රාජ්‍යය පාලනය කොට ඇති අතර, ඇතැම්විට ක්‍රි.පූ. 1336 හෝ 1334දී මියගොස් ඇත. ඔහු වඩාත් ප්‍රසිද්ධ වී ඇත්තේ සම්පදායික ඊජිප්තු බහුදේවවාදය බැහැරකොට ආටන් ඇදහීම වටා කේන්ද්‍රගත වූ ආගමික සංකල්පයක් හඳුන්වා දීම නිසාවෙනි. මෙය ඇතැම් අවස්ථාවල දී, සමේශ්වරවාදයක් හෝ අර්ධ-ඒකදේවවාදී ආගමික සංකල්පයක් ලෙස සැලකේ. පැරණි ශිලාලේඛනවල ආටන්ව හිරු ලෙස හඳුන්වා තාරකා සමග සසඳා ඇත. නමුත් පසුකාලීන නිල භාෂාව අනුව ආටන් යනු දෙවිකෙනකු ලෙස පැවසීම තහනම් කොට ඇති අතර, ඔහුට සාමාන්‍ය දෙවිකෙනකුට වඩා උසස් “සූර්ය දේවතාවා” නම් තත්ත්වයක් ලබා දී ඇත.

Quick Facts අක්නාටන් අමෙන්හොටෙප් IV, පාරාවෝ ...
Close

අක්නාටන් සම්ප්‍රදායික ඊජිප්තු ආගමට නැවතුම තබන්නට උත්සාහ ගත්ත ද, අවසානය වනතුරුත් එය අනුමත වූයේ නැත. ඔහුගේ මරණින් පසු, සම්ප්‍රදායික ආගම යළි ස්ථාපනය කෙරිණි. වසර දොළහකට පමණ පසු 18වන රාජවංශයේ අනුප්‍රාප්තියට පැහැදිළි අයිතියක් නොතිබූ පාලකයින් විසින් නව රාජවංශයක් පිහිටුවූ අතර, ඔවුන් විසින් අක්නාටන් සහ ඔහුගෙන් පසු බලයට පත් වූ පාලකයින් නින්දාවට ලක් කොට ඇත. ඔවුන් සිය ලේඛන වාර්තා ආදියෙහි අක්නාටන් හඳුන්වා ඇත්තේ "සතුරා" හෝ "එම අපරාධකරු" වැනි වදන්වලිනි.[12]

ආටන් දෙවිඳුන් වෙනුවෙන් අක්නාටන් විසින් අමර්ණ ප්‍රදේශයේ ඉදිකළ අක්ටාටන් නගරය 19වන සියවසේ දී සොයාගන්නා තෙක්ම ඔහු පිළිබඳ තොරතුරු ඉතිහාසයෙන් සැඟවී තිබිණි. ෆ්ලින්ඩර්ස් පෙට්‍රී විසින් අමර්ණ නගරයේ සිදුකළ මුල්කාලීන කැනීම් හේතුවෙන් මේ ගුප්ත පාරාවෝවරයා පිළිබඳ විද්වතුන් තුළ වූ උනන්දුව වැඩි විය. 1907දී එඩ්වඩ් ආර්. අයිර්ටන් විසින් පොළොවෙන් යට වී තිබූ KV55 සොහොන්ගැබෙන් මමියක් සොයාගත් අතර, එය අක්නාටන්ගේ වියහැකි යැයි විශ්වාස කෙරිණි. එහි DNA විශ්ලේෂණය අනුව පෙනී ගියේ KV55 සොහොන්ගැබේ භූමදානය කොට ඇති පුද්ගලයා ටුටන්ඛාමුන් රජුගේ පියා බවයි.[13] නමුත් එය සැබැවින්ම අක්නාටන්ගේ ද යන්න ගැටලු සහගත ය.[6][14][15][16][17]

අක්නාටන් සහ ඔහුගේ රැජින වූ නෙෆර්ටිටි පිළිබඳ පවසන විට ඔහු සහ ටුටන්ඛාමුන් අතර ඇති සම්බන්ධය ද අමතක කළ නොහැකි ය. (ටුටන්ඛාමුන්ගේ මව නෙෆර්ටිටි නොවේ. ටුටන්ඛාමුන්ගේ මව, පුරාවිද්‍යාඥයින් විසින් “ලාබාල යුවතිය” ලෙස හඳුන්වන මමිය අයත් තැනැන්තියයි.) එසේම ඔවුන් විසින් හඳුන්වා දුන් විශිෂ්ට කලා සම්ප්‍රදාය මෙන්ම ඔහු ස්ථාපනයට උත්සාහ ගත් ආගම ද ඔහුගේ සුවිශේෂී බවට හේතු වී ඇත.

IVවන අමෙන්හොටෙප් ලෙස මුල් දිවිය

Thumb
IVවන අමෙන්හොටෙප් සිය නාමය අක්නාටන් ලෙස වෙනස් කර ගැනීමට පෙර ඔහු නිරූපිත කැටයමක්, නියුවස් කෞතුකාගාරය, බර්ලින්

අනාගත අක්නාටන් උපත ලැබූයේ IIIවන අමෙන්හොටෙප් රජුගේ සහ ඔහුගේ අගබිසව වූ ටියේ රැජිනගේ බාල පුත්‍රයා ලෙස ය. වැඩිමහල් පුතු වූ කිරුළහිමි තුත්මෝස් කුමරු IIIවන අමෙන්හොටෙප් රජුගේ අනුප්‍රාප්තිකයා ලෙස නම්කෙරුණ ද, ඔහු ළමා වියේම මියගිය බැවින් කිරුළ අමෙන්හොටෙප් නැමැති කුමරෙකුට හිමි විය.[18]

IVවන අමෙන්හොටෙප් සිය පියා වූ IIIවන අමෙන්හොටෙප්ගේ මරණින් පසු සිහසුනට පත්වූයේ ද, නැතහොත් පියා සමග හවුල් පාලනයක් (ඇතැම් ඊජිප්තුවේදීන්ට අනුව වසර 12ක් පුරා පැතිරුණු) ගෙනගියේ ද යන්න විවාදයට තුඩු දී ඇත. එරික් ක්ලයින්, නිකොලස් රීවස්, පීටර් ඩොර්මන් වැනි විද්වතුන් සිය ශාස්ත්‍රීය ග්‍රන්ථ තුළ මෙම රජවරුන් දෙදෙනා අතර දිගු සහ-පාලනයක් පැවති බවට වන මතයට විරුද්ධව අදහස් දක්වමින් ප්‍රකාශ කොට ඇත්තේ එවැනි හවුල් පාලනයක් නොතිබූ බව හෝ එය අවුරුදු එකක්, දෙකක් වැනි කෙටි කාලයක් පැවති එකක් බවයි.[19] ඩොනල්ඩ් රේඩ්ෆෝර්ඩ්, විලියම් මර්නේන්, ඇලන් ගාර්ඩිනර් වැනි විද්වතුන් සහ මෑතකාලීනව ලෝරන්ස් බර්මන් (1998) වැනි පුද්ගලයෝ අක්නාටන් සහ ඔහුගේ පියා අතර හවුල්-පාලනයක් පැවති බවට විවාද කරති.[20]

2014 පෙබරවාරි මස, ඊජිප්තු පුරාවස්තු අමාත්‍යාංශය නිවේදනය කළේ අක්නාටන් සහ ඔහුගේ පියා විසින් අවම වශයෙන් වර්ෂ 8ක් වත් හවු‍ල් පාලනයක් ගෙන ගොස් ඇති බවට සාක්ෂි ඇති බවයි. මේ බවට සාක්ෂි ලුක්සෝර්හි අමෙන්හොටෙප්-හුයි නැමැති අමාත්‍යවරයාගේ සොහොන්ගැබෙන් හමු වූ ශිලාලේඛනවලින් ලැබේ.[21][22] ස්පාඤ්ඤ පුරාවිද්‍යාඥයින් පිරිසක් මෙම සොහොන්ගැබේ කාර්යයයෙහි නියුතුව සිටිති.

Thumb
අක්නාටන් ලෙස නම වෙනස් කිරීමට පෙර IVවන අමෙන්හොටෙප්ගේ පදවි නාමයන් ඇතුළත් ලෝකඩ ඵලකයක්, බ්‍රිතාන්‍ය කෞතුකාගාරය.

IVවන අමෙන්හොටෙප් තීබ්ස් නුවර දී කිරුළු පැළඳි අතර ඔහු එම ප්‍රදේශයේ ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපෘති ආරම්භ කළේ ය. එසේම ඔහු අමුන්-රේගේ දේවස්ථානයේ දකුණු පිවිසුම ඔහු රේ-හරාඛ්ටි දෙවිඳුන් නමදින අයුරු නිරූපිත කැටයම්වලින් අලංකාර කළේ ය. මඳ කලකින්ම ඔහු නැගෙනහිර කාර්නැක්හි ආටන්ට පිදූ දෙවොලක් ඉදිකිරීමට නියෝග කළේ ය. මෙම IVවන අමෙන්හොටෙප්ගේ දේවස්ථානය ගෙම්පාටෙන් ("ආටන්ගේ භූමියේ ආටන් හමු වේ") ලෙස නම්කරන ලදී. මෙම ගෙම්පාටෙන් දෙවොල, මාලිගයක් සහ නෙෆර්ටිටි රැජින වෙනුවෙන් පුද කළ හ්ව්ට් බෙන්බෙන් (බෙන්බෙන් පාෂාණ නිසා නම්කෙරිණි) නැමැති ව්‍යූහයක් ඇතුළු ගොඩනැගිලි ගණනාවකින් සමන්විත විය. මේ කාලයේම කාර්නැක්හි ඉදි වූ වෙනත් ආටන් දෙවොල් වන රුඩ්-මෙනු සහ ටෙනි-මෙනු යන දෙවොල් නවවන අටලුව අසල ඉදිකොට තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. නමුත් මේ කාලයේ ඔහු විසින් අමුන් වන්දනාව යටපත් නොකළ අතර, ඔහුගේ සිව්වන වර්ෂය වනවිටත් අමුන්ගේ ප්‍රධාන පූජකවරයා තනතුර ක්‍රියාකාරීව පැවතිණි.[18] තීබ්ස්හි ඛුවෙරුවෙෆ් (TT192), රාමෝස් (TT55) සහ පැරෙනෙෆර් (TT188) වැනි වංශවතුන්ගේ සොහොන්ගැබ්වල රජු IVවන අමෙන්හොටෙප් අයුරින්ම නිරූපිත ය.[23]

රාමෝස්ගේ සොහොන්ගැබේ බටහිර බිත්තියේ IVවන අමෙන්හොටෙප්ගේ රුව දක්වා ඇත්තේ සම්ප්‍රදායික ශෛලියෙන් යුතුව, සිහසුනක වාඩි වී සිටින පරිදි ය. රාමෝස්ගේ රුව, රජුට ඉදිරියෙන් නිරූපණය කොට ඇත. දොරකඩෙහි අනෙක් පැත්තේ IVවන අමෙන්හොටෙප් සහ නෙෆර්ටිටිගේ රූ කවුළුවක් තුළ කැටයම් කොට ඇති අතර, ආටන් නිරූපණය කොට ඇත්තේ හිරුමඬල ලෙසයි. තීබ්ස්හි පැරෙනෙෆර්ගේ සොහොන්ගැබෙහි, IVවන අමෙන්හොටෙප් සහ නෙෆර්ටිටි සිහසුනක වාඩි වී සිටන අයුරිනුත්, හිරුමඬල ඔවුනට ඉහළිනුත් කැටයම් කොට ඇත.[23]

IVවන අමෙන්හොටෙප්ගේ සමයට අයත් යැයි හඳුනාගත් අවසාන ලේඛන අතුරින් එකක් ලෙස පාරාවෝගේ මෙම්පිස් අපි (හෝ ඉපි) හි ආරක්ෂකයකුගේ ලිපියක පිටපත් දෙක සැලකෙයි. මෙම ලේඛන හමු වූයේ ගුරොබ් පෙදෙසින් වන අතර, එය 5වන රාජ්‍ය වර්ෂයේ, වැඩෙන ඍතුවේ තෙවන මාසයේ 19වන දිනයට අයත් යැයි දිනනිර්ණය කොට ඇත.[24]

නම වෙනස් කරගැනීම

සිය පස්වන රාජ්‍ය වර්ෂයේ 8වන මාසයේ, 13වන දිනයේ රජු නව අක්ටාටන් (වර්තමානයේ අමර්ණ ලෙස හඳුන්වයි) නගරය වෙත පැමිණ ඇත. ඉන් මාසයකට පසු IVවන අමෙන්හොටෙප් සිය නාමය අක්නාටන් ලෙස නිල වශයෙන් වෙනස් කොට ගත්තේ ය.[18] සිය 5වන රාජ්‍ය වර්ෂයේ දී IVවන අමෙන්හොටෙප් සිය පංචවිධ පදවි නාමයන් අතරින් බොහෝමයක් වෙනස්කර ගත්තේ ය. ඉන් ඔහු වෙනස් ‍කොට නොගත්තේ ඔහුගේ පූර්වනාමය හෙවත් සිහසුන් නාමය නෙෆර්ඛෙපෙරුරේ යන නාමය පමණි.[25]

More information අමෙන්හොටෙප් IV, අක්නාටන් ...
අමෙන්හොටෙප් IV අක්නාටන්
හොරස් නාමය
E1
D40
N29A28S9

කානැඛ්ට්-කායි-ෂුටි
"ද්විත්ව පිහාටුවේ ශක්තිමත් ගවයා
it
n
N5
mr

මෙරිආටෙන්
"ශක්තිමත් ගවයා, ආටන්ගේ ප්‍රියයා"
නෙබ්ටි නාමය
wr
r
swt
n
iimit
p
Q1t
Z2

වෙර්-නෙසුට්-එම්-ඉපෙට්-ස්ව්ට්
"කාර්නැක්හි මහා රාජ්‍යත්වය"
wr
r
swiiAa15
N27
it
n
N5

වෙර්-නෙසුට්-එම්-අක්ටාටෙන්
"අඛෙට්-ආටෙන්හි ශ්‍රේෂ්ඨ රාජ්‍යත්වය"
රන් හොරස් නාමය
U39Y1N28
Z2ss
mO28W24
O49
M27

වෙට්ජෙස්-ඛාවු-එම්-ඉයුනු-ෂෙමායි
"දකුණේ හීලියොපොලිසයේ කිරුළ ලත්" (තීබ්ස්)
U39r
n
V10
n
it
n
N5

වෙට්නෙස්-රෙන්-එන්-ආටෙන්
"ආටන්ගේ නාමය උච්චත්වයට පත්කළ තැනැත්තා"
පූර්වනාමය
ranfrxprZ3ra
wa
n

නෙෆර්ඛෙපෙරුරේ-වේන්රේ
"රේගේ ස්වරූපයන් අලංකෘතය, රේට අනන්‍ය පුද්ගලයා"
ranfrxprZ3ra
wa
n

නෙෘර්ඛෙපෙරුරේ-වේන්රේ
නාමය
imn
n
HtpR8S38R19

අමෙන්හොටෙප් නෙට්ජෙර්-හෙකා-වැසෙට්
"අමෙන්හොටෙප් තීබ්ස්හි දෙවි-පාලකයා"
it
n
ra
G25x
n

අක්නාටන්
"ආටන් කෙරෙහි ක්‍රියාකාරී"
Close

ආගමික ප්‍රතිපත්ති

Thumb
ආටන් නමදින පාරාවෝ අක්නාටන් (මැද) සහ පවුලේ සාමාජිකයින්; මෙහි හිරුමඬලෙන් හිරු රැස් විහිදෙන අයුරු නිරූපිත ය.
Thumb
කාර්නැක්හි අක්නාටන්ගේ ආටන් දෙවොලේ ඇති ටලටට් කුට්ටි

අක්නාටන් සිදුකළ ආගමික ප්‍රතිසංස්කරණ ජනයා කෙරෙහි කුමන ප්‍රමාණයකින් ක්‍රියාත්මක වී ද යන්න විවාදයට තුඩු දී ඇත. නිශ්චිතවම, කාලයත් සමග ඔහු විසින් ආටන් දෙවියන්ගේ නාමයන් සහ ආගමික බස ප්‍රතිශෝධනය කොට ඇති අතර, සෙසු දෙවිවරුන් සඳහන් කිරීම ක්‍රමයෙන් ඈත් කොට ඇත. එසේම ඔහු විසින් විශේෂයෙන්ම අමුන් වැනි සම්ප්‍රදායික දෙවිවරුන්ගේ නම් විශාල වශයෙන් මකාදැමීමට ක්‍රියාකළේ ය. ඔහුගේ රාජසභාවේ සිටි ඇතැම් පුද්ගලයින් සිය නම්වලට ඈඳා ගෙන තිබූ වෙනත් දෙවිවරුන්ගේ නම්වල කොටස් ඉවත් කොට ආටන් දෙවිඳුන්ගේ (හෝ අක්නාටන් විසින් ආටන්ට සමාන යැයි පැවසූ රා දෙවිඳුන්ගේ) නාමය එතැනට ආදේශ කොටගත්හ. කෙසේනමුත්, අමර්ණ යුගයේ සිටි අහ්මෝස් ("සඳ දෙවියන්ගේ දරුවා", 3වන සොහොන්ගැබේ හිමිකරු) සහ සුප්‍රකට නෙෆර්ටිටි උඩුකය ප්‍රතිමාව සහ රාජකීය ආලේඛය නිර්මාණ හමු වූ ප්‍රතිමා වැඩපොල හිමි තුත්මෝස් ("තොත්ගේ දරුවා") වැනි ඇතැම් රාජ්‍ය නිලධාරීන් පැරණි දෙවිවරුන්ගේ නම් හා සම්බන්ධ නාමයන් වෙනස්කොට නැත. අමර්ණ නගරයෙන් හමු වූ ෆෙයාන්ස් ආරක්ෂක සුර අතිවිශාල සංඛ්‍යාව අනුව පෙනී යන්නේ එහි ජනතාව විසින් ගෘහ-සහ-දරු උපත්වලට අධිපති බෙස් සහ ටැවෙරෙට් දෙවිවරුන්ගේ යන්ත්‍ර, හොරස්ගේ ඇස, සහ සෙසු සම්ප්‍රදායික දෙවිවරුන්ගේ ආරක්ෂක යන්ත්‍ර පැළඳ ඇති බවයි. එපමණක් නොව අමර්ණ රාජකීය සොහොන්ගැබ් අසල වළලා තිබී හමු වූ රාජකීය ආභරණ (දැනට ස්කොට්ලන්තයේ ජාතික කෞතුකාගාරයේ තබා ඇත) අතර අමුන් දෙවියන්ගේ බිරිඳ වූ මුට් දෙවඟනගේ නාමය ඇතුළත් මුදුවක් හමු වී ඇත. මෙවැනි සාක්ෂි අනුව පෙනීයන්නේ අක්නාටන් විසින් සම්ප්‍රදායික දේවස්ථානවලට අනුග්‍රහ දැක්වීම වෙනස් කළ ද, ඔහුගේ ප්‍රතිපත්ති ඉවසිලිවන්ත ඒවා වූ බවයි.

අක්නාටන්ගේ මරණින් පසු පළමුව ඔහු සිදුකළ මෙම වෙනස ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් විය. දශකයක් තුළ දේශපාලන, ආගමික සහ කලාත්මක අංශ නැවත ඔහුගේ පියාගේ පැවති සමයේ මෙන් සුපුරුදු ඊජිප්තු ජීවිතයට අනුකූල වන ‍තත්ත්වයට හැඩගැසිණි. අක්නාටන්ගේගේ මරණින් පසු, ඔහුගේ රාජ්‍ය සමයේ නිර්මාණය වූ කලා සහ ගෘහනිර්මාණ විකෘති කිරීම හෝ විනාශ කිරීම සිදු විය. මෙම විනාශයන් විශේෂයෙන්ම ‍හොරෙම්හෙබ් සහ මුල්කාලීන 19වන රාජවංශික රජවරුන් අතින් සිදු විය. අක්නාටන්ගේ ඉදිකිරීම්වල කොටස් පසුව එම රජවරුන් සිය දේවස්ථාන සහ සොහොන්ගැබ් ඉදිකිරීම සඳහා භාවිත කොට ඇත.

පාරාවෝ සහ පවුල් නිරූපණය

මෙම කෙටි යුගය තුළ පැවති කලා සම්ප්‍රදාය ‍සෙසු ඊජිප්තු කලා සම්ප්‍රදායයන්ගෙන් පැහැදිළිවම වෙනස්කමක් පෙන්වයි. ඇතැම් අවස්ථාවල මෙම කලා නිර්මාණ, විශේෂයෙන්ම සතුන්, ශාක සහ සාමාන්‍ය වැසියන්ව වඩාත් ස්වාභාවිකව නිරූපණය කොට ඇත. රාජකීය මෙන්ම රාජකීය නොවන පුද්ගලයන්ගේ රූ පවා ජිව ගුණයෙන් යුතුව සජීවී ලෙස නිර්මාණය කොට ඇත. කෙසේනමුත්, මාලිගයේ සාමාජිකයන් විශේෂයෙන්ම රාජකීය පවුලේ සාමාජිකයන්ගේ රූප නිරූපණය කිරීමේ දී, අතිශයින්ම ශෛලිගත කලා සම්ප්‍රදායයක් අනුගමනය කොට ඇති බව පෙනේ. මෙම ශෛලිගත සම්ප්‍රදාය තුළ දිගැති හිස්, ඉදිරියට නෙරා ගිය උදරය, පුළල් උකුල, සිහින් අත් පා, සහ විසිතුරු කළ මුහුණේ ලක්ෂණ දැකිය හැක. ‍ඊජිප්තු රාජකීය කලා ඉතිහාසය තුළ අමර්ණ යුගයට සුවිශේෂී ස්ථානයක් හිමිවන්නේ මෙකල නිම වූ අක්නාටන්ගේ පවුලේ සාමාජිකයින්ගේ රූප ස්වාභාවික ඉරියව්වලින්, විශේෂයෙන්ම එකිනෙකා සමග ආදරයෙන් සිටින අයුරින් නිරූපණය කොට තිබීම නිසායි. (නමුත් සම්ප්‍රදායික කලාව තුළ පාරාවෝගේ දිව්‍යමය ස්වභාවය නිරූපණය කෙරුණේ අචල ඉරියව්වලිනි)

Thumb
නිල් පැහැ යුධ කිරුළ පැළඳි අක්නාටන්ගේ කුඩා ප්‍රතිමාවක්

රජුගේ බිසව වූ නෙෆර්ටිටි රැජින, රජුට පසෙකින් සිටින අයුරින් මෙන්ම තනිව (හෝ ඇගේ දියණියන් සමග) නිරූපිත අවස්ථා ද හමු වේ. මෙම නිරූපණයන්හි ඇය දක්වා ඇත්තේ පාරාවෝවරයකුට උචිත ඉරියව්වලිනි. මේ අනුව ඇය රැජින ලෙස අසමාන්‍ය නිලයක් හොබවන්නට ඇති බවට යෝජනා වී ඇත. මුල්කාලීන නිරූපණයන්හි ඇගේ රාජකීය ආභරණ නොවී නම් ඇයගේ රුව, ඇගේ සැමියාගේ රූපයෙන් වෙන් කොට හඳුනා ගැනීම අපහසු ය. නමුත් නව අගනුවර වෙත යාමෙන් පසු, නෙෆර්ටිටි නිරූපණය කොට ඇත්තේ ඇයටම අනන්‍ය වූ ලක්ෂණවලිනි. සැබැවින්ම නෙෆර්ටිටි අතිශය රූමත් වී ද, නැතහොත් එය හුදෙක් නිර්මාණයක් පමණ ද යන්න ගැටලුවකි.

අක්නාටන්ව නිරූපිත කැටයම්වල ඔහුව විරූපී, නපුංසක ස්වභාවයෙන් නිරූපණය කොට තිබීම මතභේදයට තුඩු දී ඇත. මේ සඳහා ආගමික හේතූන් ඉදිරිපත් කොට ඇති අතර, සැමදෙනාගේ "මව සහ පියා" යනුවෙන් අමර්ණ සොහොන්ගැබ්වල සඳහන් ආටන්ගේ මැවීම් ස්වභාවය මෙමගින් නිරූපණය වේ යැයි ඇතැම් විද්වත්හු පවසති. නැතහොත් අක්නාටන්ගේ (සහ ඔහුගේ පවුලේ අයගේ) විශේෂ බාහිර ස්වරූපය අතිශයෝක්තියෙන් යුතුව පෙන්වා ඇති බවට ද මතයක් පවතී. අක්නාටන්ගේ යැයි පැවසෙන මමිය සොයාගන්නා තෙක්ම මෙවැනි මතවාද පැවතිණි. ඇතැම් විද්වතුන් විසින් රජුන්ගේ නිම්නයේ වැඩ අවසන් නොකළ KV55 සොහොන්ගැබෙන් හමු වූ 61074 මමිය අක්නාටන්ගේ යැයි හඳුනාගෙන ඇත.[26] එය එසේ වී නම්—හෝ KV 55 මමිය ඔහුගේ කිට්ටු සමීපතමයකු වූ ස්මෙන්ඛ්කරේට අයත් නම්—එහි පරිමාණ ලක්ෂණ අනුව අක්නාටන්ගේ සැබෑ ස්වරූපය අතිශයෝක්තියෙන් දක්වා ඇති බවට වූ මතය සත්‍ය විය හැක. මෙම “මමිය” වෙන් වූ අස්ථි කොටස්වලින් සමන්විත වුවත්, එහි හිස්කබල දිගටි වූ අතර එහි නිකට ප්‍රමුඛ ය. ගාත්‍රා දිගටි සහ සැහැල්ලු ය. 2007දී, සාහි හවාස් ඇතුළු පර්යේෂකයින් කණ්ඩායමක් විසින් 61074 මමියේ CT පරිලෝකනයක් සිදුකරන ලදී. පරිලෝකන ප්‍රතිබිම්බ අනුව නිගමනය වූයේ දිගටි හිස්කබල, කම්මුල් අස්ථි, බෙදුණු තල්ල, සහ ගැටුළණු ඥාන දත් අනුව මෙම මමිය ටුටන්ඛාමුන්ගේ පියාගේ බවයි. ඒ අනුව ටුටන්ඛාමුන්ගේ පියා අක්නාටන් ලෙස ප්‍රකට විය.

Thumb
විල්බර් ඵලකය, ක්‍රි.පූ. 1352-1336 පමණ අයත් ය, බෲක්ලයින් කෞතුකාගාරය; මෙම කැටයම මගින් අක්නාටන් සහ නෙෆර්ටිටි ඔවුන්ගේ රාජ්‍යසමයේ පසුකාලයක නිරූපිත ය.

පවුල සහ සබඳතා

Thumb

IVවන අමෙන්හොටෙප් ලෙස සිය රාජ්‍ය සමයේ මුල්කාලයේ, අක්නාටන් නෙෆර්ටිටි සමග විවාහ විය. ශිලාලේඛන අනුව ඔවුනට දියණියන් සයදෙනකු වූ බව හඳුනාගත හැක. මෑතකදී සිදු කළ DNA විශ්ලේෂණයක් අනුව අනාවරණය වූයේ අක්නාටන්ට දාව ඔහුගේ ජීව විද්‍යාත්මක සොයුරියක් වූ "ලාබාල යුවතිය" මමියේ හිමිකාරිණිය විසින් බිහිකළ පුත්‍රයා ටුටන්ඛාටන් (පසුව ටුටන්ඛාමන්) බවයි.[27] අක්නාටන්ගේ අනුප්‍රාප්තිකයා වූ ස්මෙන්ඛ්කරේගේ දෙමාපියන් නොදනී. අක්නාටන් සහ හඳුනා නොගත් බිසවක් ඔවුන්ගේ දෙමව්පියන් වන්නට ඇතැයි යෝජනා වී ඇත.

ශිලාලේඛන අනුව අක්නාටන්ට කියා නැමැති දෙවන බිසවක් සිටි බව පැහැදිළි වේ. ඇතැමුන් ප්‍රකාශ කොට ඇත්තේ ඇය, ටුටන්ඛාමන් හෝ ස්මෙන්ඛ්කරේ හෝ ඒ දෙදෙනාටම මවක මෙන් කටයුතු කරන්නට ඇති බවයි.

අක්නාටන්ගේ දරුවන් (හඳුනාගත් සහ සෛද්ධාන්තික) සහ ඔවුන්ගේ අපේක්ෂිත උප්න වර්ෂ පහත පරිදි වේ:

ඔහුගේ දැනට හඳුනාගෙන ඇති බිසෝවරුන් වන්නේ:

තමන්ට පුරුෂ උරුමකරුවකු ලබා දීම සඳහා අක්නාටන් විසින් සිය ඇතැම් දියණියන්වද බිසෝවරුන් ලෙස පත්කොටගෙන ඇති බවට මතයන් පවතී. නමුත් මේ කරුණු විවාදාත්මක ය. නමුත් අක්නාටන් සිය පියා වූ IIIවන අමෙන්හොටෙප් මෙන් සිය එක් දියණියක්වත් මහා රාජකීය බිරිඳ ලෙස නම්කොට ඇති බව නිශ්චිත ය. නමුත් මෙමගින් ඇය අක්නාටන්ගේ ලිංගික සහකාරියක වූ බව හැඟවෙන්නේ නැත. එය වැදගත් උත්සවීය තනතුරක් වන්නට ඇත.[30]

  • මෙරිටාටෙන් දියණිය, ස්මෙන්ඛ්කරේගේ මහා රාජකීය බිරිඳ වූ බව අඛෙට්-ආටන්හි IIවන මෙරිරේගේ සොහොන්ගැබේ සටහන්ව ඇත. ටුටන්ඛාමුන්ගේ සොහොන්ගැබෙන් හමු වූ මංජුසාවක ඇගේ නාමය අක්නාටන් රජුගේ සහ නෙෆර්නෙෆරුආටෙන් රජුගේ මහා රාජකීය බිරිඳ ලෙස සටහන් කොට ඇත. විදේශ පාලකයින් විසින් අක්නාටන් ලියූ ලිපිවල මෙරිටාටෙන්ව 'නිවසේ ස්වාමි දියණිය' ලෙස දක්වා ඇත.
  • මෙකෙ‍ටාටෙන්, අක්නාටන්ගේ දෙවන දියණිය. රජුගේ 13වන හෝ 14වන වර්ෂයේ දී මෙකෙටාටෙන් ඇගේ දරුප්‍රසූතියේ දී මියගිය බව අමර්ණ සොහොන්ගැබ්වල සඳහන් ය. ඇයට සැමියකු සිටි බවට වාර්තා හමුනොවන බැවින් ඇගේ පියා වූ අක්නාටන් ඇයව බිසවක් කරගන්නට ඇතැයි සිතිය හැක. එම දරුවා පිළිබඳ සඳහන් ශිලාලේඛනයේ කොටස කැඩී ඇති හෙයින් මේ පිළිබඳ නිගමනයකට ඒමට නොහැක.
  • මුලින් කියා බිසව වෙනුවෙන් නිමකළ විවිධ ස්මාරක පසුව අක්නාටන්ගේ දියණියන් වූ මෙරිටාටෙන් සහ අන්ඛෙසෙන්පාටෙන් සඳහා නැවත කැටයම් කොට ඇත. මෙම ප්‍රතිශෝධිත ශිලාලේඛනයේ මෙරිටාටෙන්-ටැෂෙරිට් ("කනිටු") සහ අන්ඛෙසෙන්පාටෙන්-ටැෂෙරිට් කෙනකු පිළිබඳ සඳහන් වේ. ඇතැමුන් අදහස් දක්වන්නේ අක්නාටන් සිය මුණුපුරුමිණිපිරියන්ට පියා වන්නට ඇති බව මින් අදහස් වන බවයි. නමුත් තවත් සමහරුන් පවසන්නේ මෙවැනි මුණුපුරුමිණිපිරියන් පිළිබඳ කිසිදු සඳහනක් නැති නිසා, මෙම නම්, මුලින් කියාගේ දරුවකුගේ නමක් තිබූ ස්ථානයක වූ හිස්තැන පිරවීමට යෙදූ ප්‍රබන්ධ නාමයක් වියහැකි බවයි.[31]

තවත් පෙම්වතියන් දෙදෙනකු යෝජනා වී ඇති මුත්, ඒවා නිල වශයෙන් පිළිනොගැනේ:

  • ස්මෙන්ඛ්කරේ, අක්නාටන්ගේ අනුප්‍රාප්තිකයා සහ/හෝ ඔහුගේ අවසන් සමයේ සහ-පාලකයායි. පෙම්වතියකට වඩා ස්මෙන්ඛ්කරේ යනු අක්නාටන්ගේ අර්ධ-සොයුරකු හෝ පුත්‍රයකු විය හැකි ය. ඇතැමුන් විශ්වාස කරන්නේ ස්මෙන්ඛ්කරේ යනු අක්නාටන්ගේ බිසවක්, එනම් නෙෆර්ටිටි හෝ කියාගේ අන්වර්ථ නාමයක් බවයි. (පහත බලන්න)
  • ටියේ, ඔහුගේ මවයි. IIIවන අමෙන්හොටෙප්ගේ මරණින් වසර 12කට පසුවත්, ඇයව අභිලේඛනවල රැජින සහ රජුගේ ප්‍රියාවිය යන නම්වලින් හඳුන්වා ඇත. නමුත් බොහෝ අවස්ථාවල ඇයව හඳුන්වා ඇත්තේ රජුන්ගේ මව යනුවෙනි. මෙම මතයට පක්ෂව අදහස් දක්වන විද්වතුන් ස්වල්ප දෙනා (ප්‍රධානව ඉමානුවෙල් වෙලිකොව්ස්කි) පවසන්නේ අක්නාටන් යනු ග්‍රීසියේ තීබ්ස්හි ජීවත් වූයේ යැයි පැවසෙන පුරාවෘත්තමය ඊඩිපස් රජුගේ ප්‍රතිමූර්තියක් බවත්, ටියේ ඔහුගේ මව/බිරිඳ වූ ජොකැස්ටා බඳු බවත් ය.

ජාත්‍යන්තර සබඳතා

Thumb
දර්ශීය අමර්ණ යුගයේ ශෛලියෙන් නිම වූ අක්නාටන්ගේ රුවක්

විද්වතුන් පිරිසක් විසින් නූතන එල්-අමර්ණ (අක්ටාටන් නගරයේ නූතන නාමය) ප්‍රදේශයෙන් සොයාගනු ලැබූ අමර්ණ ලිපි මගින් අක්නාටන්ගේ රාජ්‍ය සමය පිළිබඳ සහ ඔහුගේ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ වැදගත් කරුණු බොහෝමයක් ලැබේ. මෙම ලිපි අතර දුරබැහැර හමුදා මුරපොළවල් වලින් අක්ටාටන් වෙත තොරතුරු දන්වමින් ලැබුණු ලිපි සහ මිටානි, බැබිලෝනියාව, ඇසිරියාව සහ හැටි වැනි විදේශ රාජ්‍යවල පාලකයින්ගෙන් ("මහා රජුන්" ලෙස දක්වා ඇත) ලැබුණු ලිපි අන්තර්ගත මැටි ඵලක ද වේ. මෙම බොහෝ ලිපි ඊජිප්තුවේ යටත් රාජ්‍යවල රජවරුන් සහ ආණ්ඩුකාරවරුන් විසින් පාරාවෝවරයාගෙන් රන් ඉල්ලා ආයාචනයන් වශයෙන් ලියූ ඒවායි. එසේම ඇතැම් ලිපි ඔහු විසින් තමන්ව මුලා කළ බව හෝ ඇනුම් පද පැවසූ බව දන්වමින් පැමිණිලි කළ ලිපි වේ.

සිය රාජ්‍ය සමයේ මුල්කාලයේ, අක්නාටන් සහ හිටයිට්වරුන්ට එරෙහිව සිය පියාගේ ප්‍රසාදය දිනා තිබූ මිටානියෙහි රජු වූ ටුෂ්රටා අතර ආරවුල් ඇති විය. සිය ලිපි ගණනාවකම, ටුෂ්රටා චෝදනා කර ඇත්තේ අක්නාටන් තමන්ට දඹ රන් ප්‍රතිමා වෙනුවට රන් ආලේපිත ප්‍රතිමා එවා ඇති බව පවසමිනි. මෙම ප්‍රතිමා ටුෂ්රටා විසින් සිය දියණිය වූ ටඩුක්හෙපා IIIවන අමෙන්හොටෙප් රජුහටත්, පසුව අක්නාටන්හටත් විවාහ කරදීම වෙනුවෙන් වූ මනාලියගේ ගාස්තුවේ කොටසකි. අමර්ණ ලිපියක් වන EA 27හි මෙම සිදුවීම පිළිබඳ ටුෂ්රටා විසින් අක්නාටන්ට සිදුකරන චෝදනාව මෙසේ දැක් වේ:

"මා...ඔබගේ පියා වන මිමුරෙයාගෙන් දඹ රන් ප්‍රතිමා පිළිබඳ විමසීමි. ඉන් එකක් මාගේත්, දෙවන ප්‍රතිමාව මගේ දියණිය වන ටඩු-හෙබා [ටඩුක්හෙපා] ගේත් ප්‍රතිමාවකි. එවිට ඔබගේ පියා පැවසූයේ 'දඹ රන් ප්‍රතිමා දීම ගැන පමණක් කථා කරන්නට එපා. මා ඔබට ලැපිස් ලැසූලි මාණික්‍යයෙන් තැනූ ප්‍රතිමාත් ලබා දෙන්නම්. මේ ප්‍රතිමා මෙන්ම, අමතර රන් විශාල ප්‍රමාණයකුත් සහ [වෙනත්] භාණ්ඩ ප්‍රමාණයටත් වඩා ලබා දෙන්නම්' යනුවෙනි. ඊජිප්තුවේ නවාතැන් ගත් මාගේ පණිවිඩකරුවන් සෑමදෙනාම ප්‍රතිමා වෙනුවෙන් වෙන්කළ රන් සිය දෑසින්ම සැක තිබේ. ඔබගේ පියා විසින්ම ප්‍රතිමා පිළිවාත්තු කොට ඇත්තේ මාගේ පණිවිඩකරුවන් සිටින විට [දී] මයි. ඔහු එය පිරිසිදු රන් බවට පත්කළේ ය...ඔහු අමතර රත්රන් ද සෑහෙන ප්‍රමාණයක් පෙන් වූ අතර, ඒවා ඔහු මාවෙත එවිය යුතු ප්‍රමාණයටත් වඩා වැඩි විය. ඔහු මාගේ පණිවිඩකරුවන්ට පැවසූයේ, 'මා විසින් මාගේ සොයුරාට යවන මේ ප්‍රතිමා, මනින ලද ප්‍රමාණයටත් වඩා වැඩියෙන් රත්රන් සහ භාණ්ඩ, නුඹලාගේ දෑස්වලින්ම බලාගනිල්ලා' යනුවෙනි. ඉතින් මාගේ පණිවිඩකරුවෝ එය ඔවුන්ගේ දෑස්වලින්ම දුටුවෝ ය! නමුත් මාගේ සොයුරා [අක්නාටන්] නුඹ නම් නුඹගේ පියා විසින් එවීමට තැත්කළ ඝන [රන්] ප්‍රතිමා ලබා දී නැහැ. නුඹ මා වෙත එවා ඇත්තේ රන් ආලේපිත දැව ප්‍රතිමායි. ඔබේ පියා විසින් මට එවන්නට යෙදුණු තරම්වත් භාණ්ඩ නුඹ මා වෙත එවා නැහැ. නුඹ විසින් [ඒවා] විශාල පරිමාණයෙන් අඩුකොට තිබේ. මේ දක්වා මා දන්නා තරමින් කිසිදු අයුරකින්, මා මගේ සොයුරාට පාඩු සිදු කොට නැත. මාගේ සොයුරාගේ ආචාරය මට ඇසෙන්නේ යම් දිනයක ද, මා එම දිනය ප්‍රීතිමත් අවස්ථාවක් බවට පත් කරන්නෙමි... මාගේ සොයුරා තවත් රන් එවනු මැනවි. කිම්[රු මංග]ල්‍යයේ [දී]...බොහෝ භාණ්ඩ [...සමගින්] කරනු [මැන මාගේ] සොයුර මට බුහුමන්. මාගේ සොයුරාගේ රටේ දූවිලි මෙන් රන් සුලබ ය. මගේ සොයුරා මට දොම්නසක් ඇති නොකරනු මැනවි. මට ගෞරවයක් වශයෙන් [රත්රන් සහ බොහෝ] [භාණ්ඩ] හිමි මාගේ සොයුරා මට රන් එවනු මැනවි." (EA 27)[32]

Thumb
පාරාවෝවරයකුගේ උඩුකයක බදාම අධ්‍යයනයක්, අක්නාටන් හෝ සහ-පාලකයකු හෝ අනුප්‍රාප්තිකයකුගේ විය හැක. අමර්ණහි රාජකීය ප්‍රතිමා ශිල්පී තුත්මෝස්ගේ වැඩපලෙන් හමු වූ මෙය දැන් බර්ලින්හි ඒජිප්ටිස්කස් මියුසියම් එකතුවෙහි කොටසකි.

අක්නාටන් ටුෂ්රටාහට සමීප මිතුරකු නොවූ නමුත්, ඔහු පැහැදිළිවම Iවන සුපිලුලියුමා නම් බලවත් රජු යටතේ ව්‍යාප්ත වෙමින් පැවති හිටයිට් අධිරාජ්‍යය පිළිබඳ අවධානයෙන් පසු වූ බව පෙනේ. ඊජිප්තුව මිටානිය කෙරෙහි සාමකාමී ප්‍රතිපත්තියක් අනුගමනය කළ මේ යුගයේ මිටානිය සහ එහි පාලක ටුෂ්රටා වෙත එල්ල වූ ප්‍රබල හිටයිට් ආක්‍රමණය, පුරාතන මැද පෙරදිග කලාපයේ වූ අන්තර්ජාතික බල තුලනය බිඳලීමට හේතු විය. මේ ‍හේතුවෙන් ඊජිප්තුවේ සමහර යටත් රාජ්‍ය හිටයිට්වරුනට පක්ෂපාතී විය. ඊජිප්තු හිතවාදීන් පිරිසක්, හිටයිට්වරුනට එරෙහිව කැරැලි ගැසූ නමුත් ඔවුනව හසු විය. ඔවුහු හමුදා සහාය ඉල්ලමින් අක්නාටන් වෙත ලිපි යැවූ මුත්, අක්නාටන් මින් බොහෝ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වූයේ නැත. ෂෙචෙම්හි ලැබායා සහ ජෙරුසලමේ අබ්ඩි-හෙබා අතර පැවති බල අගරලය හේතුවෙන් කනාන් ප්‍රදේශයේ දී උතුරු සීමාවේ ගැටලු ඇති වූ බවට සාක්ෂි ඇත. මේ හේතුවෙන් පාරාවෝවරයා මැදිහත් වී මෙඩ්ජේ ගෝත්‍රිකයන් උතුරට පලවා හැරියේ ය. නොයෙකුත් ආයාචනා කළ ද, අක්නාටන් සිය යටත් රාජ්‍යයක් වූ බිබ්ලොස්හි රිබ්-හඩ්ඩාව රැකගැනීම ප්‍රතික්ෂේප කළේ ය. එයට හේතුව එම රාජධානිය අබ්ඩි-අෂිර්ටා සහ පසුව අබ්ඩි-අෂිර්ටාගේ පුත් අසිරු යටතේ ව්‍යාප්ත වෙමින් පැවති අමුරු රාජ්‍යය විසින් වටලා තිබීමයි. පාරාවෝවරයාගෙන් ආධාර ඉල්ලා රිබ්-හඩ්ඩා විසින් ලිපි 60ක් ලියා ඇත. රිබ්-හඩ්ඩා වෙතින් නිරතුරුව ලැබුණු ලිපි හේතුවෙන් විඩාපත්ව සිටි අක්නාටන් වරක් රිබ්-හඩ්ඩාට මෙසේ පවසා ඇත: "(සෙසු) සියලු පුරපතීන්ට වඩා වැඩියෙන් මට ලියන තැනැත්තා නුඹයි" ලිපිය EA 124.[33] ඊජිප්තුවේ ආසියාතික අධිරාජ්‍යයේ මායිමේ වූ කුඩා පුර රාජ්‍ය කිහිපයක දේශපාලන තත්ත්වය රැකගැනීමට ඊජිප්තු රජුට මුළු හමුදාවක්ම උතුර වෙත යැවිය නොහැකි බව රිබ්-හඩ්ඩා වටහාගත්තේ නැත.[34] අවසානයේ ඔහුගේ සොයුරා වූ ඉලිරාබිහ් විසින් සිදුකළ කුමන්ත්‍රණයක් හේතුවෙන් ඔහුව බිබ්ලොස්වලින් පිටුවහල් කළ බව එක් ලිපියක සඳහන් ය. රිබ්-හඩ්ඩා නිශ්ඵල අයුරින් අක්නාටන්ගේ සහාය පැතූ අතර, අනතුරුව සිය නගරය නැවත ලබාගැනීමේ අරමුණින් ඔහු ඔහුගේ සතුරා වූ අසිරු වෙත ‍හැරුණේ ය. නමුත් අසිරු ක්ෂණිකව ඔහුව සයිඩන්හි රජු වෙත පිටත් කරහැරියේ ය.[35]

විලියම් එල්. මොරාන්[36] සඳහන් කරන්නේ 380ට වැඩි අමර්ණ ලිපි අනුව, අක්නාටන් සිය අභ්‍යන්තර ප්‍රතිසංස්කරණ පිළිබඳ අවධානය යොමු කරමින් ඊජිප්තුවේ විදේශ යටත් රාජ්‍ය නොසලකා හැරි බවට වන මතය සත්‍ය නොවන බව පෙනී යන බවයි. සමහර ඊජිප්තු යටත් රාජ්‍යවලින් ලැබුණු ලිපිවල, ඔවුන් පාරාවෝගේ උපදෙස් පිළිපැදි බව සඳහන් කොට ඇති අවස්ථා ද ඇත:

රජුට, මාගේ අධිපතියාණන්ට, මාගේ දෙවියාට, මාගේ හිරුට, අහසේ හිරුට: ගස්රුහි පාලක, ඔබේ සේවක, ඔබේ පය රැඳි දුහුවිල්ල වන යපාහුගෙන් ලැබෙන පණිවිඩයකි. මා සැබවින්ම මාගේ රජුගේ, මාගේ අධිපතියාණන්ගේ, මාගේ දෙවියන්ගේ, මගේ සූර්යයාගේ දෙපා මුල වැතිරෙන්නම්...7වරක් උඩුබැලි අතටත්, 7වරක් මුණින් අතරටත්. මා නිසැකවම රජුගේ, මාගේ අධිපතියාගේ, අහසේ හිරුගේ, ස්ථානය ආරක්ෂා කරන්නම්. මා එහි සිට රජතුමන්, මාගේ අධිපතියාණන්, විසින් ලියා එවන ලද— සියලු දෑ ඉටුකරන්නම්! මා කවුරුන් ද, සුනඛයෙකි, මාගේ නිවස... සහ මා සතු එකම දෙය නම් රජුගේ, මාගේ අධිපතියාණන්ගේ, අහසේ හිරුගේ නියෝගවලට නිරතුරු කීකරු වීම නොවේ ද? (EA 378)[37]

රාජපාක්ෂික නමුත් අවාසනාවන්ත රිබ්-හඩ්ඩා, අසිරුගේ මෙහෙයවීම මත මරාදැමීමත් සමග,[35] අසිරු වෙත කෝපාවිෂ්ට ලිපියක් යවමින් අක්නාටන් ඔහුට ව්‍යංගයෙන් රාජද්‍රෝහී චෝදනා එල්ල කොට ඇත.[38] අක්නාටන් මෙසේ ලියයි:

අමුරුහි පාලක අසිරුට පවසන්න: රජ, නුඹේ අධිපති [අක්නාටන්] මෙසේ පවසන බව: සොයුරා විසින් දොරටුවෙන් පිටතට පන්නා දැමූ ගුබ්ලාහි [බිබ්ලොස්] පාලකයා නුඹට, "මාව නගරය තුළට රැගෙන යන්න. එහි සෑහෙන රිදී ඇති අතර, මා ඒවා ඔබට ලබා දෙන්නම්. සැබවින්ම මාගේ [මෙහි] තරම් නොවූවත්, එය සෑමදෙයකින්ම සමෘද්ධිමත් ය." යනුවෙන් පවසා ඇත. පාලකයා [රිබ්-හඩ්ඩා] නුඹට පැවසූයේ එලෙසයි. නුඹ නුඹගේ රජුට, ස්වාමියාට, "මා පෙර සිටි සියලු පුරපතීන් මෙන් [යටත් රාජ්‍යවල] ඔහුගේ නගරයක සේවකයෙක්මි" යැයි පවසා එවූයේ නැති ද? ඔහුගේ සොයුරා විසින් නගරයෙන් පිටතට නෙරපූ පුරපතිව අල්ලා ගැනීමෙන් පසු නුඹ කටයුතු කර ඇත්තේ සාපරාධී ආකාරයෙනුයි.

Thumb
අක්නාටන්ගේ හිස

ඔහු [රිබ්-හඩ්ඩා] නවාතැන් ගෙන සිටියේ සයිඩන්හි ය. නුඹගේ අත්තනෝමතික තීරණය අනුව නුඹ ඔහුව [ඇතැම්] පුරපතිවරුනට භාර දී තිබේ. නුඹ ඒ කුමන්ත්‍රණකාරීන් පිළිබඳ දැනසිටියේ නැති ද? නුඹ සැබැවින්ම රජුගේ සේවකයකු නම්, ඇයි නුඹ රජු, ඔබේ ස්වාමියා ඉදිරියේ ඔහුට මෙලෙසින් චෝදනා නොකළේ? "මේ පුරපතියා මට, 'මාව ඔබේ අයකු කොටගෙන නගරය තුළට ඇතුළු කරගන්න' යනුවෙන් ලියා තිබුණා" යැයි නුඹට දැන්වීමට යුතුකමක් තිබිණි. නුඹ අවංකව කටයුතු කළා වුවත්, නුඹ ලියා ඇති සියලු දෙය සත්‍ය නොවෙයි. ඇත්ත වශයෙන්ම, රජු ඒ පිළිබඳ මෙසේ ආවර්ජනා කරයි, "නුඹ පැවසූ සියල්ල මිත්‍රශීලී නැහැ."

දැන් රජුට මෙසේ අසන්නට ලැබී ඇත, "නුඹ කිඩ්සා (කාඩේෂ්) දේශයේ පාලකයාත් සමග දැන් සමාදාන වී ලු. නුඹලා දෙදෙනා ආහාර සහ සැර පානවර්ග ලබාගන්නේ එකට ය." මෙය සත්‍යයකි. ඇයි නුඹ එසේ කටයුතු කරන්නේ? රජු සමග සටනේ නිරත එවැනි පාලකයකු සමග නුඹ සමාදාන වූයේ ඇයි? නුඹ රාජපාක්ෂිකව කටයුතු කළා වුවත්, නුඹ නුඹේම තීරණ මතයි කටයුතු කොට ඇත්තේ. ඔහුගේ තීරණ ගණනකට ගෙන නැත. එසේම නුඹ විසින් නුඹගේ පෙර ක්‍රියා පිළිබඳ කිසිදු අවධානයක් යොමු කොට නැති බව පෙනේ. ඔවුන් අතරින් නුඹට සිදු වූයේ කුමක් ද? නුඹ නුඹගේ රජුගේ, අධිපතියාණන්ගේ පාර්ශ්වයෙහි අයකු නොවේ. නුඹව තමන්ගේ වාසියට කටයුතු කරවීමට සලස්වන පුද්ගලයන් පිළිබඳ සැලකිලිමත් වන්න. ඔවුනට අවශ්‍ය නුඹව ඉවත් කරවීමටයි...එය එසේ නොවේ නම් නුඹ මේ අපරාධය සිදු කළේ කුමන හේතුවක් නිසා ද? නුඹ මෙසේ දුෂ්ට, රාජද්‍රෝහී ක්‍රියාවන් සිදුකළහොත්, නුඹටත්, නුඹගේ පවුලේ සෑම දෙනාටත් රජුගේ පොරෝ පහරින් මියයන්නට සිදු වේවි. එම නිසා නුඹගේ රජුට, ස්වාමියාණන්ට සේවය කළහොත් නුඹට ජීවත් විය හැකි වේවි. කනාන්හි සියලු වැසියන් කෙරෙහි රජු උදහස් වුවහොත් සිදුවන දෙය පිළිබඳ නුඹ හොඳින්ම දනී. එසේම නුඹ මෙලෙස පවසා ලියූ විට, 'රජතුමණි, මාගේ උතුමාණෙනි, මේ වසරට මාව අත්හරින්න. මා ඊළඟ වර්ෂයේ රජු, මාගේ අධිපතියාණන් මුණගැසීමට [ඊජිප්තුවට] පැමිණෙන්නම්. එසේ සිදුකළ නොහැකි වුවහොත් මා මාගේ පුතුව මා වෙනුවට එවන්නම්' — රජතුමන්, නුඹේ උතුමාණන් නුඹගේ ප්‍රකාශය සලකා බලා මේ වසරේ නුඹව නිදහස් කරාවි. නුඹම පැමිණෙන්න, නැතහොත් නු‍ඹගේ පුත්‍රයාව [දැන්ම] එවන්න. එවිට නුඹට, සිය බැල්මෙන්ම සියලු රාජ්‍ය ජීවත් කරවන රජුව දැකගත හැකි වේවි. (EA 162)[39]

මේ ලිපිය අනුව පෙනෙන්නේ අක්නාටන් විසින් කනාන් සහ සිරියාවේ වූ සිය යටත් රාජ්‍ය පිළිබඳ දැඩි අවධානයකින් පසු වූ බවයි. අක්නාටන් අසිරුහට ඊජිප්තුවට පැමිණ එහි වර්ෂයක්වත් රැඳී සිටින ලෙසට නියෝගකළේ ය. නමුත් අවසානයේ හිටයිට්වරුන් අම්කිහි දකුණුදිග පෙදෙසට ළඟාවීමත් සමග, අක්නාටන් අසිරු නිදහස් කළේ ය. ඉන් අනතුරුව අමුරු රාජ්‍යය ඇතුළු ඊජිප්තුවේ ආසියානු යටත් රාජ්‍ය වෙත හිටයිට් ආක්‍රමණ මාලාවක් ඇති විය.[40] අමුරු වෙත නැවත පැමිණීමෙන් පසු අසිරු සිය රාජධානිය සමග හිටයිට් පාර්ශ්වය වෙනුවෙන් කැරැලි ගැසී ය.[41] රිබ්-හඩ්ඩා විසින් එවූ අමර්ණ ලිපියක හිටයිට්වරුන් විසින් "මිටානියේ රජුගේ සියලු යටත් රාජ්‍ය අල්ලා ගත් බව" (EA 75) සඳහන් වන අතර,[42] Iවන සුපිලුලියුමා රජු යටතේ වැඩෙමින් පැවති බලවත් හිටයිට් අධිරාජ්‍යයේ තර්ජන මර්දනය කරගනිමින් අක්නාටන් ඊජිප්තුවේ මෑත පෙරදිග අධිරාජ්‍යයේ මධ්‍යයේ පාලනය රඳවා ගැනීමට සමත් විය. (මෙයට වර්තමාන ඊශ්‍රායලය, මෙන්ම ෆීනිෂියානු වෙරළ තීරය ද අයත් ය) සිරියාවේ ඊජිප්තු දේශසීමා පළාතක් වූ අමුරු පමණක් හිටයිට්වරුනට හිමි විය. එය ද සිදු වූයේ එහි පාලක අසුරුගේ ක්‍රියාකලාපය නිසා ය. අවසානයේ, අක්නාටන් යනු ඊජිප්තුවේ ජාත්‍යන්තර සබඳතා නොසලකා හැරි පාලකයකු බවට වූ මතය බිඳ හෙලිණි. අක්නාටන් සිය 12වන රාජ්‍ය වර්ෂයේ අඩුම තරමින් නුබියාව තුළ එක් යුධ ව්‍යාපාරයක්වත් මෙහෙයවන්නට ඇති බවට සාධක හමු වී ඇත. මෙය අමාඩා ශිලාව CG 41806 මගින් මෙන්ම ‍බුහෙන් ප්‍රදේශයෙන් හමු වූ ශිලා ස්තම්භයක ද දැක් වේ.[43]

මරණය, භූමදානය සහ අනුප්‍රාප්තිය

Thumb
අමර්ණහි මුල් සොහොන්ගැබෙන් හමු වූ කැබලිවලට කැඩී තිබූ අක්නාටන්ගේ ශෛලමය මිනීපෙට්ටියේ ප්‍රතිසංස්කරණයක්, දැන් කයිරෝවේ ඊජිප්තු කෞතුකාගාරයේ තබා ඇත.

අක්නාටන් සහ අමර්ණ පවුලේ සාමාජිකයන්ගේ රූ දක්නට ලැබෙන අවසන් අවස්ථාව IIවන මෙ‍රිරාගේ සොහොන්ගැබ තුළින් ලැබේ. මෙය අක්නාටන්ගේ රාජ්‍ය සමයේ 12වන වර්ෂයේ දෙවන මාසයට කාලනිර්ණය කොට ඇත.[44] මෙම ඓතිහාසික වාර්තාවෙන් පසු සිදුවීම් පිළිබඳ තොරතුරු අපැහැදිළි අතර, යම් තරමකට හෝ පැහැදිළි වන්නේ ටුටන්ඛාමුන්ගේ සිංහාසනාරූඪය ආසන්න සිදුවීම් පමණි.

Thumb
KV55 සොහොන්ගැබෙන් හමු වූ වනසන ලද අක්නාටන්ගේ රාජකීය මිනී පෙට්ටිය

2012 දෙසැම්බර් මස දී, වර්ෂය 16 III අඛෙට් දිනය 15 ලෙස දින නිර්ණිත නැමැති අක්නාටන්ගේ ශිලාලේඛනයක් හමු වූ බව නිවේදනය කෙරිණි. එහිම නෙෆර්ටිටි රැජින ද ඒ වන විට ජීවත්ව සිටි බවට තොරතුරු ඇත. මෙය අමර්ණවලට මඳක් උතුරින් වූ ඩේර් එල්-බර්ෂාහි හුනුගල් වැඩපලකින් හමු විය.[45][46][47] මෙම ලේඛනයේ සඳහන් වන්නේ අක්නාටන්ගේ මරණයට පෙර අක්නාටන් සහ නෙෆර්ටිටි රාජකීය පවුල ලෙස සිටි සමයේ අමර්ණහි සිදුකළ ඉදිකිරීම් ව්‍යාපෘතියක් පිළිබඳව ය.

Thumb
KV55 සොහොන්ගැබෙන් හමු වූ අක්නාටන්ගේ හිස්කබලේ පැති පෙනුමක්

නයිල් ග‍ඟෙ‍් බටහිර (හිරු බසින) පැත්තේ අක්ටාටන්හි රාජකීය වැඩි ප්‍රදේශයට වඩා ඊජිප්තු භුමදාන නයිල්හි නැගෙනහිර (හිරු උදාවන) පැත්තේ සිදුකිරීමට අක්නාටන් තීරණය කළේ ය. රාජ මාලිගය නැවත තීබ්ස් වෙත ගෙනයාමෙන් පසු ඔහුගේ සිරුර ඉවත් කෙරිණි. නූතන ජාන පරීක්ෂාවලින් පෙනී ගොස් ඇත්තේ KV55 සොහොන්ගැබෙන් හමු වූ දේහය ටුටන්ඛාමුන්ගේ පියාගේ බවයි; එනම් "බොහෝ විට" අක්නාටන්ගේ විය හැකි බවයි.[48] මෙම සොහොන්ගැබ නොයෙකුත් අමර්ණ යුගයට අයත් භාණ්ඩවලින් සමන්විත විය. ඒ අතර හිතාමතා විනාශ කරන ලද රාජකීය අවමංගල වෙස්මුහුණක් ද වේ. ඔහුගේ ශෛලමය මිනීපෙට්ටිය විනාශ කොට තිබිණි. නමුත් පසුව එය ප්‍රතිනිර්මාණය කොට කයිරෝ කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.

Thumb
අමර්ණහි මුල් සොහොන්ගැබෙන් හමු වූ අක්නාටන්ගේ බිඳුණු උෂැබ්ටි බඳුන්, බෲක්ලයින් කෞතුකාගාරයේ තබා ඇත.

අක්නාටන් ඔහුගේ 17වන රාජ්‍ය වර්ෂයේ මිය යන්නට ඇතැයි විශ්වාස කෙරේ. නමුත් ස්මෙන්ඛ්කරේ වසර දෙකකට හෝ තුනකට කලින් සහ-පාලක තනතුරට පත්වූයේ ද, නැතහොත් ඔහු කෙටි කාලයක් තනිව රාජ්‍ය පාලනය කළේ ද යන්න පැහැදිළි නැත.[49] ස්මෙන්ඛ්කරේ අක්නාටන්ට වඩා වැඩි කාලයක් ජීවත් වී පාරාවෝ බවට පත්වූයේ නම් ඔහු ඊජිප්තුව පාලනය කරන්නට ඇත්තේ වර්ෂයකට වඩා අඩු කාලයක් විය යුතු ය. ඊළඟ අනුප්‍රාප්තිකයා වූ නෙෆර්නෙෆරුආටන් පාරාවෝවරිය ඊජිප්තුව වර්ෂ දෙකක් සහ එක් මාසයක් රාජ්‍ය පාලනය සිදුකොට ඇත.[50] ඇයගෙන් පසු ටුටන්ඛාටන් (පසුව, ටුටන්ඛාමුන්) සිහසුනට පත් වූ නමුත්, ඔහු වෙනුවෙන් රාජ්‍යය මෙහෙයවූයේ අමාත්‍යවරයකු වූ ආයි විසිනි. ටුටන්ඛාමුන් යනු ස්මෙන්ඛ්කරේගේ බාල සොහොයුරා ලෙස විශ්වාස කෙරෙන අතර, ඔහු බොහෝ විට අක්නාටන්ට දාව කියාට උපන් දරුවකු විය හැක. එක්තරා විද්වතකු පවසා ඇත්තේ ටුටන්ඛාමුන් යනු ස්මෙන්ඛ්කරේගේ පුත්‍රයකු විය හැකි බවයි. නමුත් 2010දී සිදු කළ DNA පරීක්ෂා මගින් ටුටන්ඛාමුන් යනු සැබැවින්ම අක්නාටන්ගේ පුතකු බව හෙළි විය.[51] අක්නාටන්ගේ මරණින් පසු නෙෆර්ටිටි රැජින විසින් නෙෆර්නෙෆරුආටන් යන නාමයෙන් රාජ්‍ය පාලනය සිදුකරන්නට ඇති බවට මතයක් ඇත.[52] නමුත් සෙසු විද්වතුන් විශ්වාස කරන්නේ මෙම පාලිකාව මෙරිටාටෙන් බවයි. අමර්ණ සොහොන්ගැබකින් හමු වූ සමරාජ්‍යාධිකාරී ශිලා ස්තම්භය නැමැති ශිලාවෙහි නෙෆර්ටිටි රැජින අක්නාටන්ට පසෙකින් හිඳ සහ-පාලකයකු ලෙස ක්‍රියාකරන අයුරින් කැටයම් කොට ඇත. නමුත් අන්ඛෙසෙන්පාටන් සහ නෙෆර්නෙෆරුආටන්ගේ රූ පෙන්වීම සඳහා මෙහි නම් ඉවත් කොට යළි කැටයම් කොට ඇති බැවින් මෙය නිශ්චිත නැත[53]

අක්නාටන්ගේ මරණයත් සමග, ආටන් වන්දනාවේ ජනප්‍රියතාව ක්‍රමයෙන් හීන විය. ටුටන්ඛාටන් සිය ‍2වන රාජ්‍ය වර්ෂයේ දී (ක්‍රි.පූ. 1332) සිය නාමය ටුටන්ඛාමුන් ලෙස වෙනස් කරගත් අතර, අක්ටාටන් නගරය අත්හැර දැමී ය. එය ක්‍රමයෙන් නටබුන් බවට පත් විය. ඔහුගේ අනුප්‍රාප්තිකයන් වූ ආයි සහ හොරෙම්හෙබ් විසින් තීබ්ස්හි දෙවොල ඇතුළු අක්නාටන් විසින් ඉදිකළ දේවස්ථාන බොහෝමයක් විනාශ කොට ඒවායේ කොටස් සිය දේවස්ථාන අලංකරණයට ගෙන ගියහ.

අවසානයේ, අක්නාටන්, නෙෆර්නෙෆරුආටන්, ස්මෙන්ඛ්කරේ, ටුටන්ඛාමුන්, සහ ආයි පිළිබඳ සටහන් පාරාවෝ ලැයිස්තුවලින් මකාදමන ලදී. ඒ අනුව IIIවන අමෙන්හොටෙප්ගෙන් පසු හොරෙම්හෙබ් කෙලින්ම බලයට පත් වූ බව නිරූපණය විය. මෙය ආටන්වාදය සහ ඒ හා සම්බන්ධ සියලු පාරාවෝවරුන් ඓතිහාසික වාර්තාවලින් අතුගා දැමීමට හොරෙම්හෙබ් විසින් ගත් උත්සාහයක් ලෙස සැලකෙයි.[54] පසුකාලීනව සම්පාදනය කළ කිසිදු පාරාවෝ ලැයිස්තුවක අක්නාටන්ගේ නාමය දක්නට නොලැබිණි. නමුත් 19වන සියවසේ පුරාවිද්‍යාඥයින් විසින් සොයාගනු ලැබූ ඔහුගේ සමයට අයත් නිර්මාණ මගින් ඔහු පිළිබඳ බොහෝ තොරතුරු හෙළි විය.

රැම්සෙස් රජසමයට අයත් මෙස් ශිලාලේඛනයක අක්නාටන්ව "අක්ටාටන්හි සතුරා" ලෙස හඳුන්වා තිබීමෙන්, පසුකාලීන ඊජිප්තුවරුන් ඔහුගේ විප්ලවය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ බව පැහැදිළි වේ.[55]

ආටන්වාදය ක්‍රියාත්මක කිරීම සහ එහි පරිහානිය

සිය රාජ්‍ය සමයේ මුල් කාලයේ IVවන අමෙන්හොටෙප්, නෙෆර්ටිටි සහ දියණියන් සය දෙනා ජීවත් වූයේ තීබ්ස්හි ය. මූලිකව ඔහු ඊජිප්තුවේ සම්ප්‍රදායික දෙවිවරුන් ඇදහීමට අවසර ලබා දුන් නමුත්, කාර්නැක් දෙවොල (අමුන්-රාගේ පිදීමේ මහා මධ්‍යස්ථානය) අසල ඔහු ආටන් වෙනුවෙන් සුවිසල් ගොඩනැගිලි ඉදිකරවී ය. ආටන් සාමාන්‍යයෙන් නිරූපණය කෙරුණේ හිරු මඬල ලෙස ය. මෙම තීබ්ස්හි ගොඩනැගිලි ඔහුගෙන් පසු රජවරුන් විසින් කොටස් ගලවා කාර්නැක් දෙවොලේ නව ගොඩනැගිලි ඉදිකිරීමට යොදා ගෙන ඇත. පසුව පුරාවිද්‍යාඥයින් විසින් මෙම ඉදිකිරීම් කොටස් ගලවා බැලීමේ දී 36,000ක් පමණ වූ අලංකෘත ගල් කුට්ටි මුල් ආටන් ගොඩනැගිල්ලෙන් රැගෙන ආ ඒවා බව පැහැදිළි විය. ඒවායේ මුල් කැටයම් සහ ශිලා ලේඛන ද දැකගත හැකි විය.[56]

Thumb
අමර්ණහි ස්ෆින්ක්ස් කෙනකු ලෙස නිරූපිත අක්නාටන්ගේ රුවක්.

ඔහුගේ 5වන රාජ්‍ය වර්ෂයේ දී, IVවන අමෙන්හොටෙප්, ආටන් දෙවියන් ඊජිප්තුවේ තනි දෙවියා බවට පත් කිරීමට තීරණාත්මක පියවර ගත්තේ ය. පාරාවෝවරයා "සෙසු සියලු දෙවිවරුන්ගේ පූජකවරුන් විසුරුවා හැරියේ ය...එසේම ආටන් ඇදහීමට දිරිමත් කරනු සඳහා [වෙනත්] ඇදහීම්වලින් ලැබුණු ලාභය කපා හැරියේ ය". ආටන් දෙවිඳුන් කෙරෙහි සිය භක්තිය ප්‍රකාශ කිරීම සඳහා, රජු සිය නාමය IVවන අමෙන්හොටෙප් වෙනුවට 'ආටන්ගේ සජීවී ආත්මය' යන අරුතැති අක්නාටන් ලෙස වෙනස් කරගත්තේ ය.[56] අක්නාටන්ගේ පස්වන වර්ෂයේ සිදු වූ වැදගත් සිදුවීමක් ලෙස ඔහුගේ නව අගනුවර වූ 'ආටන්ගේ ක්ෂිතිජය' අරුතැති අක්ටාටන් නගරය ඉදිකිරීම දැක්විය හැක. මෙම ස්ථානය අදවන විට අමර්ණ ලෙස හඳුන්වයි. ඉන් මඳ කලකට පසු, ඔහු ඊජිප්තු ආගමික කටයුතු අක්ටාටන් වටා කේන්ද්‍රගත කළේ ය. නමුත් නව නගරයේ ඉදිකිරීම් තවත් අවුරුදු ගණනාවක් පැවතිණි. ආටන්ට ගෞරවයක් ලෙස අක්නාටන් විසින් පුරාතන ඊජිප්තුවේ වඩා දැවැන්ත දේවස්ථාන සංකීර්ණ කිහිපයක්ම ඉදිකරන ලදී. මෙම නව දේවස්ථාන තුළ, ආටන් ඇදහීම සිදු වූයේ පෙර සම්ප්‍රදාය පරිදි අඳුරු දේවස්ථාන කුටි තුළ නොව බොහෝ විට විවෘත හිරුඑළියේ වීම විශේෂත්වයකි. මීට අමතරව අක්නාටන් විසින් ආටන්ගේ මහා ගීතාව ද සම්පාදනය කරන්නට ඇතැයි සැලකේ.

මූලිකව අක්නාටන් විසින්, ආටන් යනු මහා බලවත් අමුන්-රේ දෙවියන්ගේම (මෙම අමුන්-රේ දෙවියන් ද ප්‍රමුඛ අමුන් වන්දනාවේ ප්‍රතිඵලයකි. එහි දී අමුන් දෙවියන් සහ හිරු දෙවි රා ඒකාබද්ධ කෙරිණි) ස්වරූපයක් ලෙස හුවා දැක් වී ය. එවිට ඔහුගේ අදහස් ඊජිප්තු ආගමික අදහස් සමග ගැළපිය හැකි විය. කෙසේනමුත්, සිය 9වන වර්ෂයේ දී, අක්නාටන් විසින් ආටන් යනු ප්‍රධාන දෙවියා පමණක් නොව එකම දෙවියන් ලෙස ප්‍රකාශ කරන ලදී. එසේම අක්නාටන් යනු ආටන් දෙවිඳුන් සහ ජනතාව අතර අතරමැදියා ලෙස දක්වා ඇත. ඔහු ඊජිප්තුව පුරා වූ අමුන් දේවස්ථාන විකෘති කළ අතර, බහු 'දේවතාවුන්' පිළිබඳ ලේඛන ඉවත් කොට ඇත.

9වන වර්ෂයෙන් පසු ආටන්ගේ නාමය වෙනස් අයුරකින් ලියැවෙන්නට වූයේ, රජු විසින් හිරු මඬල නිරූපිත රූ හැර ආටන්ගේ සෙසු ප්‍රතිමා වන්දනය අන්තගාමී ලෙස තහනම් කළ නිසායි. මෙම හිරුමඬල නිරූපිත රූපවල කිරණ (අත්වලින් කෙළවර වන ලෙස නිරූපිත) මගින් ආටන්ගේ අදෘශ්‍යමාන ආත්මය නිරූපණය කෙරිණි. මේ අනුව ආටන් හිරු දෙවියන් පමණක් නොව, සර්වත්‍ර දෙවියා ලෙස හඳුන්වා ඇති බව පැහැදිළි වේ. මෙම ආටෙන් දෙවිඳුන් නිරූපිත බොහෝ අවස්ථා රූපාක්ෂර අධෝලිපිවලින් සමන්විත ය. මෙම අධෝලිපිවල සූර්යයා නිරූපණය කොට ඇත්තේ සියල්ලන්ම වට කරගත් නිර්මාපකයා ලෙස බව සටහන් කොට ඇත.

අක්ටාටන්හි සිදු කළ පුරාවිද්‍යාත්මක අනාවරණ අනුව, මේ නගරයේ සාමාන්‍ය වැසියන් ඔවුන් සතුව පැවති අනුස්මරණ ස්කැරබ් රූ, අලංකාර මැටි බඳුන් වැනි කුඩා භාණ්ඩවලින් පවා අමුන් දෙවිඳුන්ගේ නාමය සූරා ඉවත් කොට ඇති බව පෙනී යයි. ඇතැම්විට අමුන්වාදීන් වීමේ වරදට හසු වීමෙන් වැළකීම ඔවුන් එසේ සිදු කරන්නට ඇත. අක්නාටන්ගේ පියා වූ IIIවන අ‍මෙන්හොටෙප්ට සම්බන්ධ ඇතැම් ලේඛන පවා අර්ධ වශයෙන් මකා ඇත්තේ, ඔහුගේ නාමයක් වූ “නෙබමාට්‍රේ අමුන්හොටෙප්” යන්න අමුන් දෙවිඳුන්ගේ නාමය සමග සම්බන්ධයක් දැක් වූ නිසායි.[57]

ඊජිප්තුවේදියකු වන නිකොලස් රීවස් ලියන්නේ:

"එවන් බියජනක ස්වයං-වාරණය සහ නිවට පක්ෂපාතීත්වය මගින් රාජ්‍යය වෙළාගත් වික්ෂේපයක අසුබ පෙරනිමිති පෙන්වයි. [අක්ටාටන්හි] වීදි පාරාවෝවරයාගේ සෙබලුන්ගෙන් පිරී ගියා පමණක් නොව, ජනතාවට ද්වේෂ සහගත ඔත්තුකරුවන්ගේ තර්ජනයෙන් මිදීමට අරගලයක නිරත වන්නට ද සිදු විය."[57]

අවසානයේ දී, අක්නාටන්ගේ මරණින් පසු ඔහුගේ විප්ලවය පරිහානියට පත් විය. එල්-අමර්ණහි නව අගනුවර ඉදිකිරීමට වූ වියදම් සහ අමුන් දේවස්ථාන වසා දැමීම හේතුවෙන් ඊජිප්තු ආර්ථිකය දැඩි අර්බුදයක පැවතිණි. අක්නාටන්ගේ මධ්‍යගතකරණ නැඹුරුව හේතුවෙන් ඊජිප්තුවේ ධනය සහ නිෂ්පාදනය මෙහෙයවූ නිලධාරීන් අතර මහා-පරිමාණයෙන් දූෂණ වංචා ව්‍යාප්ත විය. 18වන රාජවංශයේ අවසන් පාරාවෝවරයා වූ ‍හොරෙම්හෙබ් විසින් රාජ්‍යයේ දූෂණ සිදුකළ හෝ කාර්නැක්හි 10වන අටලුව අසල මහා ශිලාස්තම්භයෙන් අයුතු ප්‍රයෝජන ගත් නිලධාරීන්ගේ නාසය කපා දැමීමට නියෝග කළේ මෙහි ප්‍රතිඵලයක් ලෙස විය හැක.[58] නිකොලස් ග්‍රිමල් සංක්ෂිප්තව පවසන පරිදි, අක්නාටන් විසින් ආටන්වාදී-නොවන දේවස්ථාන වසා දැමීම හෝ එහි කටයුතු සීමා කිරීම සහ පූජකවරුන්ගේ භාණ්ඩ රාජ්‍යයේ දියුණුව උදෙසා රාජසන්තක කිරීම හේතුවෙන්:

"පරිපාලනය සහ එහි විධායක හස්තය වන හමුදාව තුළ සංකේන්ද්‍රණයක් සිදු විය. ප්‍රාදේශීය රජය නොසලකා හැරීම නිසා කාර්යක්ෂම පරිපාලනයක් ගෙනයාමට ගැටලු ඇති විය. හඳුන්වා දුන් නව [රාජ්‍ය] ක්‍රමය අත්තනෝමතික පාලනයෙන් සහ දූෂිතයන්ගෙන් ගහන විය....[අක්ටාටන්හි] නව දෙවොල ඇතුළු නව දේවස්ථාන ඉදිකිරීම සාමාන්‍ය ආර්ථිකයට මෙන්ම දේවස්ථාන-මූලික ආර්ථිකයට ද අවාසිදායක විය. මධ්‍යස්ථව බැලූ විට දිව්‍යමය රාජ්‍ය ක්‍රමය හානිකර විය. නමුත් අමර්ණ යුගයේ දී විකල්පයක් හඳුන්වා නොදී ‍මෙම ක්‍රමය අත්හැරීම හේතුවෙන් සම්පූර්ණ නිෂ්පාදන සහ බෙදාහැරීමේ [ආර්ථිකය] අඩපණ විය."[59]

අනුමාන කල්පිතයන්

Thumb
අක්නාටන්ගේ රුව නෙළීමට ප්‍රතිමා ශිල්පියා කළ පෙරහුරුවක්.

ආගමික විප්ලවවාදියකු ලෙස අක්නාටන්ගේ තත්ත්වය පිළිබඳ නොයෙකුත් කල්පිත ඉදිරිපත් වී ඇත. ඇතැමුන් ඔහු විසින් හඳුන්වා දුන් ආගම බහුතරයක් ඒකදේවවාදී බව විශ්වාද කළ ද, බොහෝ විද්වතුන් විශ්වාස කරන්නේ ඔහු සම්පූර්ණයෙන්ම අනෙක් දෙවිවරුන් බැහැර නොකළ නිසා ඔහු ඒකදේව වන්දනාවේ නියුතු වූවකු බවයි.[60] ඔහු ආටන් හැර සෙසු දෙවිවරුන් වන්දනයෙන් වැළකී සිටියේ ජනතාව ආටන් නොව ඔහුට වන්දනාමාන කරනු දැකීම ඔහුගේ අපේක්ෂාව වූ නිසා බව ඔවුහු පවසති.

අක්නාටන් සහ යුදෙව්-ක්‍රිස්තියානි-ඉස්ලාමික ඒකදේවවාදය

අක්නාටන් විසින් පුරෝගාමීත්වය ගත් ඒකදේවවාදී ආගම් සංකල්පය පසුව යුදෙව් ආගම ලෙස වර්ධනය වන්නට ඇති බව විවිධ විද්වතුන් විසින් පවසා ඇත.[61][62][63][64][65][66] මෙය මුලින්ම සඳහන් කළේ මනෝවිශ්ලේෂණයේ පුරෝගාමියා වූ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් විසිනි. ‘නික්මගිය කථාව’ ඓතිහාසික සිදුවීමක් වන බවට වූ වාදය මත පදනම්ව මේ බව ඔහු සිය Moses and Monotheism ග්‍රන්ථයේ දක්වා ඇත.[67] ෆ්‍රොයිඩ් තර්ක කරන්නේ මෝසෙස් යනු අක්නාටන්ගේ මරණින් පසු සිය අනුගාමිකයන් සමග ඊජිප්තුව හැරයාමට සිදු වූ ආටන් පූජකයකු බවයි. ෆ්‍රොයිඩ් පවසන්නේ අක්නාටන් ඒකදේවවාදය ප්‍රචලිත කිරීමට මහත් උත්සාහ දැරූ බවත්, බයිබලයේ එන මෝසෙස් ද එවැනි සංකල්පයක් ප්‍රචලිත කරවීමට සමත් වූ බවත් ය.[61]

ඔහුගේ ග්‍රන්ථය අනුව යමින්, මෙම මතය පර්යේෂණ සඳහා ජනප්‍රිය විෂයයක් බවට පත් විය.[68]

ඇඩෝනායි, ඊජිප්තු ආටන් සහ සිරියානු දෙවියකු වන ඇඩෝනිස් යන නම් අතර ඇති සම්බන්ධය මෙම පාර්ශ්ව අතර පැවති ආදිතම භාෂා එකමුතුව නිරූපණය කරන බව ෆ්‍රොයිඩ් බවසා ඇත.[61] මෙහි දී ඔහු විසින් ඊජිප්තුවේදියකු වූ ආතර් වෙයිගෝල්ගේ තර්කය අනුගමනය කොට ඇති බව පෙනී යයි. ජාන් ඈස්මාන්ගේ අදහස වන්නේ 'ආටන්' සහ 'ඇඩෝනායි' යන වදන් භාෂාමය වශයෙන් සම්බන්ධ නැති බවයි.[69]

අක්නාටන්ගේ ආටන්ගේ මහා ගීතාව සහ බයිබල් ගීතිකා 104 අතර ප්‍රබල ශෛලිගත සමානත්වයන් පවතින බව පුළුල්ව පිළිගැනෙන මතයකි. මේ යුගයට පෙර සහ පසු මෙම ස්වරූපය මෑත පෙරදිග ගීත ස්තෝත්‍ර අධ්‍යයනයන් තුළ පුළුල්ව හමු වේ.

අක්නාටන් සහ ආටන් අතර සම්බන්ධය, ක්‍රිස්තියානි සම්ප්‍රදාය අනුව බැලූ විට ‍ජේසුස් ක්‍රිස්තුතුමන් සහ දෙවියන් අතර පැවති සම්බන්ධය වැනි යැයි පවසන විද්වත්හු ද වෙති. ඔවුහු මෙම ආගම සමේශ්වරවාදයකට වඩා ඒකදේවවාදී මුහුණවරක් ඇතැයි අවධාරණය කරති. ඩොනල්ඩ් බී. රෙඩ්ෆෝර්ඩ් පවසන්නේ ඇතැමුන් විසින් අක්නාටන් යනු ජේසුස්ගේ පණිවිඩකරුවකු ලෙස අදහන බවයි. "එසේ වුවද, අක්නාටන් තමන් එකම දෙවියන්ගේ පුත්‍රයා ලෙස ආමන්ත්‍රණය කොටගෙන ඇත: 'තොපගේ සිරුරෙන් ඉදිරියට පැමිණි තොපගේ එකම පුත්‍රයා' යනුවෙන් පැවසීම එසේ දැක්විය හැක."[70] ජේම්ස් හෙන්රි බ්‍රෙස්ටඩ් විසින් ඔහුව ජේසුස්ට සමාන කොට ඇත.[71] ආතර් වෙයිගෝල් දකින්නේ ඔහු ක්‍රිස්තුස් වහන්සේගේ අසාර්ථක පූරවචරයකු ලෙසයි. තෝමස් මාන් දකින පරිදි ඔහු "නිවැරදි මග තෝරාගත්ත ද, එම මාර්ගයේ යාමට සුදුසු කෙනා ඔහු නොවී" ය.[72]

රෙඩ්ෆෝර්ඩ් තවදුරටත් පවසන්නේ අක්නාටන් තමන් හිරු-මඬලේ පුත්‍රයා ලෙස හඳන්වා ගත්ත ද, ඔහු දෙවියන් සහ මැවීම අතර ප්‍රධාන අතරමැදියා ලෙස කටයුතු කළ බවයි. අක්නාටන්ට වසර දහස් ගණනකට පෙර සිටි රජවරුන් ද මීට සමාන සම්බන්ධතාවක් ප්‍රකාශ කොට පූජක ධුරයයන් උසුලා තිබේ. නමුත් අක්නාටන්ගේ සිද්ධිය මීට තරමක් වෙනස් වන්නේ ඔහු විසින් දිව්‍යමය පිය-පුතු සම්බන්ධයක් අවධාරණය කොට තිබීම නිසායි. අක්නාටන් තමන් පිළිබඳ විස්තර කරන්නේ "තොපගේ බාහුවෙන් බිහි වූ තොපගේ පුත්‍රයා", "තොපගේ දරුවා", "හිරු-මඬලෙන් පැනනැගි සර්වකාලීන පුත්‍රයා", සහ "තොපගේ සිරුරෙන් ඉදිරියට ආ ‍තොපගේ එකම පුත්‍රයා" යනාදි වශයෙනි. මෙම පිය-පුතු සමීප සම්බන්ධතාව අනුව, "සිය පියාගේ" හදවත පිළිබඳ දැනසිටියේ රජු පමණි. එහි ප්‍රතිඵලය ලෙස පියා සිය පුතුගේ යාඥා අසා සිටි බව නියැවේ. පොළොව මත සිය පියාගේ ප්‍රතිමූර්තිය වූයේ ඔහු ය. එසේම අක්නාටන් පොළොවේ රජු වන විට ඔහුගේ පියා දෙව්ලොව රජු විය. ප්‍රධාන පූජක, වක්තෘ, සහ රජු ලෙස ඔහු ප්‍රකාශිත දිව්‍යත්වය පිළිබඳ සංකල්පය නව ආගමික ක්‍රමයේ හදවත බඳු විය. සිය පියාගේ සිත සහ කැමැත්ත පිළිබඳ දැන සිටියේ තමන් පමණක් බැවින් මිනිස් වර්ගයා වෙත සිය ඉගැන්වීම් ප්‍රකාශ කළ හැකි වූයේ ද අක්නාටන්ට පමණි.[70]

රෙඩ්ෆෝර්ඩ් නිගමනය කරන්නේ:

තීබ්ස් සහ ටෙල් එල්-අමර්ණවලින් බොහෝ පුරාවිද්‍යාත්මක සාධක හමුවීමට පෙර, අක්නාටන් යනු සත්‍ය දෙවියන්ගේ කාරුණික ගුරුවරයකු, මෝසෙස්ගේ උපදේශකයකු, ක්‍රිස්තුස් වහන්සේ වැනි චරිතයක්, දාර්ශනිකයකු ලෙස නොයෙකුත් අදහස් පැවතිණි. නමුත් ඓතිහාසික සත්‍යය ඉස්මතු වීමත් සමග මෙම මනඃකල්පිත මතවාද වියැකෙමින් පවතී. අක්නාටන් බයිබලයේ සඳහන් ආකාරයේ පූර්ණ ඒකදේවවාදයක පුරෝගාමියකු වූ බවට සුළු හෝ සාධකයක් අපට හමු නොවේ. හීබ්‍රෑ බයිබලයේ සහ නව තෙස්තමේන්තුවේ ඇකි ඒකදේවවාදී අදහස් වෙනවෙනම වර්ධනය වූවක් බව පෙ‍නේ. එසේම එය පාරාවෝවරයාගේ මරණින් පසු අර්ධ සහස්‍රයකටත් වඩා පසු කාලයක ආරම්භ වූ ඒවා ය.[73]

රෝගී තත්ත්වය

අක්නාටන්ගේ අසාමාන්‍ය ආලේඛය රූ වල දක්නට ඇති එල්ලා වැටෙන උදරය, ඝන කලව, විශාල පයෝධර, සහ දිගු, සිහින් මුහුණ සම්මත පාරාවෝ රූ වල පරිමාණයන්ට වඩා වෙනස් ය. මේ නිසා ඇතැම් ඊජිප්තුවේදීන් යෝජනා කරන්නේ අක්නාටන් යම් ආකාරයක ප්‍රවේණික විකෘතිතාවකින් පෙළෙන්නට ඇති බවයි. මේ පිළිබඳ නොයෙකුත් රෝගී තත්ත්වයන් යෝජනා වී ඇත. ඔහුගේ දිගු හනුව සහ ස්ත්‍රීරූපී පෙනුම මත පදනම්ව මුල්කාලීනව ග්‍රැෆ්ටන් එලියට් ස්මිත්[74] සහ ‍ජේම්ස් ස්ට්‍රැචි,[75] කළ ප්‍රකාශ අනුව යමින් සිරිල් ඇල්ඩ්‍රඩ්,[76] යෝජනා කළේ ඔහු ෆ්රෝලික් සහලක්ෂණයෙන් පීඩා විඳ ඇති බවයි. කෙසේනමුත්, මෙය වියනොහැකි යැයි පැවසෙන්නේ මෙම රෝගීන් ලිංගිකව වඳ ස්වභාවයක් පෙන්වන නිසායි. නමුත් අක්නාටන්ට බොහෝ දරුවන් සිට ඇත. මෙම දරුවන් නිතර කැටයම් ආදියෙහි නිරූපණය කොට ඇත. අවම වශයෙන් මේ දරුවන් අතර නෙෆර්ටිටි රැජිනට උපන් දියණියන් සය දෙනා (අමර්ණහි රජු සහ රැජිනගේ කුමරියන් සය දෙනා ලෙස ප්‍රකට ය) සහ සුළු බිසවකට උපන් ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ ටුටන්ඛාමුන් ද සිටින්නට ඇත.

බරිජ් විසින් යෝජනා කොට ඇත්තේ[77] අක්නාටන් ඇතැම්විට මාර්ෆන් සහලක්ෂණයෙන් පෙළෙන්නට ඇති බවයි. ෆ්‍රෝලික් සහලක්ෂණය මෙන් නොව මාර්ෆන් සහලක්ෂණයේ දී බුද්ධි ඌනතාවන් හෝ වඳභාවය ඇතිවන්නේ නැත. එම රෝගී තත්ත්වයේ දී, ගිලුණු පපු පෙදෙස, දිගු වක් වූ මකුළුවකු වැනි ඇඟිලි, නිරන්තර හෘත් අසාමාන්‍යතා, දැඩිව වක් වූ හෝ බෙදුණු තල්ල, සහ දැඩිව වක්වූ ස්වච්ඡය හෝ අක්ෂි කාචය අකුමවත් වීම නිසා දෘෂ්ටිය සඳහා තියුණු ආලෝකය අවශ්‍ය වීම වැනි තත්ත්වයන් දැකගත හැක. එසේම මාර්ෆන් රෝගීන් සාමාන්‍ය ප්‍රමාණයට වඩා උසින් වැඩි අතර, දිගු සිහින් මුහුණක් සහිත දිගැටි හිස්කබලක් දරයි. අධික ලෙස වර්ධනය වූ පර්ශු, පුනීලාකාර හෝ පරවි ආකාර පපුව, විශාල ශ්‍රෝණිය, සහ විශාල කලවා යන ලක්ෂණ ද මොවුන් තුළින් දැකගත හැක.[78] මාර්ෆන් සහලක්ෂණය ප්‍රමුඛ ලක්ෂණයක් බැවින්, රෝගීන්ගේ දරුවන්ට එය උරුම වීමේ 50%ක සම්භාවිතාවක් ඇත.[79] මෙම සියලු ලක්ෂණ ඇතැම් අවස්ථාවල අක්නාටන් සහ ඔහුගේ දරුවන්ගේ රූප කෙරෙන් දැකගත හැක. ටුටන්ඛාමුන්ගේ මමියේ මෑතකාලීන CT පරිලෝකන අනුව අනාවරණය වූ ඔහුගේ බෙදුණු තල්ල, තරමක් දිගැටි හිස, කශේරුවේ අසාමාන්‍ය වක්‍ර හැඩය සහ ඉහළ කශේරුකා හා වී තිබීම, පැතිකුදය (scoliosis) වැනි ලක්ෂණ මාර්ෆන් සහලක්ෂණය සමග සම්බන්ධ බවයි. කෙසේනමුත් 2010දී ටුටන්ඛාමුන්ගේ DNA පරීක්ෂාවේ දී ඔහුට මාර්ෆන් සහලක්ෂණය නොපැවති බව සනාථ විය.[80][81] වඩාත් මෑතක දී ඔහුගේ රෝගය හෝමොසිස්ටිනියුරියාව විය හැකි යැයි යෝජනාවක් ඇත.[82] හෝමොසිස්ටිනියුරියාවෙන් පෙළෙන රෝගීනට මාර්ෆන් සහලක්ෂණයට සමාන සංකූලතා ඇත. කෙසේනමුත්, මෙය අලිංග වර්ණදේහ ප්‍රතිබද්ධ නිලීන රෝගයක් බැවින්, මෙය අක්නාටන්ගේ පවුල් ගස සඳහා ගැලපෙන බව පෙනී යයි. — අක්නාටන්ගේ දෙමව්පියන් වූ IIIවන අමෙන්හොටෙප් සහ ටියේ නිරෝගී යැයි සැලකේ. 2010දී ටුටන්ඛාමුන්ගේ DNA පරීක්ෂාවත් සමග මාර්ෆන් සහලක්ෂණය පිළිබඳ මතය නොසලකා හැරිණි.[80] කෙසේනමුත්, ඩොමිනික් මොන්ට්සෙරට් සිය Akhenaten: History, Fantasy and Ancient Egypt ග්‍රන්ථය තුළ පවසන්නේ "අක්නාටන්ගේ භෞතික ස්වභාවය අතිශයෝක්තියෙන් යුතුව දක්වා තිබීම පිළිබඳ ඊජිප්තුවේදීන් අතර අදවන විට පුළුල් කතිකාවතක් ඇති වී තිබේ...එනම් මෙය වාච්‍යානුසාරයෙන් කියවිය නොයුතු බවටයි".[65] මොන්ට්සෙරට් සහ අන්‍යයන්[83] තර්ක කරන්නේ මෙම සිරුරේ හැඩය මගින් යම් ආකාරයක ආගමික සංකේත ක්‍රමයක් නිරූපණය වන බවයි. ආටන් දෙවිඳුන් "මිනිස් වර්ගයාගේ මෑණියන් සහ පියාණන්" ලෙස හඳුන්වා ඇති නිසා කලා නිර්මාණ තුළ අක්නාටන්ව නපුංසක ස්වරූපයෙන් නිරූපණය කොට ඇති බව ඔවුහු පවසති. මෙමගින් "මැවුම්කාර දෙවියන්ගේ සියලු ගුණාංග රජුගේ ‍ශරීරයට ආදේශ කොට" ඇති අතර, එය "පොළොව මත ආටන්ගේ බහුවිධ ජීවය-පොවන ස්වභාවය" නිරූපණය වේ යැයි සැලකේ.[65] අක්නාටන් තමන්ව "රේට අනන්‍ය තැනැත්තා" යනුවෙන් හඳුන්වා ගැනීමෙන්, ඔහු කලානිර්මාණ තුළ තමන්ව සාමාන්‍ය ජනයාගෙන් විශේෂ කොට හුවා දක්වන්නට ඇත. මෙලෙසින් සම්ප්‍රදායික සංකේතාත්මක නිරූපණයන්ගෙන් මිදීම නිසා පාරාවෝ සැබැවින්ම විශේෂ පුද්ගලයකු ලෙස පෙනී යයි.

අක්නාටන් පිළිබඳ තවත් පදනම් විරහිත තර්කයක් ඉමානුවෙල් වෙලිකොව්ස්කි විසින් සිදුකොට ඇත. ඔහු විසින් රජු සහ රජුගේ මව වූ ටියේ අතර පැවති ව්‍යාභිචාර සම්බන්ධතාවක් පිළිබඳ කල්පිතයක් ඉදිරිපත් කොට ඇත. එසේම වෙලිකොව්ස්කි අක්නාටන්ට විශාල පාද තිබූ බව ද දක්වයි. මේ මත පදනම්ව ඔහු පවසන්නේ ඊඩිපස් මිත්‍යාව පසුපස ඇති ඓතිහාසික චරිතය අක්නාටන් බවයි. ඊඩිපස් යන්නට ග්‍රීකවරුන් "විශාල පාද" යන අරුත දක්වා ඇත. එසේම ඔහු ග්‍රීක තීබ්ස් නගරය, ඊජිප්තු තීබ්ස් නගරයට සමකොට ඇත. වෙලිකොව්ස්කි පවසන පරිදි අක්නාටන් කුරිරු ලෙස සිය පියාගේ නාමය මකා දැමීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කළ බවට වූ කරුණ පසුව ඊඩිපස් සිය පියා මරාදැමූ බවට පරිණාමය වන්නට ඇත.[84] නමුත් මෙම කරුණ සාවද්‍ය බව තහවුරු වූයේ අක්නාටන් සිය ආගමික විප්ලවය ඇරඹීමට පෙර සිය පියාගේ දේහය මමීකරණය කොට සම්ප්‍රදායික ඊජිප්තු ක්‍රමයට අනුව ගෞරව සහිතව භූමදානය කළ බවට සාධක ඇති නිසායි. මීට අමතරව, පශ්චාත් මරණ පරීක්ෂණය සහ 2014 ජාන විද්‍යාත්මක සාක්ෂි අනුව ඔහුගේ පුත් ටුටන්ඛාමුන් බිහිවූයේ සහෝදර-සහෝදරි විවාහයක් මගින් බව සනාථ විය. එය ජනක-ජනිත විවාහයකින් සිදු වූවක් නොවී ය.[85][86]

2012දී, ලන්ඩන් ඉම්පීරියල් කොලීජියේ ශල්‍ය වෛද්‍යවරයකු වූ හුටන් අෂ්‍රාෆියන් විසින් අක්නාටන් සහ 18වන රාජවංශයේ සෙසු පාරාවෝවරුන්ගේ අකල් මරණයන් (ටුටන්ඛාමුන් සහ IVවන තුත්මෝස් ද ඇතුළුව) පිළිබඳ පර්යේෂණයක් මෙහෙයවී ය. ඔහු හඳුනාගෙන ඇත්තේ මෙම අඩු වයස් මරණයන් කුටුම්භීය ශංඛක ඛණ්ඩික අපස්මාරය (Familial Temporal Epilepsy) නිසා සිදු වූ බවයි. මෙමගින් අක්නාටන්ගේ අකල් මරණය, ප්‍රතිමාවල දක්නට ඇති ඔහුගේ අසාමාන්‍ය දේහ හැඩය මෙන්ම අක්නාටන්ගේ ආගමික විශ්වාසයන් පිළිබඳව ද පැහැදිළි කළ හැකි විය. ඒ මෙම අපස්මාරයෙන් පෙළෙන රෝගීනට ආගමික සහ ආත්මීය දර්ශන දිස්වන බැවිනි.[87] කෙ‍‍සේනමුත්, අපස්මාරය සඳහා නිශ්චිත ප්‍රවේණි පරීක්ෂා නොපවතින බැවින් මෙම වාදය තහවුරු කිරීමට අපොහොසත්ව ඇත.[88]

ස්මෙන්ඛ්කරේ

නොයෙකුත් කැටයම් ඉවත් කළ සහ හානි වූ ශිලාපුවරුවල අක්නාටන් සමග රජකුගේ කිරුළක් පැළඳි පෙනුමෙන් සමාන සහ-උපරාජයකුගේ රුවක් දක්නට ලැබේ. ස්මෙන්ඛ්කරේ පුරුෂයකු ලෙස හඳුනා ගැනෙන නිසා අක්නාටන් සමලිංගිකයකු බවට මතයන් ඉදිරිපත් විය. නමුත් වරක් මෙම උපරාජයා කාන්තාවක් (බොහෝ විට ඔහුගේ බිසව විය හැකි ය) බව හඳුනාගැනීම නිසා ඉහත මතය පතික්ෂේප විය.

1970 දශකයේ, ජෝන් හැරිස් විසින් අක්නාටන් අසල නිරූපිත එම රුව නෙෆර්ටිටිගේ බව හඳුනාගත් අතර, ඔහු පැවසූයේ ඇයව ඇතැම් විට උපරාජ තනතුරට පත්කොට ඇති බවත්, පසුව තනිව රාජ්‍ය පාලනය කළ කාලයේ ඇගේ නාමය ස්මෙන්ඛ්කරේ ලෙස වෙනස් කොටගත් බව ය.[65]

නිකොලස් රීවස් ඇතුළු සෙසු ඊජිප්තුවේදීන් විශ්වාස කරන්නේ ස්මෙන්ඛ්කරේ යනු, අක්නාටන්ගේ රාජ්‍ය සමයේ අවසාන වර්ෂය හෝ වර්ෂ ද්විත්වයේ අක්නාටන් සමග හවුල් පාලනයක් ගෙනගිය නෙෆර්නෙෆරුආටන්ම බවයි. ස්මාරක කිහිපයක, ඔවුන් දෙදෙනා එක්ව අසුන් ගෙන සිටිනු නිරූපිත ය.[89] ජේම්ස් ඇලන්[90] සහ මාර්ක් ගැබෝල්ඩි[91] විසින් මෑතක දී සිදුකළ පර්යේෂණයක් අනුව, "සාධාරණ එකඟත්වයකට"[92] පැමිණ ඇත්තේ නෙෆර්නෙෆරුආටන් යනු කාන්තා පාලකයකු බවත්, ඇය ස්මෙන්ඛ්කරේ නොවන බවත් ය.

කලාව තුළ

Thumb
අක්නාටන් කයිරෝ පිළිරුවේ සිතුවමක්

නාට්‍ය

  • අගතා ක්‍රිස්ටී: නාට්‍යය, අක්නේටන් (1937දී ලියන ලදී, ප්‍රකාශනය ඩොඩ්, මීඩ් සහ සමාගම [නිව් යෝක්], 1973, ISBN 0-396-06822-7; කොලින්ස් [ලන්ඩන්], 1973, ISBN 0-00-211038-5)
  • ප්‍රොකෝපියෝව්, ඇන්ජලොස්, Pharaoh Akhenaton Theatr. Play. 1වන සංස්. 1961 ඇතැන්ස්. ISBN 960-7327-66-7

නවකථා

සංගීත

  • ජෙනසිස් නැමැති ඉංග්‍රීසි රොක් සංගීත කණ්ඩායමේ Foxtrot (1972) ඇල්බමයේ "Supper's Ready" නැමැති රොක් ගීතයේ කොටසක් ඉක්නේටන් නාමය ඇසුරෙන් නම්කොට ඇත. මෙම නොටසේ නම "Ikhnaton and Itsacon and their band of Merry Men" යන්නයි.
  • රේ මැන්සරෙක්ගේ "The Golden Scarab" (1974) යන ඇල්බමය කුළ අක්නාටන්ගේ නම "The Golden Scarab" අනුසාරයෙන් යොදා ඇත.
  • පිලිප් ග්ලාස්: ඔපෙරාව, Akhnaten: තිදෙනකුගෙන් යුත් ඔපෙරාව (1983; CBS රෙකෝර්ඩ්ස්, 1987)
  • ජුලියන් කෝප්ගේ 1992 ඇල්බමයක් වන Jehovahkill තුළ "අක්නාටන්" නැමැති පථය ඇත.
  • ස්වීඩන් ලෝහ තූර්යවාදන සංගීත කණ්ඩායමක් වන තීරියන්හි Sirius B (2004) ඇල්බමයේ "Son Of The Sun" තුළ අන්තර්ගත ය.
Quick Facts
බාහිර වීඩියෝ
Thumb
House Altar with Akhenaten, Nefertiti and Three Daughters (Amarna Period) (5:03), ස්මාර්ට්හිස්ට්‍රි[93]
The Lost Pharaoh: The Search for Akhenaten (56:35), කැනඩාවේ ජාතික චිත්‍රපට මණ්ඩලය[94]
Close

චිත්‍රපට

  • මිකා වෝල්ටරිගේ නවකථාව මත පදනම්ව The Egyptian නැමැති චලන රූප චිත්‍රපටය (1954, අධ්‍යක්ෂණය මයිකල් කර්ටිස්, ට්වෙන්ටීත් සෙන්චරි-ෆොක්ස් චිත්‍රපට සංස්ථාව) නිමැවිණි.
  • Nefertiti නැමැති චලන රූප චිත්‍රපටය තුළ (1961, අධ්‍යක්ෂණය ෆර්නැන්ඩෝ චර්චියෝ, රංගනය ජීන් ක්‍රේන් සහ වින්සන්ට් ප්‍රයිස්) අක්නාටන්ගේ චරිතය නිරූපණය කරන්නේ ආමිඩියෝ නසාරි විසිනි. මෙහි ඔහුව අමතන්නේ "අමොනෝෆිස්" ලෙස ය.
  • La Reine Soleil (2007 සජීවීකරණ චිත්‍රපටය, ෆිලිප් ලෙක්ලර්ක් විසිනි) චිත්‍රපටය තුළ අක්නාටන්, ටුටන්ඛාටන් (පසුව ටුටන්ඛාමුන්) අඛේසා (අක්ඛෙසෙන්පාටන්, පසුව අන්ඛෙසෙනමුන්), නෙෆර්ටිටි, සහ හොරෙම්හෙබ් චරිත ඇති අතර, අමුන් සහ ආටන්වාදී පූජක අරගලයක් නිරූපිත ය‍.
  • ආක්නාටන්ගේ දේවස්ථානයේ ඩොනල්ඩ් රෙඩ්ෆෝර්ඩ් සිදුකළ කැනීම තේමා කරගනිමින් 1980දී කැනඩාවේ ජාතික චිත්‍රපට සංස්ථාව විසින් The Lost Pharaoh: The Search for Akhenaten නැමැති පැයක වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කොට ඇත.[94]
  • ඒන්ෂන්ට් ඒලියන්ස් කථාවාරය 1හි 2වන කථාංගය වන "The Visitors" තුළ මෙන්ම වෙනත් කථාංග කිහිපයක ද, අක්නාටන් යනු පාරභෞමිකයකු ලෙස දක්වා ඇත.[96]

වෙනත්

  • එඩ්ගාර් පී. ජේකබ්ස්: චිත්‍රකථා ග්‍රන්ථය, Blake et Mortimer: Le Mystère de la Grande Pyramide වෙළුම්. 1+2| (1950), තුළ අක්නාටන්ගේ අභිරහස පසුබිම් වී ඇත.
  • ජෝෂුවා නෝර්ටන්ගේ: Die! Akhnaten Die! නැමැති ග්‍රන්ථය කාලානුක්‍රමික දැව අච්චු මුද්‍රණ මාලාවක් ආශ්‍රයෙන් සකසා ඇත. මෙහි අක්නාටන්ගේ කථාව නිරූපිත ය.
  • The Secret World, තුළ ඊජිප්තු මෙහෙයුමේ (කළු හිරු, රතු වැලි) ප්‍රධාන ප්‍රතිවාදියා අක්නාටන් ය.

පෙළපත

මේවාත් බලන්න

සටහන් සහ මූලාශ්‍ර

බාහිර සබැඳි

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.