From Wikipedia, the free encyclopedia
ධර්මාශෝක විද්‍යාලය, ශ්‍රී ලංකාවේ අම්බලන්ගොඩ නගරයේ පිහිටා ඇති කීර්තිමත් මිශ්‍ර පාසලකි. වර්ෂ 1913 දී ආරම්භ කරන ලද මෙම පාසල සියවසකට ආසන්න කාලයක් මුළුල්ලේ විවිධ ක්ෂේත්රයන්හි විශිෂ්ටතමයින් බිහි කරමින් දකුණු ලක අධ්‍යාපන අඹරෙහි පහන් තරුව ලෙස බැබලෙයි. සිංහල, බෞද්ධ රජයේ විද්‍යාලයක් වන මෙහි ප්‍රාථමික හා ජ්‍යේෂ්ඨ වශයෙන් වෙන් වෙන් ව ආසන්නයේ පවතින අංශ ද්විත්වයක් වේ. මෙහි වර්තමානයේ සිසු සිසුවියන් 6000 ක් පමණ අධ්‍යාපනය ලබන අතර ගුරු මණ්ඩලය හා කාර්ය මණ්ඩලය 250 කින් පමණ සමන්විත වේ.
ආදර්ශ පාඨය | විද්‍යා දදාති විනයං (සංස්කෘත ශ්ලෝකයක[1] පාඨයකි.. අර්ථය: "ඉගෙනීමෙන් හික්මීම ලැබේ") |
---|---|
පිහිටුවන ලද්දේ | 1913 |
වර්ගය | ජාතික පාසලකි |
ආගමික අනුබද්ධ කිරීම | බෞද්ධ |
විද්‍යාලයාධිපති | කේ. ඒ. ඩී. කරුණාරත්න මහතා |
පිහිටීම | අම්බලන්ගොඩ, ශ්‍රී ලංකාව |
වර්ණ | නිල් සහ රීදිමය අලු |
වෙබ් පිටුව | http://www.dharmasoka.sch.lk |
20 වන සියවස ආරම්භයේ දී අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවතියේ වෙස්ලියන් මිෂනාරී සමාගමේ අයිතිය යටතේ රන්දොඹේ පැරණි වෙස්ලියන් මීසමට අයත් කතෝලික පල්ලිය ආශ්රිත ව පවත්වා ගෙන ගිය පාසලකි. ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පියා යන විරුධාවලිය ලත් සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මහතා මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ එම පාසලෙන් ය. එම පාසල හරහා බෞද්ධාගමිකයින් අන්‍යාගමීකරණය වන බව වටහා ගැනීම නිසා ප්‍රදේශයේ ප්‍රභූ පිරිසක් එක්ව 1887 ජනවාරි මස 19 දින පිහිටුවා ගත් සුගත ශාසනෝදය සමාගම මගින්, විද්‍යාලංකාර බෞද්ධ පිරිමි පාසල නමින් සිංහල පාසලක් ද, 1894 දී Buddhist English School නමින් ඉංග්‍රීසි පාසලක් ද ආරම්භ කර ඇත.
වෙස්ලියන් මීසමට අයත් ඉංග්‍රීසි පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා පසු ව ගාල්ල රිච්මන්ඩ් හා කොළඹ වෙස්ලි විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ සන්තියාගු තෝමස් ද සිල්වා මහතා වෘත්තියෙන් භාෂා පරිවර්තකයෙකි. ඔහු විවාහ වී සිටියේ කොළඹ විශාඛා විද්‍යාලයේ නිර්මාතෘවරයා වූ පානදුර ජේරමියෙස් ඩයස් මැතිඳුන්ගේ දියණියක සමග ය. එබැවින් ඔහුගේ ද සිත පාසල් අධ්‍යාපනය නගා සිටුවීම කෙරෙහි නැඹුරු වන්නට ඇත. ධර්මාශෝක විද්‍යාලයේ ආදි කර්තෘවරයා වන ඔහු පාසලේ උන්නතිය වෙනුවෙන් සිය පෞද්ගලික ධනය වැය කළ අතර පසු කාලයේ දී ඒ වෙනුවෙන් තම රබර් වතු විකුණූ බව ත්, හිතවතුන්ගෙන් මුදල් ණයට ගත් බව ත් සඳහන් වේ. හෙතෙම 1910 පමණ කාලයේ දී රජයේ සේවයෙන් විශ්‍රාම ගෙන අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචියට පැමිණීම ත් සමග ධර්මාශෝක විද්‍යාලය ආරම්භ වීමේ මූලික පසුබිම සකස් විය.
1913 වර්ෂයේ දී අම්බලන්ගොඩ දුම්රියපල අසල නිවසක සිසුන් 15 දෙනෙකුගෙන් නව ඉංග්‍රීසි පාසලක් ඇරඹීමට තෝමස් ද සිල්වා මහතා කටයුතු කළේ ය. සසුන්ගත ව සිටි එතුමාගේ සොහොයුරෙකු වූ විලේගොඩ ධීරක්ඛන්ධ හිමියන් විසින් එම පාසල ධර්මාශෝක විද්‍යාලය නමින් නම් කරන ලද බව සඳහන් වේ. ප්‍රදේශයේ ධනවතකු මෙන් ම ජනප්‍රිය ප්‍රභූවරයකු ද වූ නිසා තෝමස් ද සිල්වා මහතාගේ පාසල ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇත.
ආරම්භයේ දී පිරිමි පාසලක් වූ මෙය සිංහල මාධ්‍යයෙන් ප්‍රාථමික අධ්‍යාපනය හදාරා එන සිසුන් සඳහා වූවකි. සිසුන්ගෙන් පාසලට මුදල් අය කර ඇති බව සඳහන් වේ.
බුඩිස්ට් ඉංග්ලිෂ් ස්කූල් හා තරගකාරී ව පවත්වා ගෙන යන ලද ධර්මාශෝක විද්‍යාලයට වෙනත් පාසල්වල ඉගෙනුම ලැබූ සිසුහු ද එක් වන්නට වූහ. ඉන් අනතුරු ව, එකල ලියනගේ වලව්වට අයත් ව තිබූ සොහොන් භූමියක් ව පැවති, නව ගාලු පාර සහ විද්‍යාල මාවත අසල වර්තමානයේ පාසල පිහිටා ඇති භූමියට ධර්මාශෝක විද්‍යාලය ගෙන එන ලදී. මෙම නව පාසල රජයේ ලියාපදිංචි කර ගැනීමට නොහැකි වීම ත්, ප්‍රදේශයේ තරගකාරී ව පාසල් දෙකක් පවත්වාගෙන යාමෙන් කිසිවකුට අර්ථයක් සිදු නොවන බවට පාසල් පරීක්ෂකවරයෙකු උපදෙසක් ලබා දීමත්, නව භූමිභාගයට ගෙන ආ ධර්මාශෝක විද්‍යාලයට පාසල් දෙක අතර තරගයෙන් වැඩි වාසි හිමි වීමත් නිසා 1914 පෙබරවාරි මස 2 දින පාසල් දෙක ඒකාබද්ධ කොට ධර්මාශෝක විද්‍යාලය නමින් ම ක්‍රියාත්මක කිරීම අරඹා ඇත.
ආරම්භයේ දී ධර්මාශෝක විද්‍යාලයේ අයිතිකරු, කළමනාකරු සහ විදුහල්පති වශයෙන් තෝමස් ද සිල්වා මහතා කටයුතු කර ඇත. බුඩිස්ටි ඉංග්ලිෂ් ස්කූල් හි ප්රධානාචාර්යවරයා වූ එන්. බී. වික්‍රමසූරිය මහතා ධර්මාශෝක විද්‍යාලයේ ද ප්රධානාචාර්යවරයා ලෙස පත් කර ඇත. නමුත් පාසලේ පරිපාලනය භාරව පැවතී ඇත්තේ විදුහල්පතිවරයා වූ තෝමස් ද සිල්වා මහතාට ය. එන්. බී. වික්‍රමසූරිය මහතාගේ නම පාසලේ විදුහල්පතිවරයකු ලෙස සඳහන් නොවන්නේ එහෙයිනි. 1917 දී වික්‍රමසූරිය මහතා පාසලෙන් ඉවත් ව යාමෙන් පසු ව තෝමස් ද සිල්වා මහතා ද විදුහල්පති ධුරයෙන් ඉවත් ව මිය යන තෙක් ම අයිතිකරු සහ කළමනාකරු ලෙස පමණක් කටයුතු කර ඇත. එම කාලයේ දී විටින් විට පත් වී ආ පුද්ගලයින් පාසලේ විදුහල්පති ධූරය දරා ඇත. (විද්‍යාලයාධිපතිවරු බලන්න)
තෝමස් ද සිල්වා මහතාගේ අභාවයෙන් පසු ව පාසලේ අයිතිය අම්බලන්ගොඩ සුගත ශාසනෝදය සමිතිය යටතට පත් වූ අතර පාසලේ පරිපාලනය කළමණාකරුවකු යටතේ සිදු විය. 1961 දී ධර්මාශෝක විද්‍යාලය සිය කැමැත්තෙන් ම රජයට පවරා දෙන තෙක් කළමනාකරුවන් 6 දෙනෙකු විසින් පාසල පාලනය කරනු ලැබ ඇත.
කළමනාකරු | වැදගත් තොරතුරු | |
---|---|---|
1 | මුදලිඳු එස්. තෝමස් ද සිල්වා මහතා | 1913 සිට 1929 අප්‍රේල් 10 දින වන තුරු කළමනාකරු ලෙස කටයුතු කළේය. |
2 | ඩබ්. ජේ. ප්‍රනාන්දු මහතා | |
3 | ජේ. පී. එස්. ද සිල්වා මහතා | වෘත්තීයෙන් නීතීඥයෙකි |
4 | ජී. සී. ටී. ඒ. ද සිල්වා මහතා | නීතීඥයෙකි. පසුකලෙක ලංකාවේ අධිකරණ අමාත්‍ය ධූරය හෙබවූවේ ය. |
5 | පී. ද. එස්. කුලරත්න මහතා | කළමණාකාර ධුරයට පත් වීමට පෙර කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළේ ය. පසු කලක අම්බලන්ගොඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙසට ද තේරී පත් විය. |
6 | එම්. එච්. සද්ධාසේන මහතා | වෘත්තියෙන් වෛද්‍යවරයෙකි. පසු කලක අම්බලන්ගොඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙසට ද තේරී පත් විය. |
7 | එල්. සී. ද සිල්වා මහතා | වතු හිමියකු හා ව්‍යාපාරිකයකු විය. පසු කලක බලපිටිය හා අම්බලන්ගොඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙසට ද තේරී පත් විය. |
පාසලේ ප්‍රාථමික අංශය මුල් කාලයේ දී පවත්වා ඇත්තේ ජ්‍යේෂ්ඨ අංශය සමග එක ම ස්ථානයක ය. ඩී. ටී. විජේරත්න විදුහල්පතිතුමාගේ කාලයේ එය වෙන ම අංශයක් බවට බෙදා වෙන් තරන ලදී. 1972 වසර වන විට 8 වන ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන කණිෂ්ඨ විද්‍යාලයක් බවට ප්‍රාථමික විද්‍යාලය පත් විය. 1975 දී නැවත පාසල් දෙක ඒකාබද්ධ කොට විදුහල්පතිවරයා යටතට පත් කෙරිණ. 1982 දී ක්‍රියාත්මක වූ ප්‍රාථමික අංශය අහෝසි කිරීමේ වැඩ පිළිවෙළ යටතේ 1 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම අත්හිටවූ අතර ඒ අනුව 1987 වන විට ප්‍රාථමික අංශය වැසී ගියේ ය. 1990 දී එක ශ්‍රේණියකට පන්ති තුනක් වශයෙන් යළි එය ආරම්භ වූ අතර 1996 දී අය පන්ති 6 දක්වා වැඩි කරන ලදී. වර්තමානය වන විට 1 සිට 8 ශ්‍රේණිය දක්වා පන්ති ප්‍රාථමික අංශයේ පැවැත්වේ. එය පාසලේ සහකාර විදුහල්පතිවරයකු විසින් පාලනය කරනු ලබයි.
විද්‍යාලයාධිපති | කාලය | වැදගත් තොරතුරු | |
---|---|---|---|
1 | මුදළිඳු එස්. තෝමස් ද සිල්වා මහතා | 1913 - 1917 | |
2 | අබේසීල ගිනිගේ මහතා | 1917 - 1921 | පසු කාලයේ දී පානදුර සුමංගල විද්‍යාලයේ විදුහල්පති ධූරය දැරුවේ ය. අනතුරු ව විශ්වවිද්‍යාල කොලීජියේ භූගෝල විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයකු විය. |
3 | ජේ. ආර්. නැතෑනියෙල්ස් මහතා | 1921 - 1923 | ඉන්දියානු ජාතික ද්‍රවිඩ විදුහල්පතිවරයෙකි. ධර්මාශෝක විදුහල් ඉතිහාසයේ විදුහල්පති ධූරය දැරූ එකම විජාතිකයා මොහු ය. |
4 | ජී. එම්. ද සිල්වා මහතා | 1923 - 1927 | නීතීඥයකු සහ මහේස්ත්‍රාත්වරයකු ලෙස කටයුතු කර පසු ව නීති විද්‍යාලයේ විදුහල්පති ධූරය හොබවා ඇත. |
5 | ඊ. ඒ. විජේසූරිය මහතා | 1928 - 1933 | |
6 | එෆ්. ආර්. ජයසූරිය මහතා | 1934 - 1936 | පසු කාලයේ දී ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය ධුරයක් දැරූ මහාචාර්යවරයෙකි. |
7 | ඩී. ටී. විජේරත්න මහතා | 1936 - 1947 | පාසලේ දෙවරක් විදුහල්පති ධුරය හෙබවූ එක ම විදුහල්පතිවරයා ය. |
8 | පී. ද එස්. ජසෙන්තුලියන මහතා | 1948 - 1953 | පාසලේ විදුහල්පති ධූරය හෙබවූ ප්‍රථම ආදිශිෂ්‍යයා ය. විදුහල්පති ධූරයට පත් වීමට පෙර ධර්මාශෝක විද්‍යාලයේ ම ගුරුවරයෙක් ලෙස කටයුතු කළේ ය. ඒ අනුව පාසලේ ගුරුවරයෙකු විදුහල්පති තතතුරට පත් වූ ප්‍රථම අවස්ථාව ද මෙය යි. |
9 | ඩී. ටී. විජේරත්න මහතා | 1954 - 1960 | දෙවන වර පත්වීම. මුල් ධුර කාලයෙන් පසු කොළඹ සහිරා විද්‍යාලයේ උප විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කර ඇත. |
10 | කේ. කේ. වී. එස්. ද සිල්වා මහතා | 1961 - 1965 | පාසලේ ආදි ශිෂ්‍යයෙකි. විදුහල්පති ධුරය හෙබවූ ප්‍රථම විද්‍යා උපාධිධරයා ය. අධ්‍යාපන අධ්‍යක්ෂකවරයකු ලෙස විශ්‍රාම ගත්තේ ය. |
11 | එම්. ඩී. විමලසූරිය මහතා | 1965 - 1975 | පාසලේ ආදි ශිෂ්‍යයෙකි. විදුහල්පති ධූරයට පත් වීමට පෙර ධර්මාශෝක විද්‍යාලයේ ම ගුරුවරයෙකු ලෙස ත්, උප විදුහල්පතිවරයකු ලෙස ත්, ඉන් පසු ව බටපොල මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස ත් සෙවය කළේ ය. තේරීම් ශ්‍රේණියේ විදුහල්පතිවරයකු ලෙස උසස්වීමක් ලබා පසු ව විශ්‍රාම ගියේ ය. එම්. ඩී. විමලසුරිය යුගය විද්‍යාලයේ ස්වර්ණමය යුගය ලෙස සැලකේ . |
12 | එන්. ඊ. ප්‍රනාන්දු මහතා | 1976 - 1980 | විදුහල්පති ධුරය දැරීමට පෙර බලපිටිය ගුරු විද්‍යාලයේ විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කළේ ය. විදේශ රැකියාවක් සඳහා විදුහලෙන් ඉවත් වී ගිය ඔහු පසු ව පස්දුන්රට විද්‍යා පීඨයෙහි උප විදුහල්පතිලෙසට කටයුතු කරමින් සිටිය දී අභාවප්‍රාප්ත වූවේ ය. |
13 | ජී. ඩබ්. විල්ෆ්රඩ් ද සිල්වා මහතා | 1980 - 1982 | පාසලේ ආදි ශිෂ්‍යයෙකි. ධර්මාශෝක විදුහලේ ගුරුවරයෙක් ලෙස ද අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති ලෙස ද කටයුතු කොට ඇත. පසු ව ප්‍රධාන අධ්‍යාපන නිලධාරියකු ලෙස විශ්‍රාම ගියේ ය. |
14 | බී. එච්. එච්. විමලදාස මහතා | 1982 - 1984 | විදුහල්පති ධූරයෙන් පසු ව අධ්‍යාපන අධ්යක්ෂවරයකු ලෙස විශ්‍රාම යන තෙක් සේවය කළේ ය. |
15 | එච්. එස්. එන්. කේ. ප්‍රනාන්දු මහතා | 1984 - 1986 | පාසලේ ආදි ශිෂ්‍යයෙකි. පසු ව පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ විදුහල්පති ලෙස පත් වූ අතර නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂවරයකු හා කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයකු ලෙස ද සේවය කළේ ය. |
16 | ඒ. ජී. අයි. ද සිල්වා මහතා | 1987 - 1998 | පාසලේ ආදි ශිෂ්‍යයෙකි. දෙවරක් ම විදුහලේ ගුරුවරයකු ලෙස සේවය කර ඇත. පසු ව මාණ්ඩලික අධ්‍යාපන නිලධාරියකු ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ත් බටපොල මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ලෙස ත් සේවය කර ඇත. |
17 | එම්. ප්‍රේමසීල ද සිල්වා මහතා | 1999 - 2001 | විදුහලේ ආදි ශිෂ්‍යයෙකි. ධර්මාශෝකයේ ම ගුරුවරයකු හා නියෝජ්‍ය විදුහල්පතිවරයකු ලෙස සේවය කර ඇත. විදුහල්පති ධූරයට පැමිණීමට පෙර හික්කඩුව මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ලෙස කටයුතු කර ඇත. 2001 දී අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂවරයකු ලෙස පත් වූවේ ය. |
18 | ඩී. එම්. ජී. ඒ. ජයලත් ද සිල්වා මහතා | 2002 - 2004 | පාසලේ ආදි ශීෂ්‍යයෙකි. බලපිටිය ගුරු විදුහලේ උප විදුහල්පතිවරයකු ලෙස සේවය කර ඇත. |
18 | කේ. එම්. ජී. බී. ජයසූරිය මහතා | 2004 - 2006 | |
19 | එස්. ජේ. පී. විජේසිංහ මහතා | 2006 - 2010 | ධර්මාශෝකයට විදුහල්පතිවරයා වශයෙන් පැමිණීමට පෙර මොරටුව වේල්ස් කුමර විදුහලේ විදුහල්පති ධුරය දැරුවේය. |
20 | එම්. ජී. ඕ. පී. පණ්ඩිතරත්න මහතා | 2010 - 2013 | ධර්මාශෝක විද්‍යාලයේ විදුහල්පති ධුරය දැරීමෙන් අනතුරුව කොළඹ ලුම්බිණි විද්‍යාලයේ විදුහල්පතිවරයා වශයෙන් පත්වීමක් ලැබුවේය. |
21 | සුමිත් පරාක්රමවංස මහතා | 2013 - 2016 | පාසලේ ආදි ශීෂ්‍යයෙකි. ධර්මාශෝකයේම ගුරුවරයකු ලෙස සේවය කර පසුව දකුණු පළාත් සහකාර අධ්‍යාපන අධ්යක්ෂ තනතුර දැරුවේය. ධර්මාශෝක විද්‍යාලයේ විදුහල්පති ධුරය දැරීමෙන් අනතුරුව දකුණු පලාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂවරයා වශයෙන් පත්මවීමක් ලැබුවේය. |
22 | හසිත කේසර වෙත්තිමුණි මහතා | 2016 - 2021 | ධර්මාශෝක විද්‍යාලයේ විදුහල්පති ධුරය දැරීමෙන් අනතුරුව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ධුරයකට පත්වීමක් ලැබුවේය. |
23 | සනූූජා ජයවික්‍රම මහත්මිය | 2021 - 2024 | ධර්මාශෝකයට විදුහල්පතිවරිය වශයෙන් පැමිණීමට පෙර අම්බලන්ගොඩ ප්‍රජාපතී ගෝතමී බාලිකා විද්‍යාලයේ විදුහල්පතිවරිය ලෙස ද අම්බලන්ගොඩ කලාප අධයාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂවරියක ලෙස ද කටයුතු කර ඇත. |
24 | කේ. ඒ. ඩී. කරුණාරත්න මහතා | 2024 - වර්තමාන | ධර්මාශෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ධර්මාශෝකයට විදුහල්පතිවරයා වශයෙන් පැමිණීමට පෙර ගුරු වෘත්තියේ ත්, විදුහල්පති ධුරයේ ත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ පරිපාලන නිලධාරියෙකු ලෙස ත් තනතුරු හොබවා ඇත. |
මීට අමතර ව එක් විදුහල්පතිවරයකු ඉවත් වී ගොස් නැවත විදුහල්පතිවරයකු පාසලට පත් වී එන අතර කාලය තුළ පාසල පාලනය කළ වැඩ බලන විදුහල්පතිවරු කිහිපදෙනෙකුද ධර්මාශෝක ඉතිහාසයේ හමුවේ.
පාසල ආරම්භ කළ මුල් කාලයේ දී එය පිරිමි පාසලක් වශයෙන් ක්‍රියාත්මක වී ඇත. පසු ව ඉහළ පන්ති සඳහා ශිෂ්‍යාවන් කිහිප දෙනෙකු ඇතුලත් කර ගෙන ඇති අතර ප්‍රාථමික අංශයේ ශිෂ්‍යාවන්ට 6 වන ශ්‍රේණියෙන් පසු ජ්‍යේෂ්ඨ අංශයට ඇතුලත් වීමේ අවස්ථාව ලබා දී නොමැත. 1953න් පසු ව ප්‍රාථමික අංශයේ සියලු ම ශිෂ්‍යාවන් ජ්‍යේෂ්ඨ අංශයට ඇතුලත් කර ගත්තද 1954 දක්වා ශිෂයාවන්ගේ පන්ති වෙනම පවත්වා ඇත. පසු ව ඒවා ද ශිෂ්යයනගේ පන්ති සමග සම්මිශ්‍රණය කර ඇති බව සඳහන් වේ. නමුත් 1981 දී යළිත් ශිෂ්‍යාවන් වෙන ම පන්තිවලට ඇතුලත් කිරීම අරඹා ඇත. 1983න් පසු ව යළි ශිෂ්‍යයන් සහ ශිෂ්‍යාවන් එකම පන්තිවලට යෙදීමට තීරණය කර ඇත.
1 සිට 5 ශ්‍රේණිය දක්වා පන්තිවල 1 ශ්‍රේණියකට A,B,C,D,E,F වශයෙන් පන්ති 6 ක් ඇත. ප්‍රදේශයේ පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වන සිසුන්ගේ ප්රමුඛ ඉල්ලීම ධර්මාශෝක විද්‍යාලය වන බැවින් 6 ශ්‍රේණිය සඳහා වැඩි ශිෂ්‍ය ප්‍රමාණයක් ඇතුලත් කර ගනු ලබයි. ඒ අනුව 6 සිට 11 ශ්‍රේණි දක්වා A සිට K වශයෙන් (I හැර) පන්ති 10 ක් ඇත. උසස්පෙළ අංශය විද්‍යා, ගණිත, වාණිජ සහ කලා අංශවලින් ක්‍රියාත්මක වේ. වර්තමානය වන විට 12, 13 ශ්‍රේණිවල එක් ශ්‍රේණියක් සඳහා A සිට M දක්වා පන්ති පැවැත්වේ. උසස්පෙළ ගණිත සහ විද්‍යා අංශවලට වෙනත් පාසල්වලින් පැමිණෙන සිසුන් ඇතුලත් කර නොගන්නා නමුත් වාණිජ සහ කලා අංශවලට සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු සිසුන් ඇතුලත් කර ගනී.
විදුහලේ ආරම්භක අවස්ථාවේ දී සිසුන් 15 ක් පමණ අධ්‍යාපනය ලැබූ බව සැලකේ. 1914 දී බුඩිස්ට් ඉංග්ලිෂ් ස්කූල් හා ඒකාබද්ධ කිරීමෙන් ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි වන්නට ඇත. වර්තමානය වන විට සිසු සිසුවියෝ 6000කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යාපනය ලබති. ආරම්භක ගුරු මණ්ඩලය ගුරුවරු දෙතුන් දෙනෙකුගෙන් සමන්විත වන්නට ඇතැයි සැලකේ. අද වන විට 200කට ආසන්න අධ්‍යයන කාර්ය මණ්ඩලයක් ධර්මාශෝක විද්‍යාලයීය දුවාදරුවන්ගේ නැණස පෑදීමට දායක වෙයි.
මීට අමතර ව විද්‍යාලය අනධ්‍යයන කාර්ය මණ්ඩලයක සේවය ද ලබයි. එය පාසලේ ආරම්භ කාලයේ සිට ම පැවතෙන්නට ඇතැයි සිතිය හැක. මේ වන විට පුස්තකාලයාධිපතිවරු, ලිපිකරුවන්, යතුරුලියන්නන්, විද්‍යාගාර සේවකයන්, කම්කරුවන් ආදීන්ගෙන් අනධ්‍යයන කාර්ය මණ්ඩලය සමන්විත වේ. 1996 දක්වා පාසල මුර කිරීම සඳහා මුරකරුවන් දෙදෙනෙකු යොදවා තිබූ අතර වර්තමානය වන විට එම කාර්යය ආරක්ෂක සේවාවකට භාර දී ඇත.
පාසලේ කටයුතුවලදී විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය මගින් ඉටු කරන මෙහෙය අතිමහත් ය. එය පිහිටුවා ඇත්තේ ඩී. ටී. විජේරත්න විදුහල්පතිවරයාගේ සමයේ ය. 1976 වසරේ දී ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාව ආරම්භ කර ඇත. 1984 වසරේ දී තරුණ ආදි ශිෂ්‍යයන්ගේ සක්‍රීය දායකත්වය පාසල වෙනුවෙන් ලබා ගැනීමේ අරමුණින් කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය පිහිටුවීය. මේ වන විට ආදි ශිෂ්‍ය සංගමය අනුබද්ධ සංවිධාන කිහිපයක් ද පිහිටුවා ඇත. ආදි ක්‍රිකට් එකතුව, ආදි දම්සෝ මළල ක්‍රීඩා සංගමය, ආදි දම්සෝ ශිෂ්‍යභට සාමූහිකය, දම්සෝ ආදී ශිෂ්‍ය නායක එකමුතුව සංරක්ෂණය කළ පිටපත 2013-02-27 at the Wayback Machine එවැනි සංවිධානයන් ය.
මුල් කාලයේ දී ගුරු දෙගුරු සමිතිය වශයෙන් හැඳින්වූ දෙමාපිය සංවිධානය වර්තමානයේ ක්‍රියාත්මක වන්නේ පාසල් සංවර්ධන සමිතිය ලෙස ය. එය අමාත්‍යාංශ වක්රලේඛයක් යටතේ පාලනය වන අතර, පාසලට අවශ්‍ය විදුලිය, දුරකතන, තැපැල් සේවාව වැනි සේවාවන් සඳහා මූල්‍ය අනුග්‍රහය ලබා දීම සහ පාසලේ අභිවෘද්ධිය සඳහා අවශ්‍ය අවස්ථාවල දී මූල්‍යමය දායකත්වයන් දැක්වීම එමගින් සිදු කෙරේ.
ප්‍රදේශයේ අනෙකුත් පාසල්වලට සාපේක්ෂ ව වඩා වැඩි භෞතික සම්පත් ප්‍රමාණයක් පරිහරණය කිරීමේ අවස්ථාව ධර්මාශෝක විද්‍යාලයේ සිසු සිසුවියන්ට හිමි ව ඇත. එය, පාසලේ ජනප්‍රියත්වය ඉහළ නැංවීමට හේතුවක් වන බව ද සඳහන් කළ යුතු ය. 2010 වසරේ දී වැඩ නිම කරන ලද බැඩ්මින්ටන් ක්‍රීඩාගාරය ධර්මාශෝක විද්‍යාලයට එක් වූ අලුත් ම ගොඩනැගිල්ලයි. එමෙන්ම 2008 වසරේ දී වැඩ නිමවන ලද මුදළිඳු එස්. තෝමස් ද සිල්වා ශ්‍රවණාගාරය, ධර්මාශෝක විද්‍යාලයට එතෙක් අඩුවක් ව පැවති ශ්‍රවණාගාරයක අවශ්‍යතාව සම්පූර්ණ කළා පමණක් නොව, වර්තමානය වන විට ප්‍රදේශයේ බොහෝ වැදගත් අවස්ථාවල දී, කලා කටයුතුවල දී, උත්සව කටයුතුවල දී ප්‍රයෝජනයට ගන්නා සම්පතක් ද වන්නේ ය. එසේ ම 2003 වසරේ දී විවෘත කරන ලද විද්‍යාලයීය පිහිණුම් තටාකය බොහෝ පිහිණුම් තරගාවලිවල දී මෙන් ම පිහිණුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුවීම් සඳහා ද නිරතුරු ව භාවිත කරනු ලබයි.
විද්‍යාලයේ කණිෂ්ඨ අංශය සහ ජ්‍යේෂ්ඨ අංශය සතුව වර්තමානය වන විට ගොඩනැගිලි 25 ක් පමණ තිබේ. ඉහතින් සඳහන් කළ ගොඩනැගිලිවලට අමතර ව අධ්‍යයන කටයුතු සඳහා යොදා ගන්නා එස්. තෝමස් ද සිල්වා සිහිවටනය, සද්ධාසේන සෙවන, එල්. සී. ද සිල්වා සෙවන, වී. එම්. විල්සන් සිහිවටනය, පී. ද. එස් කුලරත්න සෙවණ, ජසෙන්තුලියන සෙවන, ඇස්. සී. ද සිල්වා සෙවන, අ. ම. කරුණාරත්න සෙවන, විද්‍යාගාර ගොඩනැගිල්ල ආදී ගොඩනැගිලි පාසල සතු ගොඩනැගිලි අතුරින් කිහිපයකි. මිට අමතර ව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගම් ගොඩනැගිල්ල ද, මේස පන්දු ක්‍රීඩාගාරය ද පාසල් භූමියේ ම පිහිටා ඇත. විද්‍යාල භූමියේ ම සකස් කොට ඇති පැසිපන්දු පිටියක් මෙන්ම පාසලෙන් පිටත ඇති පැසිපන්දු පිටියක් ද විද්‍යාලය සතු වේ.
නවීන උපකරණවලින් සමන්විත පරිගණක ඒකකයක්, පුස්තකාල පහසුකම්, විද්‍යාගාර පහසුකම් මෙන් ම සෞන්දර්ය කටයුතු, ක්‍රීඩා සහ තූර්ය වාදන කණ්ඩායම්වලට අවශ්‍ය සියලු උපකරණ සහ පහසුකම් විද්‍යාලය සතු වේ. එමෙන් ම 2009 වසරේ දී ධර්මාශෝක විද්‍යාලයේ අවශ්‍යතා සඳහා පරිහරණය කිරීමට බස් රථයක් ලබා ගන්නා ලදී.
පාසලේ ලාංඡනයක් භාවිත කළ බවට මුල්ම සඳහන සැපයෙන්නේ ඊ. ඒ. විජේසූරිය විදුහල්පතිවරයාගේ සමයෙනි. එම ලාංඡනය වෙනස් කර ඩී. ටී. විජේරත්න විදුහල්පතිවරයා හඳුන්වාදෙන ලද ලාංඡනය වර්තමානයේ ද භාවිත වේ.
විදුහලේ වර්ණ සහ ධජය ද එම විදුහල්පතිවරයා විසින්ම හඳුන්වා දෙන ලද බව සැලකේ. විදුහලේ වර්ණ වන නිල් සහ රිදීමය අලු යන වර්ණ සහිත තිරස් තීරු දෙකක් ඇති ධජයක් විද්‍යාලයීය ධජය ලෙස භාවිත වේ. ධජය මධ්‍යයේ විද්‍යාලයීය ලාංඡනය අන්තර්ගත වේ.
විද්‍යාලයීය ගීතය ගරු ආනන්ද සමරකෝන් මහතා විසින් රචනය කරන ලද්දකි. මෙය ඩී. ටී. විජේරත්න විදුහල්පතිවරයාගේ සමයේ හඳුන්වාදෙන ලද්දකි. ජනප්‍රිය ග්රැමෆෝන් ගීතයක් වන "ඇසේ මධුර ජීවනයේ ගීතා" යන ගීතය, විද්‍යාලයීය ගීතයේ තනුව අනුව ගැයේ.
විදුහල අප මව් ධර්මාශෝකා
සිරිලක සුදිලේවා...//
කීර්තිය පා... දින දින වැජඹේවා
බෝ කල් සව්සිරිනී...//
සැමකල් සුදිලේවා...//
ගයම් ගයම් ඔබ ගුණ කඳ මහිමේ
වැඩේ වැඩේ අප හද තුළ ප්‍රේමේ...//
සව් මුරු කැළ නිරතුරු ඔබ රකිවා...//
ආසිරි ලැබ බෝවා...//
විදුහල අප මව් ධර්මාශෝකා
සිරිලක සුදිලේවා...//
හිඳ ඔබ සෙවනේ සිසු අප බැතිනේ...//
සනසමු සිරිලක ලබමින ඥානේ
සැමකල් විද්‍යා දදාති විනයං ...//
සඳ සේ සුදිලේවා...//
විදුහල අප මව් ධර්මාශෝකා
සිරිලක සුදිලේවා...//
1913 වර්ෂයේ දී ඇරඹි ධර්මාශෝක විද්‍යාලයට 2013 වසරේ දී වසර සියයක් සපිරුණි. සියවස සැමරීම වෙනුවෙන් පාසල් ප්‍රජාව විසින් විවිධ සැමරුම් සංවිධානය කරනු ලැබූහ.[2]
2012 මැයි 11 සහ 12 දෙදින පැවැත්වුණු පිරිත් සහ දානමය පින්කම දම්සෝ සියවස් සැමරුමේ ප්‍රථම අංගය විය.
සියවෙනි වසර පිළිගැනීම වෙනුවෙන් ධර්මශෝක පාසැල් ප්‍රජාව අම්බලන්ගොඩ නගරය හරහා ගමන් කළ දම්සෝ පා ගමන සියවස් සැමරුමේ විශේෂිත අංගයක් විය. එය 2012 වසරේ සැප්තැම්බර් මස 8වෙනි දින පැවැත්විණි. ඒ සඳහා දම්සෝ සිසු සිසුවියෝ, අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය, ආදි සිසු සිසුවියෝ, ආදි විදුහල්පතිවරු සහ ගුරුවරු ඇතුළු බොහෝ පිරිසක් එක් වි සිටිහය.
2012 වසරේ ජූලි 11 දින සිට නොවැම්බර් 3 දින දක්වා ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ද ඔක්තෝබර් 12 දින ආචාර්ය මණ්ඩලය වෙනුවෙන් ද සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනක් සංවිධානය කෙරුණි.
2013 පෙබරවාරි 09 සිට 24 දින දක්වා ක්‍රීඩා සැණකෙළිය පැවැත්විණ. එය මේස පන්දු, කි‍්‍රකට්, දැල් පන්දු, මුහුදු පිහිනුම්, මලල කී‍්‍රඩා, පැසිපන්දු, පාපන්දු, චෙස්, බැඞ්මින්ටන් සහ ශිෂ්‍ය භට තූර්යවාදක කණ්ඩායම් තරගාවලින් සමන්විත විය.
2013 මාර්තු 23 සිට 30 දක්වා පැවැත්වුණු අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ සැණකෙළිය දම්සෝ සියවස සැමරුමේ ප්‍රධානතම අංගය විය. මෙම ප්‍රදර්ශනයට පෙර අවසන් වරට පාසලේ ප්‍රජාව එක්වී ප්‍රදර්ශනයක් සංවිධානය කරනු ලැබුවේ දම්සෝ 90 සංවත්සරය වෙනුවෙනි.
ධර්මාශෝක විද්‍යාලය ඉතා කීර්තිමත් ක්‍රීඩා කෞශල්‍යයෙන් පිරි ක්‍රීඩකයන් රැසක් බිහිකළ පාසලකි.. (ක්‍රීඩා ක්ෂේත්රයේ ආදි සිසුන් බලන්න) අධ්‍යයන කටයුතුවලට මෙන්ම ක්‍රීඩා සඳහාද ධර්මාශෝක විදුහල චිරප්රසිද්ධ වන අතර ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාවේ නියලෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් බිහිකර ඇත. මීට අමතරව පාසල් ශිෂ්‍ය භට කණ්ඩායම සමස්ත ලංකා තරඟ වලදී විශිෂ්ඨ දස්කම් පෙන්වා ඇත. වර්තමානය වන විට පාසලේ ක්‍රියාත්මක වන ක්‍රීඩා පහත පරිදි වේ.
සුනිල සංග්‍රාමය සහ අම්බලන්ගොඩ සැතපුම් දෙකේ මුහුදු පිහිණුම් තරගය පාසල සම්බන්ධ වන, වාර්ෂික ව සංවිධානය කරනු ලබන ප්‍රධාන ක්‍රීඩා අවස්ථා දෙකකි. ධර්මාශෝක විද්‍යාලය සහ ශ්‍රී දේවානන්ද විද්‍යාලය අතර වාර්ෂිකව පවත්වනු ලබන ක්‍රිකට් තරගය අම්බලන්ගොඩ නිල් මහ සටන හෙවත් සුනිල සංග්‍රාමය ලෙස හැදින්වේ. මෙය අම්බලන්ගොඩ නගර සභා පිටියේ දී පැවැත්වෙන දෙදින ක්‍රිකට් තරගයකි. ධර්මාශෝක විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය විසින් විවෘත සැතපුම් 2 මුහුදු පිහිනුම් උත්සවය වාර්ෂිකව සංවිධානය කරනු ලබයි . අම්බලන්ගොඩ මුහුදු වෙරළ තීරයේ පවත්වනු ලබන මෙහි පිරිමි හා කාන්තා තරඟ කනිෂ්ඨ හා ජ්‍යේෂ්ඨ අංශ දෙකෙන්ම පවත්වනු ලබයි.
2011 වසරේ සිට ආදි දම්සෝ චෙස් සංගමය විසින් “දම්සෝ අන්තර්ජාතික චෙස් තරගාවලිය“ නමින් වාර්ෂික ව අන්තර්ජාතික චෙස් උළෙලක් සංවිධානය කරනු ලබයි. එය දකුණු පලාතේ පාසලක් විසින් අන්තර්ජාතික චෙස් තරගාවලියක් සංවිධානය කරන ප්‍රථම අවස්ථාව වූ අතර අන්තර්ජාතික චෙස් තරගාවලි සංවිධාන කරන ශ්‍රී ලංකාවේ පාසල් ඇත්තේ අතලොස්සකි. ශ්‍රී ලංකාවේ ෆිඩේ මාස්ටර් චෙස් ශූරයෙකු වූ පළමු පාසල් ක්‍රීඩකයා වනුයේ ධර්මාශෝක විද්‍යාලයේ සසිත් නිපුන් පියුමන්ත ක්‍රීඩකයා ය. ඔහු 2018 වසරේ දී ආසියානු යොවුන් චෙස් තරගාවලියේ දී 16න් පහළ ශූරතාවය ද දිනා ගත්තේ ය.
|
|
|
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.