From Wikipedia, the free encyclopedia
සිල්ලාහි සොන්දොක් රැජින (කොරියානු උච්චාරණය: sʰʌndʌk jʌwaŋ;? - 647 පෙබරවාරි 17) යනු කොරියාවේ තුන් රාජධානිවලින් එකක් වූ සිල්ලා දේශයේ රාජ්‍ය පාලනය කළ රැජිනකි. ඇය 632 සිට 647 දක්වා රාජ්‍යය පාලනය කළා ය.[1] ඇය සිල්ලාවේ විසි හත්වන පාලකයා මෙන්ම එහි බිහි වූ ප්‍රථම රජ කරන රැජින ද වේ. එසේම ඇය නැගෙනහිර ආසියානු ඉතිහාසයේ දෙවන රාජ්‍ය පාලිකාව ද වේ. ඇය සිල්ලාවේ චින්තනය, සාහිත්‍යය, සහ කලාව යන අංශයන්හි පුනරුදයක් සඳහා හේතු වූවා ය.[2]
සිල්ලාහි සොන්දොක් රැජින | |
---|---|
සිල්ලාහි රැජින | |
රාජ්‍ය සමය | 632 - 647 (වර්ෂ 15) |
අභිෂේකය | 632 |
පූර්වප්‍රාප්තිකයා | සිල්ලාහි ජින්ප්යොං රජු |
අනුප්‍රාප්තිකයා | සිල්ලාහි ජින්දොක් රැජින |
මරණය | 647 පෙබරවාරි 17 සිල්ලා |
පියා | සිල්ලාහි ජින්ප්යොං |
මව | සිල්ලාහි මායා අගබිසව |
සිල්ලාහි සොන්දොක් රැජින | |
හංගුල් | 선덕여왕, එලෙසම 선덕왕 |
---|---|
හන්ජා | 善德女王, එලෙසම 善德王 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Seondeok yeowang, එලෙසම Seondeok wang |
මැකූන්–රයිෂවර් | Sŏndŏk yŏwang, එලෙසම Sŏndŏk wang |
කොරියාවේ රජවරු සිල්ලා (එක්සත් කිරීමට පෙර) |
|
රැජින බවට පත්වීමට ප්‍රථම ඇය දියොක්මාන් කුමරිය (හන්ජා: 德曼) ලෙස හැඳින්විණි. සම්ගුක් සගි අනුව, ඇය සිල්ලාහි ජින්ප්යොං රජුගේ පළමු දියණිය වෙයි. නමුත් වෙනත් ඓතිහාසික වාර්තා අනුව, ඇය ජින්ප්යොං රජුගේ දියණියන් අතුරින් දෙවැන්නායි. ඇය ඇගේ වැඩිමහල් සොයුරිය වූ චොන්මියොං කුමරියට වඩා බෙහෙවින් බාල ය. ඇයගේ බෑනා සහ චොන්මියොං කුමරියගේ පුත්‍රයා පසුකලෙක සිල්ලාහි මුයොල් රජු ලෙස රාජ්‍යත්වයට පත් විය. සොන්දොක්ගේ අනෙක් සොයුරිය වූ සොන්හ්වා කුමරිය පසුකලෙක බෙක්ජේහි මු සමග විවාහ වී බෙක්ජේහි උයිජාගේ මව බවට පත් වූවා ය. නමුත් සොන්හ්වාගේ පැවැත්ම මතභේදාත්මක ය. එයට හේතුව 2009දී හමු වූ සාක්ෂියකට අනුව උයිජා රජුගේ මව ඓතිහාසික වාර්තාවල සඳහන් පරිදි සොන්හ්වා කුමරිය නොව සාතෙක් රැජින බව සඳහන් වේ.
ජින්ප්යොං රජුට පුතුන් නොසිටි බැවින් සොන්දොක්ව සිය උරුමකරු ලෙස තෝරාගන්නා ලදී. මෙය පෙරනොවූ විරූ අත්දැකීමක් වුවද, එමගින් සිල්ලාවේ ජනයා එතරම් පුදුමයට පත් නොවී ය. එයට හේතුව එම යුගයේ මව්බිසෝවරුන් සහ රාජ්යාධිකාරිණියන් වැනි කාන්තාවන් උපදේශකවරියන් ලෙස කටයුතු කර තිබීම නිසායි. - මීට අමතරව ජින්ප්යොං සිහසුනට පැමිණියේ ද මීෂිල් බිසව විසින් මෙහෙයවන ලද කුමන්ත්‍රණයක් මගිනි. මෙකල රාජධානිය පුරා කාන්තාවන් පවුල්වල ප්‍රධානීන් වූ අතර පීතෘවංශීය මෙන්ම මාතෘවංශීය ප්රවේණි කුම ද පැවතිණි. සිල්ලාව තුළ, කාන්තාවන්ගේ තත්ත්වය සාපේක්ෂව ඉහළ මට්ටමක පැවතිණි. නමුත් ස්ත්‍රී හැසිරීම් සහ චර්යාවන් පිළිබඳ ඔවුනට ද සීමා පැවතිණි. කාන්තානොවන ක්‍රියාවල නියැලීමෙන් ඔවුන්ව අධෛර්යයට පත්කරන ලදී. සොන්දොක්ගේ සාර්ථක රාජ්‍ය සමය සිල්ලාවේ තවත් රාජ්‍ය පාලනය කළ රැජිනියන් දෙදෙනකු සඳහා පූර්වාදර්ශයක් විය.[3]
632දී සොන්දොක් මුළු සිල්ලාවේම පාලිකාව බවට පත්වූවා ය. ඇය 647 තෙක් එය පාලනය කළා ය. ඇය සිල්ලා රාජධානියෙහි සිටි රාජ්‍ය පාලිකාවන් තිදෙනා අතුරින් පළමුවැන්නිය වූවා ය. (අනෙක් දෙදෙනා වූයේ සිල්ලාහි ජින්දොක් රැජින සහ සිල්ලාහි ජින්සොං රැජිනියන් ය) ඇගේ මරණින් පසු ක්ෂණිකව ඇගේ නෑනණ්ඩිය වූ ජින්දොක් පාලනය භාරගෙන 654 තෙක් රාජ්‍යය පාලනය කළා ය.
සොන්දොක්ගේ සමය ආරම්භ වූයේ කැරලි සහ අසල්වැසි රාජ්‍යයක් වූ බෙක්ජේ සමග සටන් පැවති කාලසීමාවක් මධ්‍යයේ ය. සිල්ලාවේ රැජින ලෙස වසර දාහතරක රාජ්‍ය සමය තුළ ඇය සිය ඥානය මෙහෙයවා පාලනය ගෙන ගියා ය. බෙක්ජේ ආක්‍රමණ එළැඹි විට ඇය ගොගුර්යෝ දේශය සමග සන්ධානයකට එළැඹියා ය. එසේම ගොගුර්යෝ දේශය සිල්ලාවට එරෙහි වූ විට, ඇය ටෑං චීනය සමග සිය සබඳතා වැඩිදියුණු කරගත්තා ය.[4] සිය රාජ්‍යය එක්සත් කළ ඇය චීනය වෙත විද්වතුන් සහ රාජ දූතයන් පිටත් කරහැරියා ය. එසේම ඇය කොරියානු රාජකීය නීති පද්ධතිය නිමවීමට මුලපිරූ අතර සටන් කලාව පුහුණු කරවීම සඳහා තරුණ කොරියානුවන් චීනය වෙත පිටත් කර හැරියා ය.[5]
ටෑං රාජවංශයේ වු සේටියෑන් අධිරාජිනිය සහ සිය පියා මෙන් ඇය ද බුදු දහම වෙත ඇදී ගිය අතර ඇය බෞද්ධ සිද්ධස්ථාන සම්පූර්ණ කිරීම සඳහා මූලිකත්වය ගත්තා ය. ඇය විසින් ඉදි කළ බෞද්ධ සිද්ධස්ථාන අතර හ්වැංන්යොංගුසාහි මහල් නවයේ දැව ස්තූපය ප්‍රධාන වේ. මීටර 80ක් උස මෙම ගොඩනැගිල්ලෙහි සෑම මහලකම සිල්ලාව විසින් යටත් කර ගනු ලැබූ අසල්වැසියන් පිළිබඳ කැටයම් කර තිබිණි.[6] බුන්හ්වංසා සහ යොංම්යෝසා ද නිමැවුණේ ඇගේ අනුග්‍රහය යටතේ ය.
එසේම ඇය විසින් ඉදිකළ "තාරකා-නිරීක්ෂණ කුළුණ" හෙවත් චොම්සොංදේ ඈත පෙරදිග ඉදි වූ ප්‍රථම නිරීක්ෂණාගාරය ලෙස සැලකේ. මෙ කුළුණ අදටත් පැරණි සිල්ලා අගනුවර වූ දකුණු කොරියාවේ ග්යොංජුහි විරාජමානව නැගී සිටියි. එසේම ඇය දුගී ජනයාගේ යහපත උදෙසා ක්‍රියා කළා ය.
647 පළමු චන්ද්‍ර මාසයේ දී, බිදාම් නැමැත්තා විසින් “කාන්තාවන්ට රාජ්‍ය පාලනය කළ නොහැකි ය” (女主不能善理) යන සටන් පාඨය රැගත් කැරැල්ලක් දියත් කරන ලදී.[7] සම්ගුක් සගි මූලාශ්‍රය අනුව බිදාම්ගේ ඉස්මතු වීමත් සමග තරුවක් 'කඩාවැටිණි'. එය රැජිනියගේ රාජ්‍ය සමයේ අවසානය බව පවසමින් මෙම අවස්ථාව බිදාම් සිය අනුගාමිකයන් දිරිමත් කිරීමට උපයෝගී කර ගත්තේ ය. අනෙක් පසින් 'තරුව නැවත මුල් ස්ථානයට ගමන් කරයි' යන්න නිරූපණය කිරීම සඳහා දැල්වූ සරුංගලයක් දියත් කරන ලෙස කිම් යුෂින් රැජිනියට උපදෙස් දුන්නේ ය. ඉන් අනතුරුව කිම් යුෂින්ගේ හමුදාව විසින් බිදාම්ගේ කැරලිකාර පාර්ශ්වය පරාජය කරන ලදී. බිදාම්ගේ කැරැල්ලෙන් දින 30කට පසු,පෙබරවාරි 26වන දින බිදාම් සහ ඔහුගේ මිනිසුන් 30 දෙනකුහට සිල්ලාහි ජින්දොක් රැජින විසින් දඬුවම් පමුණුවන ලදී. (පෙබරවාරි 17 දින සොන්දොක් රැජින මියගියා ය. අනතුරුව ජින්දොක් සිල්ලාවේ රැජින ලෙස රාජ්‍යත්වයට පත්වූවා ය)
සොන්දොක් කුමරියකව සිටි සමයේ ඇය විසින් පිළිබිඹු කළ දස්කම් සහ ඇගේ පරිණත බුද්ධිය, ඇගේ පියාව ඇයව සිය අනුප්‍රාප්තිකයා ලෙස පත්කිරීමට හේතු වන්නට ඇත. එක් කථාන්තරයකට අනුව (සම්ගුක් සගි සහ සම්ගුක් යුසා යන දෙකෙහිම සඳහන්) ඇගේ පියාට පියොනි ශාක බීජවලින් සමන්විත පෙට්ටියක් ටෑංහි ටයිෂොං අධිරාජයා විසින් එවන ලද අතර එය සමග එම පුෂ්ප පවතින අයුරු නිරූපිත සිතුවමක් ද විය. සිතුවම දෙස බලා, ලාබාල සොන්දොක් පැවසූයේ එම පුෂ්ප අලංකෘත වුවත් එය සුවඳින් තොර බවයි. "එසේ තිබුණේ නම් එම සිතුවමෙහි පුෂ්ප වටා සමනලුන් සහ මීමැස්සන් සිටිය යුතු" බව ඇය පැවසුවේලු.පියොනි ශාකයේ සුවඳ රහිත බව පිළිබඳ ඇගේ නිරීක්ෂණය සත්‍ය විය — මෙය රාජ්‍ය පාලනයට ඇය දැක් වූ දක්ෂතාව සහ ධාරණ ශක්තිය පිළිබඳ උදාහරණයකි.
යමක් සිදුවීඹට පෙර එම අවස්ථාව තේරුම් ගැනීමට සොන්දොක් දැක් වූ අසාමාන්‍ය හැකියාව පිළිබඳ සඳහන් තවත් වාර්තා දෙකක් පවතී. පළමුවැන්නේ සඳහන් වන්නේ වරක් සොන්දොක් සිසිර සෘතුවේ දී ජේඩ් ද්වාර පොකුණ අසල සිටි ගෙඹි රැලක් හඬනගනු ඇසුණු බවයි. මෙය වයඹදිග සිල්ලාවේ (තාරකාවිද්‍යාවේ දී සුදු පැහැය බටහිර දිශාව නිරූපණයට යොදා ගැනිණි) ස්ත්රීන්ගේ නිම්නය (ජේඩ් ද්වාරය ස්ත්‍රීන් හා සම්බන්ධ ය) වෙත එල්ලවන බෙක්ජේ ආක්‍රමණයක් (හඬලන මැඬියන් කෝපාවිෂ්ඨ සෙබලුන් ලෙස දකින ලදී) පිළිබඳ පෙරනිමිත්තක් බව ඇය නිගමනය කළා ය. ඇය ස්ත්රීන්ගේ නිම්නය වෙත සිය සෙන්පතීන් පිටත් කර හැරි විට ඇයට බෙක්ජේ සෙබලුන් දෙදහසක් හසුකර ගත හැකි වූ බව පැවසේ. දෙවන වාර්තාව ඇගේ මරණය පිළිබඳව වේ. ඇගේ මරණයට දින කිහිපයකට පෙර, සොන්දොක් සිය නිලධාරීන් කැඳවා "මා මියගිය පසු, මාව දොරි චොන් (忉利天, "ශෝකයට පත්වූවන්ගේ දෙව්ලොව") අසල භූමදානය කරන්න" යනුවෙන් පැවසූ බව එහි සඳහන් ය. ඇගේ මරණයෙන් දශකයකට පසු, තිස්වන රජු වූ සිල්ලාහි මුන්මු විසින් ඇගේ සොහොනෙහි සචොන්වං-සා (四天王寺 "සිව් දිව්‍යමය රජුන්ගේ දේවස්ථානය") ඉදිකරන ලදී. අනතුරුව වංශවතුන් විසින් බුදුන් වහන්සේගේ කියමනක් වූ "දොරි-චොන් පිහිටියේ සචොන්වං-චොන්ට ඉහළින් ය" යන මතය රැජින විසින් ඉටුකරන ලදී.
2009 MBC නාළිකාව මගින් විකාශය වූ ක්වීන් සොන්දොක් කතාමාලාව තුළ ඇගේ චරිතය ලී යො-වොන් සහ නම් ජි-හ්යුන් විසින් නිරූපණය කරන ලදී. 2012-2013 වර්ෂ තුළ KBS1 නාළිකාව මගින් විකාශය වූ ද කිං’ස් ඩ්‍රීම් (හෙවත් ඩ්‍රීම් ඔෆ් ද එම්පරර්) තුළ ඇගේ චරිතය පාක් ජූ-මි සහ හොං ඉයුන්-හී විසින් නිරූපණය කරන ලදී.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.