From Wikipedia, the free encyclopedia
අමෙන්හොටෙප් III (හෙලනීකෘත අමෙනෝෆිස් III; ඊජිප්තු අමාන-හාට්ප; අරුත අමුන් තෘප්තියට පත් වන) හෙවත් විශිෂ්ට අමෙන්හොටෙප් යනුවෙන් හැඳින්වෙන්නේ ඊජිප්තුවේ දහඅටවන රාජවංශයේ නවවන පාරාවෝවරයායි. විවිධ කතුවරුන්ගේ වාර්තා අනුව, ඔහු විසින් ඊජිප්තුව පාලනය කොට ඇත්තේ ක්‍රි.පූ. 1386 ජූනි සිට 1349 දක්වා හෝ ක්‍රි.පූ. 1388 ජූනි සිට 1351/1350 දෙසැම්බර් දක්වා ය.[4] ඔහු සිහසුනට පත්වූයේ ඔහුගේ පියා වූ IVවන තුත්මෝස්ගේ මරණයත් සමගයි. IIIවන අමෙන්හොටෙප්, තුත්මෝස්ගේ උපබිසවක වූ මුටෙම්වියාගේ පුත්‍රයායි.[5]
අමෙන්හොටෙප් III | |
---|---|
නිබ්මු(`ව්)අරෙයා,[1] මිමුරෙයා, අමෙනෝෆිස් III | |
පාරාවෝ | |
රාජ්‍ය සමය | ක්‍රි.පූ. 1391 - 1353 හෝ ක්‍රි.පූ. 1388 - 1351 (18වන රාජවංශය) |
පූර්වප්‍රාප්තිකයා | තුත්මෝස් IV |
අනුප්‍රාප්තිකයා | අක්නාටන් |
වල්ලභ | ටියේ ගිලුක්හෙපා ටඩුක්හෙපා සිටාමුන් ඉසෙට් නෙබෙට්නෙහට්? |
දරුවන් | අක්නාටන් තුත්මෝස් සිටාමුන් ඉසෙට් හෙනුට්ටනෙබ් නෙබෙටාහ් ස්මෙන්ඛ්කරේ? "ලාබාල යුවතිය" බෙකෙටාටන් නෙබෙට්නෙහට්? |
පියා | තුත්මෝස් IV |
මව | මුටෙම්වියා |
මරණය | ක්‍රි.පූ. 1353 හෝ 1351 |
භූමදානය | WV22 |
ස්මාරක | මල්කටා, IIIවන අමෙන්හොටෙප්ගේ මතකාගාර දේවස්ථානය, මෙම්නන්හි දැවැන්ත ප්‍රතිමා |
ඔහුගේ රාජ්‍ය සමය පෙර නොපැවති සමෘද්ධිමත්භාවයකින් සහ කලාත්මක තේජසින් හෙබි යුගයක් විය. මෙකල ඊජිප්තුව කලාව සහ අන්තර්ජාතික බලය අතින් උච්චත්වයට පත්ව පැවතිණි. ඔහුගේ 38වන හෝ 39වන රාජ්‍ය වර්ෂයේ සිදු වූ ඔහුගේ මරණයත් සමග ඔහුගේ පුත්‍රයා, IVවන අමෙන්හොටෙප් යන නාමයෙන් සිහසුනට පත් විය. නමුත් පසුකලෙක ඔහු සිය රාජකීය නාමය අක්නාටන් ලෙස වෙනස් කරගත්තේ ය.
IVවන තුත්මෝස් (IIවන අමෙන්හොටෙප්ගේ පුත්‍රයා) රජුට දාව ඔහුගේ සුළු භාර්යාවක වූ මුටෙම්වියා හට උපන් පුත්‍රයා වූ අමෙන්හොටෙප් ක්‍රි.පූ. 1388 අවට උපන්නේ යැයි සැලකේ.[6] ඔහු Iවන තුත්මෝස් ගෙන් ඇරඹී වසර 150ක් පමණ ඊජිප්තුව පාලනය කළ තුත්මොසීය පවුලේ සාමාජිකයකු විය.
IIIවන අමෙන්හොටෙප්ට දාව ඔහුගේ මහා රාජකීය බිරිඳ වූ ටියේට පුතුන් දෙදෙනකු විය. ඔවුන්ගේ පළමු පුත්‍රයා වූ කිරුළහිමි තුත්මෝස් කුමරු සිය පියාට පෙර මියගිය අතර, දෙවන පුත්‍රයා වූ IVවන අමෙන්හොටෙප් (පසුව අක්නාටන් ලෙස හැඳින්විණි) අවසානයේ IIIවන අමෙන්හොටෙප්ගෙන් පසු සිහසුනට පත් විය. ඇතැම් විට IIIවන අමෙන්හොටෙප්ට තුන්වන දරුවකු ද සිටින්නට ඇති අතර, අක්නාටන්ගෙන් පසු කෙටි කාලයක් පාරාවෝ ලෙස ඊජිප්තුව පාලනය කළ ස්මෙන්ඛ්කරේ ඔහුගේ දරුවකු විය හැකි යැයි පැවසේ.
IIIවන අමෙන්හොටෙප් සහ ටියේ හට දියණියන් සිව්දෙනකු සිට ඇති බව පෙනේ. ඔවුන් නම්: සිටාමුන්, හෙනුට්ටනෙබ්, අයිසිස් හෙවත් ඉසෙට් සහ නෙබෙටාහ් ය.[7] ඔවුන් පිළිබඳ ඔවුන්ගේ පියාගේ රාජ්‍ය සමයයට අයත් ප්‍රතිමා සහ කැටයම්වල මෙන්ම කුඩා භාණ්ඩවල (නෙබෙටාහ් හැර) ද දක්නට ලැබේ.[8] නෙබෙටාහ් පිළිබඳ සාක්ෂියක් ලෙස හමුවන්නේ මෙඩිනෙට් හබුහි පිහිටි දැවැන්ත හුනුගල් ප්‍රතිමා සමූහය පමණකි.[9] මෙම දැවැන්ත ප්‍රතිමාව මීටර හතක් උසැති වන අතර, එහි IIIවන අමෙන්හොටෙප් සහ ටියේ එක්ව අසුන්ගෙන සිටින අයුරුත්, "ඔවුන්ගේ දියණියන් තිදෙනකු සිහසුන ඉදිරිපස සිටගෙන අයුරුත් නිරූපණය කොට ඇත. මින් වඩාත් සංරක්ෂිත සහ විශාලතම මධ්‍ය ප්‍රතිමාව හෙනුට්ටනෙබ්ට අයත් ය. නෙබෙටාහ් දකුණුපස වේ. වම් පස පිහිටි අනෙක් ප්‍රතිමාවේ නම විනාශ වී ඇත."[7]
IIIවන අමෙන්හොටෙප් සිය රාජ්‍ය සමයේ අවසන් දශකයේ දියණියන් සිව්දෙනා අතුරින් දෙදෙනකු, එනම් සිටාමුන් සහ අයිසිස් ව "මහා රාජකීය බිරිඳ" ධුරයට පත්කොට තිබේ. සිටාමුන්ව ද ඔහුගේ 30වන රාජ්‍ය වර්ෂයේ මෙම ධුරයට ඔසවා තැබුණු බව මල්කටා රාජකීය මාලිගයෙන් සොයාගත් බඳුන් ලේබල කැටයමක සඳහන් වේ.[7] ඊජිප්තුවේ දේව ධර්මය අනුව පිරිමි පාරාවෝවරයා හට විවිධ පරම්පරාවල කාන්තාවන් භාර්යාවන් ලෙස පත් කරගෙන රාජකීය උරුමය තහවුරු කරගැනීමට හැකියාව තිබූ බව පෙනේ.[10] හාතොර් දෙවඟන රා දෙවිඳන්ට සම්බන්ධ වන්නේ පළමුව මෑණියන් ලෙසත්, පසුව ඔහු පුරාතන ඊජිප්තු ආගම අනුව ඊජිප්තු දේව සභාවේ ප්‍රමුඛතමයා බවට පත්වූ පසු බිරිය සහ දියණිය ලෙසත් ය.[7] මේ නිසා, සමකාලීන විවාහ මතයන් හා සසඳා බැලීමේ දී IIIවන අමෙන්හොටෙප් සිය දියණියන් දෙදෙනකු සමග විවාහ වීම අසාමාන්‍ය බවක් නොපෙනේ.
IIIවන අමෙන්හොටෙප් විදේශීය කාන්තාවන් කිහිප දෙනකු සමග ද විවාහ වී ඇති බව සඳහන් වේ. ඔවුන් පහත දැක්වේ:
IIIවන අමෙන්හොටෙප්ට සුවිශේෂී ස්ථානයක් හිමිව ඇත්තේ අනෙක් සෑම පාරාවෝවරයකුටම වඩා වැඩිම නිරුපද්‍රිත ප්‍රතිමා සංඛ්‍යාවකට හිමිකම් කීම නිසාවෙනි. ඔහුගේ ප්‍රතිමා 250කට අධික සංඛ්‍යාවක් සොයොගෙන සහ හඳනාගෙන ඇත. මෙම ප්‍රතිමා ඔහුගේ සම්පූර්ණ ජීවිත කාලය පුරමා නිර්මාණය වූ ඒවා බැවින්, මෙය ඔහුගේ රාජ්‍ය සමයේ දිග නිර්ණයට උපකාරී වේ.
IIIවන අමෙන්හොටෙප් සමයේ ඇති තවත් සුවිශේෂීත්වයක් නම් 200නට අධික විශාල අනුස්මරණ ශිලා ස්කැරබ් රූ ය. මේවා සිරියාවේ (රාස් ෂම්රා) සිට නූබියාවේ සොලෙබ් දක්වා වූ විශාල භූගෝලීය ප්‍රදේශයක් තුළ හමු වේ.[14] මේවායේ ඇති දිගැති කැටයම් අක්ෂර මගින් පාරාවෝවරයාගේ සේවාවන් වර්ණනා කොට ඇත. උදාහරණයක් ලෙස, මෙම අනුස්මරණ ස්කැරබ් රූපවලින් 123කම සඳහන් වන්නේ IIIවන අමෙන්හොටෙප් සිය පළමු රාජ්‍ය වර්ෂයේ සිට දසවන වර්ෂය දක්වා කාලය තුළ ඔහු "තමන්ගේම ඊතලවලින්" විද මරාදැමූ සිංහයන් ගණනාවක (කියවීම මත පදනම්ව 102 හෝ 110ක්) තොරතුරු ය.[15] මීට සමානව, වෙනත් ස්කැරබ් රූ පහක දැක්වෙන්නේ ගිලුක්හෙපා නැමැති විදේශ කුමරියක ඔහුගේ භාර්යාව වීමට පරිවාර කාන්තාවන් 317ක් සමග ඊජිප්තුවට පැමිණි බවයි. ඇය පාරාවෝගේ ගෘහය ඇතුළු වූ පළමු විදේශ කුමරියයි.[15]
තවත් ස්කැරබ් රූ එකොළහක ඔහු සිය එකොළොස්වන රාජ්‍ය වර්ෂයේ සිය මහා රාජකීය භාර්යාව වූ ටියේ රැජින වෙනුවෙන් තැනවූ කෘත්‍රිම විලක් පිළිබඳ සඳහන් වේ.
"...හි උතුමාණන්ගේ 11වන රාජ්‍ය වර්ෂයේ ය. තීබ්ස්හි පාලක, ජීවය දුන්, අමෙන්හොටෙප් (III) සහ මහා රාජකීය බිරිඳ ටියේ; ඇය වැජඹේවා; ඇගේ පියාගේ නාමය යුයා ය. ඇගේ මවගේ නාමය ටුයා ය. රාජෝත්තමයාණන් වහන්සේ මහා රාජකීය භාර්යා ටියේ—ඇය වැජඹේවා— වෙනුවෙන් ඩ්ජාකරු (අඛ්මින් අසල) හි ඇගේ නගරයේ විලක් ඉදිකිරීමට නියෝග කළේ ය. එහි දිග 3,700 (රියන්) සහ එහි පළල 700 (රියන්) කි. (රාජෝත්තමයාණන් වහන්සේ) ජලගැලුම් සමයේ තෙවන මාසයේ, දහසයවන දිනයේ විල විවෘත කිරීමේ උත්සවය සැමරී ය. රාජෝත්තමයාණන් වහන්සේ ආටන්-ට්ජෙහෙන් රාජකීය ඔරුවේ නැගී එහි [විලෙහි] යාත්‍රා කළහ."[16]
ඇතැම්විට 6 සහ 12 වැනි වයසක දී, අමෙන්හොටෙප් සිංහාසනාරූඪ කර ඇත්තේ ළමා වියේ බව පෙනේ. ඔහු පාරාවෝ බවට පත් මුල් කාලයේ ඔහු වෙනුවෙන් රාජ්යාධිකාරිවරයකු සිටින්නට ඇතැයි විශ්වාස කෙරේ. ඔහු වසර දෙකකට පසු ටියේ සමග විවාහ විය. ඇය ඔහුගේ මරණින් පසු ද, වර්ෂ දොළහක් ජීවත් වූවා ය. ඔහුගේ දිගු රාජ්‍ය සමය පෙර නොපැවති සමෘද්ධිමත්භාවයකින්, කලාත්මක තේජසකින් සහ අන්තර්ජාතික බලය අතින් හෙබි යුගයක් විය. මේ බවට සාක්ෂි ඇසිරියාව, මිටැනිය, බැබිලෝනියාව සහ හැටි රාජ්‍ය සමග පැවැත්වූ රාජ්‍ය තාන්ත්‍රික ලිපි හුවමාරු මගින් පෙනේ. මේවා අමර්ණ ලිපි තුළින් වටහාගත හැක; මෙම ලිපිවල නිරන්තරයෙන් පාරාවෝවරයාගෙන් සෙසු පාලකයින් රන් සහ ත්‍යාග ඉල්ලා කෙරුණු ඉල්ලීම් දක්නට ලැබෙයි. මෙම ලිපි මගින් IIIවන අමෙන්හොටෙප්ගේ 30 වන වර්ෂයේ සිට අවම වශයෙන් අක්නාටන්ගේ රාජ්‍ය සමයේ අවසානය දක්වා වූ කාල පරිච්ඡේදය ආවරණය වේ. එක්තරා සුප්‍රකට ලිපියක—අමර්ණ ලිපිය EA 4— IIIවන අමෙන්හොටෙප්, පාරාවෝවරයාගේ දියණියකව විවාහ කරගැනීමට බැබිලෝනියානු රජ Iවන කඩාෂ්මන්-එන්ලිල් සිදු කළ ඉල්ලීම දැඩිව ප්‍රතික්ෂේප කර ඇත:
"ඉතා පුරාණ සමයේ සිටම, ඊජි[ප්තු] රජුගේ දියණියක කිසිවකුට ලබා දෙනු නොලැබේ."[17]
සිය දියණියන්ගෙන් අයකු බැබිලෝනියානු රජුට විවාහ කර දීමට IIIවන අමෙන්හොටෙප් ප්‍රතික්ෂේප කිරීමට හේතුව රාජකීය කුමරියක විවාහ කරගැනීමෙන් සිහසුනට උරුමකම් කීමට අයිතියක් ඇති වන ඊජිප්තු සම්ප්‍රදායික ක්‍රමය වන්නට ඇත. නැතහොත් අන්තර්ජාතික ලෝකයේ ඊජිප්තුවේ තත්ත්වය උසස්කොට දැක්වීමට ගත් උත්සාහයක් වන්නට ද ඇත.
මෙම පාරාවෝවරයාගේ යුගය සාපේක්ෂව සාමකාමී, වැදගත් සිදුවීම් රහිත යුගයක් ලෙස පැවසේ. රජු විසින් සිදුකළ යුධ ක්‍රියාන්විතයක් පිළිබඳ ඇති එකම වාර්තාව ඔහුගේ පස්වන රාජ්‍ය වර්ෂයට අයත් අස්වාන් සහ නූබියාවේ සායි අසල තිබූ හමු වූ ශිලා ස්තම්භ ත්‍රිත්වය දැක්විය හැක. IIIවන අමෙන්හොටෙප්ගේ යුධ විජයග්රහණ පිළිබඳ නිල වාර්තාවේ ඔහුගේ වීරත්වය සහ පාරාවෝවරුන්ට පොදු අතතිශයෝක්තිය මැනවින් දැකගත හැක.
"රාජ්‍ය වර්ෂය 5, ජල ගැලුම් ඍතුවේ තෙවන මාසය, දිනය 2. හොරස් උතුමණන් යටතේ දෘශ්‍යමාන වීම: ශක්තිමත් ගවයා, සත්‍යයයෙන් පෙනී සිටින; ද්විත්ව ආර්යාවන්: නීතිය ස්ථාපනය කොට භූමි ද්විත්වය සංසිඳුවන;...ඉහළ සහ පහළ ඊජිප්තුවේ රජ: නෙබ්මාට්රා, රාගේ උරුමකරු; රාගේ පුත්‍ර: [අමෙන්හොටෙප්, තීබ්ස්හි පාලක], දෙවියන්ගේ රජ [අමොන්]-රාගේ ප්‍රිය, සහ මහා ඇල්ලේ අධිපති, ඛ්නුම්, දිවිය දුන්. අයෙක් රාජෝත්තමයාණන් වහන්සේට මෙසේ පැවසීමට පැමිණියේ ය, "නීච කුෂ්හි බිඳවැටුණු තැනැන්තා සිය සිත තුළ කැරැල්ලක් සැලසුම් කරයි." රාජෝත්තමයාණන් වහන්සේ විජයග්‍රහණය කරා මෙහෙයවී ය; ඔහු සිය පළමු ආක්රමණයේ දී ම විජයග්‍රාහීව සම්පූර්ණ කළේ ය. රාජෝත්තමයාණන් වහන්සේ ඔවුන් වෙත ළඟ වූයේ කුරුලුගොයකුගේ පියා පහර මෙනි, මෙන්තු (තීබ්ස්හි යුධ දෙවිඳු) ගේ රූපාන්තරණයක් මෙනි...හමුදාව මැද වූ පුරසාරම් කියවන ඉඛෙනි, සිංහයා තමන් ඉදිරිපිටට පැමිණ සිටින බව දැනසිටියේ නැත. භයානක ඇස් ඇති නෙබ්මාට්රා නැමැති සිංහයා සිය නියවලින් නීච කුෂ් අල්ලාගත්තේ ය. ඔහු සිය සතුරු ප්රධානීන්න් සියලු දෙනාව ඔවුන්ගේම නිම්නයන් තුළදී අල්ලා ගත්තේ ය. අනතුරුව ඒවා රුධිරය මත එකක් මත අනෙක වශයෙන් ගොඩගැසී ය."[18]
IIIවන අමෙන්හොටෙප් විසින් සිය සෙඩ් ජයන්ති උත්සව තුනක් පිළිවෙලින් ඔහුගේ වර්ෂය 30, වර්ෂය 34 සහ වර්ෂය 37 යන දිනවල බටහිර තීබ්ස්හි මල්කටා ග්‍රීෂ්ම සාලිගයේ සමරා තිබේ.[19] මෙම මාලිගය පුරාතන සමයේ පෙර්-හේයි හෙවත් "ප්‍රමුදිත ගෘහය" ලෙස හැඳන්විණි. මෙයට අමුන් දෙවොලක් සහ මෙම අවස්ථාව සඳහා විශේෂයෙන්ම නිර්මිත උත්සව ශාලාවක් ද අන්තර්ගත ය.[19] රජුගේ වඩාත් ජනප්‍රිය විරුදයක් වූයේ ආටන්-ට්ජෙහෙන් යන්නයි. එහි අරුත "දිදුළන හිරු මඬල" යන්නයි. මෙය ලුක්සෝර් දේවස්ථානයේ ඔහුගේ පදවි නාම අතර බහුලව යොදා තිබේ. එසෙම එම විරුදය ඔහුගේ මාලිගා අතුරින් එකක් නාමය ලෙස භාවිත කෙරුණු අතර, 11වන වර්ෂයට අයත් රාජකීය පහුර මෙන්ම අමෙන්හොටෙප්ගේ හමුදාවේ මිනිස් සමාගම හැඳන්වීමට ද භාවිතා කොට තිබේ.[20]
IIIවන අමෙන්හොටෙප්ගේ දිව්‍යමය උපත පිළිබඳ පුරාණෝක්තිය ලුක්සෝර් දේවස්ථානයේ නිරූපණය කොට ඇත. එම පුරාණෝක්තිය අනුව, IIIවන අමෙන්හොටෙප් පිළිසිඳගන්නේ IVවන තුත්මොසිස්ගේ ස්වරූපය ගත් අමුන් දෙවිඳුන් මුටෙම්වියාව මුණගැසීමට යාම නිසායි.[21][22]
IIIවන අමෙන්හොටෙප් සහ ඔහුගේ පුත් අක්නාටන් හවුල් පාලනයක් ගෙනගිය බවට නිශ්චිත සාක්ෂි හමු නොවේ. අමර්ණ මාලිග ලේඛනාගාරයට අයත් ලිපියක් අක්නාටන්ගේ 2වන වර්ෂයට—12වන වර්ෂයට අයත් නොවිය හැක— දින නිර්ණය කොට ඇත. මෙහි මිටැනියානු රජ, ටුෂ්රටා (අමර්ණ ලිපිය EA 27) අක්නාටන්ට පැමිණිලි කරන්නේ සිය දියණිය වූ ටඩුක්හෙපා පාරාවෝගේ ගෘහය වෙත එවීම වෙනුවෙන් දායාදය ලෙස දඹ රනින් නිමකළ ටුෂ්රටා ප්‍රතිමා ලබාදීමට අක්නාටන්ගේ පියා වූ පොරොන්දුව අක්නාටන් ඉටුනොකළ බව පවසමිනි.[23] මෙම ලිපි හුවමාරුව මගින් පෙනෙන්නේ IIIවන අමෙන්හොටෙප් සහ අක්නාටන් අතර හවුල් පාලනයක් පැවතියේ නම එය වසරකට වඩා නොපැවතිය හැකි බවයි.[24] ලෝරන්ස් බර්මන් IIIවන අමෙන්හොටෙප් පිළිබඳ 1998දී ප්‍රකාශිත චරිතාපදානයක මෙසේ දක්වයි:
2014 පෙබරවාරි මස, ඊජිප්තු පුරාවස්තු අමාත්‍යාංශය නිවේදනය කළේ අක්නාටන් සිය පියා වශයෙන් අවම වශයෙන් වසර 8ක් වත් බලය හවුලේ භුක්ති විඳින්නට ඇති බවට 'ස්ථිර සාක්ෂි' හමුවී ඇති බවයි. මේ සඳහා පාදක කරගෙන ඇත්තේ අමෙන්හොටෙප්-හුයි අමාත්‍යවරයාගේ සොහොන්ගැබෙන් හමුවූ සොයාගැනීම් ය.[26][27] මෙම සොහොන්ගැබ Instituto de Estudios del Antiguo Egipto de Madrid ආයතනය මගින් මෙහෙයවන බහු-ජාතික පර්යේෂ කණ්ඩායමක් සහ ආචාර්ය මාටින් වැලන්ටින් විසින් අධ්‍යයනය කෙරෙමින් පවතියි. මෙම සාක්ෂි අතරට, IIIවන අමෙන්හොටෙප්ගේ සහ අක්නාටන්ගේ කාර්ටුෂයන් එක්ව කැටයම් කොට තිබීම දක්වා ඇත. නමුත් මෙමගින් නිගමනය කළ හැක්කේ IIIවන අමෙන්හොටෙප් සිය එකම ජීවත්වූ පුත්‍රයා වන අක්නාටන්ව සිය අනුප්‍රාප්තිකයා ලෙස නම් කර ඇති බවයි. එසේම මෙම රජවරුන් දෙදෙනාගේම රාජ්‍ය වර්ෂ දැක්වෙන කිසිදු වස්තුවක් හෝ ශිලා ලේඛනයක් හමු වී නොමැත.
ඊජිප්තුවේදියකු වන පීටර් ඩෝර්මන් මෙම රජවරුන් දෙදෙනා අතර හවුල් පාලනයක් පැවති බවට වූ තර්කය ප්‍රතික්ෂේප කරන්නේ ඛෙරුඑෆ්ගේ සොහොන්ගැබෙන් හමුවූ පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුවයි.[28]
නූබියාවේ සොලෙබ් දේවස්ථානයේ ඇති බිතු කැටයම් සහ රජුගේ මහා බිරිඳ ටියේගේ ආරක්ෂකයකු වූ ඛෙරුඑෆ්ගේ තීබානු සොහොන්ගැබෙහි අමෙන්හොටෙප් රූපීයව දුබල සහ රෝගී අයුරින් නිරූපණය කොට ඇත.[29] විද්‍යාඥයින් විශ්වාස කරන්නේ ඔහුගේ අවසන් වර්ෂවල ඔහු ආත්රයිටිස් රොගයෙන් පීඩා විඳඇති බවත් තරබාරු වී ඇති බවත් ය. මේ බව ඇතැම් විද්වතුන් විශ්වාස කරන්නේ අමෙන්හොටෙප් මිටැනියෙහි සිය මාමණ්ඩිය වූ ටුෂ්රටාගෙන් සුවපත් කිරීමේ දෙවඟනක වූ නිනෙවේහි ඉෂ්තාර් දෙවඟනගේ ප්‍රතිමාවක් තමන් වෙත එවා සිය දත්වල වූ සැරව ගෙඩිය වැනි වේදනාවන්ගෙන් තමන් සුවපත් කරන ලෙස පවසා තිබීම නිසායි.[30] ඔහුගේ මමියේ වෝහාරික විද්‍යා අධ්‍යයනයකින් පෙනී ගොස් ඇත්තේ ඔහු සිය ගෙවීගිය දත්වල වූ සිදුරු හේතුවෙන් නිරන්තර වේදනාවන්ගෙන් පෙළෙන්නට ඇති බවයි. කෙසේනමුත් විලියම් එල්. මොරාන් විසින් අමර්ණ ලිපිය EA 23හි සිදුකරන ලද මෑතකාලීන විශ්ලේෂණයකින් පෙනී ගොස් ඇත්තේ, දෙවඟනගේ ප්‍රතිමාවක් තීබ්ස් වෙත යැවීමේ සිද්ධිය මෙම මතයට සාක්ෂියක් කර ගත නොහැකි බවයි. මෙම ප්‍රතිමාව ගෙන්වීම සිදුකොට ඇත්තේ පාරාවෝගේ 36වන වර්ෂයේ ටුෂ්රටාගේ දියණිය වූ ටඩුක්හෙපා සහ IIIවන අමෙන්හොටෙප්ගේ විවාහය සිදු වූ සමයේ බවයි. EA 23 ලිපිය ඊජිප්තුව වෙත පැමිණි දිනය ලෙස දක්වා ඇත්තේ "රාජ්‍ය වර්ෂය 36, ශිශිර ඍතුවේ සිව්වන මාසය, දිනය 1" යන දිනයයි.[31] එසේම EA 23 ලිපියෙහි ටුෂ්රටා සඳහන් කරන්නේ ප්‍රතිමාව එවීම යනුවෙන් අදහස් කරන්නේ අමෙන්හොටෙප්ගේ රෝග සුව කිරීම බවයි. නමුත්, ටුෂ්රටා මෙසේ පමණක් ලියා ඇත,
පවසන්නේ ඊජිප්තුවේ රජ, මාගේ සොයුරු, මාගේ බෑනණුවන් වූ, මා ආදරය කරන, මට ආදරය කරන නිම්මුරෙයා [එනම් IIIවන අමෙන්හොටෙප්] හටයි: ඉතින් ටුස්රටා, මිටැනියෙහි රජ, ඔබට ආදරය කරන, ඔබගේ මාමණ්ඩියගෙනි. මම නම් හොඳින් සිටිමි. ඔබගේ ද සියලු කටයුතු හොඳින් සිදු වේවි. ඔබගේ ගෘහයේ සිටින, මාගේ දියණිය, ඔබගේ භාර්යාව, ඔබට ප්‍රිය කරන ටඩු-හෙබා [එනම් ටඩුක්හෙපා]ගේ කටයුතු ද හොඳින් සිදු වේවා! ඔබේ බිරියන්, ඔබගේ පුත්න්, ඔබගේ ප්‍රධානීන්, ඔබගේ යුධ රථ, ඔබේ අශ්වයන්, ඔබේ සේනා, ඔබේ රට සහ ඔබට අයත් සෑම දෙයකම කටයුතු හොඳන් සිදු වේවා!
ඉතින් සියලු බිම්හි උත්තමාවිය, සවුස්කා: "මා පතනවා ඊජිප්තුවට, මා ප්‍රිය කරන රාජ්‍යය වෙත ගොස් නැවත පැමිණීමට." දැන් මම මේ සමග ඇයව එවන්නෙමි. ඇය පිටත් වෙමින් සිටියි. දැන්, මේ කාලයේ පවා මාගේ පියා,...[ඇය] මෙම දේශය කරා පිටත්වූවා ය. ඇය එහි විසූ සමයේ ඔවුහු ඇයට ගරුකළහ. දැන් මාගේ සොයුරා ඇයට පෙරට වඩා 10 වරක් ගෞරව කරනු මැනවි. මාගේ සොයුරා ඇයට ආචාර කරනු මැනවි. [අනතුරුව ඔහුගේ] ප්‍රීතියෙන් යුතුව ඇයට පිටත් වීමට අවසර දී නැවත ඒමට සලස්වනු මැනවි. දෙව්ලොව උත්තමාවිය, සවුස්කා (එනම් ඉෂ්තාර්) අපව, මා සහ මාගේ සොයුරාව වසර 100,000ක් රකීවා! අපගේ උත්තමාවිය අප දෙදෙනාටම ප්‍රීතිය ලබා දෙනු මැනවි. එසේම අපට මිතුරන් ලෙස සිටීමට හැකි වේවා! සොවුස්කා මාගේ පමණක් සුර[ඟන] වී මාගේ සොයුරාට සුර[ඟන] නොවන්නේ මන් ද?[32]
වඩාත් ප්‍රචලිත පැහැදිළි කිරීම නම් ප්‍රතිමාව ඊජිප්තුව වෙත ගෙනගියේ "IIIවන අමෙන්හොටෙප් සහ ටඩුක්හෙපාගේ විවාහයට ආශිර්වාද පැතිරවීමයි. නමුත් ඇයව මීට පෙර IIIවන අමෙන්හොටෙප් සහ ගිලුක්හෙපා වෙනුවෙන් එහි යවා තිබිණි."[33] මොරාන් ලියන්නේ: "දෙවඟනගේ ප්‍රතිමාව සංචාරයට ගෙනයාම පිළිබඳඑක් පැහැදිළි කිරීමක් නම්, ඇයව වියපත් පාරාවෝවරයාගේ ආබාධ සුව කිරීමට රැගෙන ගිය බවකි. නමුත් මෙම පැහැදිළි කිරීම හුදෙක් මතුපිටින් සලකා දක්වා ඇති අතර, ලිපියෙන් ඊට ඉඟියක් නොලැබේ... බොහෝ විට, මින් පෙනෙන්නේ ටුස්රටාගේ දියණියගේ විවාහය හා සම්බන්ධ ගාම්භීරත්වය විය හැක; පෙර චාරිකාව පිළිබඳ 18f පේළිවල සඳහන් කර ඇත. ඇතැම්විට මෙය කෙලු-හෙබා [එනම්, ගිලුක්හෙපා] ගේ විවාහය සම්බන්ධ සිද්ධියක් විය හැකියි...එසේම ඉන් පෙනෙන්නේ සවුස්කා සහ අමන්ගේ සංයෝගයෙන් ටඩු-හෙබා විසින් රජුගේ ආශාවන්ට පිළිතුරු දීමක් විය හැකියි."[34]
ටුෂ්රට්ටා සිය "සොයුරු" IIIවන අමෙන්හොටෙප් වෙත යැවූ EA21 අමර්ණ ලිපියෙහි අන්තර්ගතය මේ බව ප්රබලව සනාථ කරයි. මෙම ලිපි හුවමාරුවේ දී, ටුෂ්රට්ටා පැහැදිළිව මෙසේ පවසයි,
මා විසින්...මාගේ දියණිය [ටඩුක්හෙපා] මා ප්‍රිය මාගේ සොයුරාගේ භාර්යාව ලෙස ලබා දී තිබේ. සිමිගේ සහ සවුස්කා ඇයට පෙර මග යනු මැනවි! ඇයව මාගේ සොයුරාගේ පැතුමේ පිළිබිඹුවක් බවට [පත්] වේවා! මාගේ සොයුරා [එම] දිනයේ සතුටට පත් වේවා! සිමිගේ සහ සවුස්කා ඔවුන්ගේ ම[හා] ආශිර්වාදයත්, උත්කෘෂ්[ඨ] ප්‍රීතියත් මාගේ සොයුරාට ලබා දෙත්වා! ඔහුට ආශිර්වාද කරත්වා එසේම මාගේ සොයුර, ඔබ සදහටම ජීවත්[වේවා!].[35]
IIIවන අමෙන්හොටෙප්ගේ ඉහළම රාජ්‍ය වර්ෂය වර්ෂය 38ට අයත් ය. මෙය මල්කටාහි වයින් බඳුන් ලේබල සටහන්වලින් ලැබේ.[36] ඔහු වාර්තාගත නොවූ 39වන වර්ෂයක වයින් අස්වැන්න නෙළීමට ප්‍රථම කෙටි කාලයක් ජීවත්ව මියගොස් ඇත.[37]
IIIවන අමෙන්හොටෙප්ගේ දේහය රජුන්ගේ නිම්නයේ බටහිර නිම්නයේ, WV22 සොහොන්ගැබෙහි භූමදානය කරන ලදී. තෙවන අන්තර්මධ්‍ය යුගයේ දී ඔහුගේ මමිය KV35හි පැති කුටීරයකට රැගෙන යන ලදී. මෙම කුටිය වෙත දහඅටවන සහ දහනවවන රාජවංශයේ ඇතැම් පාරාවෝවරුන්ගේ මමී ද රැගෙන ගොස් තිබිණි. මෙය අනාවරණය කරගන්නා ලද්දේ 1898දී වික්ටර් ලොරෙට් විසිනි.
ඕස්ට්‍රේලියානු කායික විද්‍යාඥ ග්‍රැෆ්ටන් එලියට ස්මිත් විසින් සිදුකළ පරීක්ෂණයකින් පෙනී ගොස් ඇත්තේ මෙම පාරාවෝවරයා මියයන විට හතළිහ සහ පනහ යන වයස් අතර සීමාවේ පසුවන්නට ඇති බවයි.[38] ඔහුගේ අගබිසව වූ ටියේ රැජින ඔහුගේ මරණින් පසු අවම වශයෙන් වසර දොළහක්වත් ජීවත් වී ඇති බව පෙනේ. එයට හේතුව ඇගේ පුත්‍රයාගේ සමයේ ඇතැම් අමර්ණ ලිපිවල මෙන්ම, ඇගේ පුත්‍රයාගේ 9වන සහ 12වන වර්ෂ අතර නිමැවුණු හුයාගේ සොහොන්ගැබේ ඇය අක්නාටන් සහ රාජකීය පවුල සමග රාත්‍රී භෝජන මේසයක සිටිනු නිරූපණය කර තිබීමයි.[39][40]
පාරාවෝවරයාගේ මරණය අසා විදේශ නායකයන් පවා සිය ශෝකය ප්‍රකාශ කර ඇත. ටුෂ්රට්ටා මෙසේ පවසා ඇත:
මාගේ සොයුරු නිම්මුරෙයාගේ දෛවය විසඳී ඇති බව මට ඇසුණු විට, එදින මම බිම වාඩි වී වැළපුණෙමි. එම දිනයේ මා කිසිදු ආහාරයක් ගත්තේ නැත. ජලය ද පානය කළේ නැත.[41]
IIIවන අමෙන්හොටෙප් මියගියේ, බලය සහ ආධිපත්‍යය අතින් ඉතා උච්චස්ථානයක පැවති රාජ්‍යයක් දායාද කරමිනි. එකල අන්තර්ජාතික ලෝකයේ අති විශාල ගෞරවයක් ඔහුට හිමි විය. කෙසේ නමුත්, ඔහු අමුන් පූජකවරය යටතේ ඊජිප්තුවට එහි සම්ප්‍රදායික දේශපාලන සහ ආගමික පිළිවෙත් උරුම කර තිබිණි.[42]
ඔහුගේ පුත් අක්නාටන් විසින් සිදුකළ ප්‍රතිසංස්කරණ විප්ලවය හේතුවෙන් මෙම පැරණි සම්ප්රදායයන් බිඳහෙළුණු අතර, පැවති සම්ප්රදාය අනුව බලවත්ව සිටි අමුන් පූජකවරුන් සහ ඔවුන්ගේ සිද්ධස්ථානවලට වඩා පාරාවෝවරයා බොහෝ බලවත් වන්නට විය. අක්නාටන් විසින් අගනුරව තීබ්ස් සිට වෙනත් ස්ථානයකට ගෙනගියේ එම බලවත් දේවස්ථානවල බලපෑමෙන් මිදී, සිය තේරීම වූ ආටන් දේව වන්දනාව ප්‍රචලිත කිරීමටයි. අක්නාටන් ඊජිප්තුවේ අගනුවර වර්තමාන අමර්ණ (මුලින් හැඳන්වුණේ අක්ටාටන් යනුවෙනි. එහි අරුත 'ආටන්ගේ ක්ෂිතිජය' යන්නයි) පෙදෙසට ගෙනගිය අතර, ක්‍රමයෙන් අමුන් වන්දනාව යටපත් කළේ ය.[43]
IIIවන අමෙන්හොටෙප්ගේ මාලිගයේ වැදගත් පුද්රලයින් රැසක් විය. ඒ අතර අමාත්‍යවරුන් වූ රාමෝස්, අමෙන්හොටෙප්, අපෙරෙල් සහ ප්ටාහ්මෝස් වැන්නවුන් විය. ඔවුන් වඩාත් ප්‍රකට වූයේ තීබ්ස්හි රාමෝස්ගේ සොහොන්ගැබ ඇතුළු ස්මාරක ගණනාව නිසා ය. භාණ්ඩාගාරිකයන් ලෙස වෙනත් ප්ටාහ්මෝස් කෙනකු සහ මෙරිරේ ද විය. ප්‍රධාන ආරක්ෂකයන් වූයේ අමනෙම්හාට් සුරර් සහ අමෙන්හොටෙප් (හුයි) යන පුද්ගලයින් ය. කුෂ්හි ප්රතිරාජයා ලෙස මෙරිමෝස් කටයුතු කළේ ය. ඔහු නූබියාවේ දී, රජුගේ යුධ ව්‍යාපාරවල ප්‍රධානියකු විය. ඇතැම්විට රජුගේ වඩාත් ප්‍රකට නිලධාරියා ලෙස හාපුගේ පුත්, අමෙන්හොටෙප් සැලකේ. ඔහුට කිසිදින උසස් තනතුරු හිමිනොවූවත්, පසුකලෙක දේවත්වයට පත්කොට වන්දනාමාන කෙරිණි. ඔහු රජුගේ ඇතැම් ප්‍රධාන දේවස්ථානවල වාස්තු විද්‍යාඥයා වේ.[44] රජු යටතේ වූ අමුන් පූජකවරුන් අතර, රජුගේ මස්සිනා වූ අනෙන් සහ සිමුට් යන අය ද විය.
IIIවන අමෙන්හොටෙප් රජු කාර්නැක්හි දේවස්ථානය පුළුල් කළ අතර, ලුක්සෝර් දේවස්ථානය ඉදිකළේ ය. මෙම දේවස්ථානය අටලු දෙකකින් සමන්විත වූ අතර, නව දේවස්ථාන ප්‍රවේශයට පිටුපසින් ස්තම්භාවලියක් ඉදිකළේ ය. එසේම මා'අට් දෙවඟනට නව දේවස්ථානයක් ඉදිවීම ද සිදු විය. තෙවන අටලුව නම් වූ නව අටලුවක් ඉදි කිරීමට IIIවන අමෙන්හොටෙප් කාර්නැක්හි අමුන් දේවස්ථානයේ සිව්වන අටලුව ගලවා ඉවත් කළේ ය. මෙම ව්‍යූහයට ඔහු නව ප්‍රවේශ මාර්ගයක් තැනවූ අතර, නව අංගණයේ මධ්‍යයට පහළින් "විවෘත පැපිරස් කුළුණු හිස් සහිත ස්තම්භ පේළි දෙකක්" ඉදිකළේ ය.[45] ඊජිප්තුවේ තෙවන සහ සිව්වන අටලුව අතර අංගණය ඇතැම්විට ඔබලිස්ක අංගණයක් ලෙස හඳන්වයි. මෙය අමුන්, මුට් සහ ඛොන්සු දෙවිවරුන්ගේ පූජනීය ඔරු, අවමංගල බෝට්ටු මත නංවාගෙන අයුරු නිරූපිත රූ වලින් විසිතුරු කොට ඇත.[46] එසේම රජු විසින් එහි අමුන් දේවස්ථානයේ දසවන අටලුවේ වැඩ කටයුතු ද ආරම්භ කළේ ය. රජු ලෙස IIIවන අමේනහොටෙප්ගේ ප්‍රථම වාර්තාගත කාර්යය වන්නේ ඔහුගේ 1 හා 2වන වර්ෂවල කයිරෝවට මඳක් දකුණින් පිහිටි ටුරා සහ මධ්‍ය ඊජිප්තුවේ ඩේර් අල්-බර්ෂා යන ප්‍රදේශවල නව හුනුගල් වැඩපළවල් ආරම්භ කිරීමයි. මෙය ඔහුගේ මහා ගෘහනිර්මාණ කටයුතු සඳහා අධාර වන්නට ඇත.[47] එසේම ඔහු විසින් ලුක්සෝර්හි මා'අට් දේවතාවා සඳහා නව දෙවොලක් ද, නූබියාවේ ස්මාරක ගණනාවක් ද ඉදිකරන ලදී.
"...මේ අතරට එලිෆන්ටයින්හි ඉදි කළ ස්තම්භාවලියක් (IIIවන තුත්මෝස් වෙනුවෙන් පුද කළ)වැඩි එස්-සෙබුවාම්හි අමුන් 'මාර්ගයන්ට අධිපති' වෙනුවෙන් ඉදිකළ ශෛලමය දෙවොල, අනිබාහි මියාම් පෙදෙසේ ඉදිකළ හොරස් දේවස්ථානය ද අයත් ය...[එසේම] කවා සහ සෙසෙබි ස්ථානවල නව දේවස්ථානයන් [ඇරඹීම] ද සිදු විය."[48]
නයිල්හි බටහිර ඉවුරේ පිහිටා තිබූ ඔහුගේ දැවැන්ත මතකාගාර දේවස්ථානය එකල තීබ්ස්හි පිහිටා තිබූ විශාලතම ආගමික ගොඩනැගිලි සංකීර්ණය විය. නමුත් රජු විසින් එය ඉදිකිරීමට තෝරාගත් භූමිය පිටාර තැන්නට ආසන්නව පිහිටීම නිසා එය සියවස් දෙකකට අඩු කාලයක දී නටබුන් වන්නට විය. මෙහි වූ බොහෝ ශෛගමය නිර්මාණ මෙර්නෙප්ටාහ් සහ පසුකාලීන පාරාවෝවරුන් සිය ඉදිකිරීම් කටයුතු සඳහා භාවිතා කර තිබේ.[49] මෙම්නන්හි දැවැන්ත ප්‍රතිමා යනුවෙන් හැඳින්වෙන් දැවැන්ත ශෛලමය ප්‍රතිමා ද්විත්වය මීටර දහඅටක් උසැති විය. අමෙන්හොටෙප්ගේ මෙම ප්‍රතිමා ඔහුගේ මතාකාගාර දේවස්ථානයට ඇතුළු වන ස්ථානය දෙපස පිහිටියේ ය. මෙම ප්‍රතිමා ද්විත්වය මෙම දේවස්ථාන සංකීර්ණයේ ස්ථාවරව පවත්නා එකම නිර්මාණයයි. මීට අමතරව IIIවන අමේනහොටෙප් විසින් කාර්නැක්හි තෙවන අටලුව ඉදිකළ අතර, කාර්නැක්හි දකුණින් වූ මුට් දෙවොලේ සෙඛ්මෙට් දෙවඟප්රතිමා 600ක් පිහිටුවාලී ය.[50] ඊජිප්තුවේ නව රාජධානි යුගයේ වඩාත් විශිෂ්ටතම නිර්මාණ සමහරක් ඔහුගේ යුගයට අයත් ඒවා ය. මේ අතර "නූබියාවේ සොලේබ් දේවස්ථානය ඉදිරිපිට මුලින් පිහිටවා තිබූ විශිෂ්ට රෝස ග්‍රැනයිට් සිංහ රූ" මෙන්ම රාජකීය ප්‍රතිමා ගණනාවක් ද අයත් වේ.[51] මෙම්නන් ප්රතිමාවලට පිටුපසින් සිදු කළ කැනීම්වලින් සහ ඩෙල්ටාවේ ටැනිස් ප්‍රදේශයෙන් නෙමෙස් ශීර්ෂාවරණය පැළඳ සිටින අමෙන්හොටෙප්ගේ අලංකෘත හිඳි කළු ග්‍රැනයිට් ප්‍රතිමා හමු වී ඇත.[51] 2014දී, ක්‍රි.පූ. 1,200දී භූමිකම්පාවක් හේතුවෙන් ඇද වැටී කැබලි 200කට අධික සංඛාවකට කැඩී තිබූ IIIවන අමෙන්හොටෙප්ගේ දැවැන්ත ප්‍රතිමා යුගලක්, ප්‍රතිසංස්කරණය කොට රජුගේ මතකාගාර දේවස්ථානයේ උතුරු දොරටුව අසල පිහිටුවන ලදී.[52][53]
ඔහුගේ සමයයට අයත් වැදගත් ප්‍රතිමා සොයාගැනීමක් 1989දී IIIවන අමෙන්හොටෙප්ගේ ලුක්සෝර් දේවස්ථානයේ ස්තම්භාවලි අංගණය අසලින් සිදුවිය. එහි ප්‍රතිමා ගබඩාවක් පැවති අතර, මේ අතර අඩි 6ක් (මීටර් 1.8) උසැති ද්විත්ව කිරුළ පැළඳි රෝස ක්වාට්සයිට් රජ ප්‍රතිමාවක් ද විය. මෙය ඉතා අනර්ඝ තත්ත්වයෙන් පැවතිණි.[51] මෙය ආසනයක නංවා තිබූ හෙයින් ඇතැම්විට වන්දනා ප්‍රතිමාවක් වන්නට ඇතැයි සැලකේ.[51] මෙයට සිදු වී තිබූ එකම හානිය නම්, පාරාවෝවරයාගේ කාර්ටුෂයෙහි වූ අමුන් දෙවියන්ගේ නාමය විකෘති කර තිබීමයි. මෙය ඔහුගේ අනුප්‍රාප්තික අක්නාටන්ගේ සමයේ සිදු වන්නට ඇතැයි විශ්වාස කෙරේ.[51]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.