From Wikipedia, the free encyclopedia
භාෂා පවුලක් යනු කිසියම් පොදු පූර්වජ භාෂාවකින් පැවත ඒම හේතුවෙන් ඥාතීත්වයක් දරන, භාෂා කාණ්ඩයකි. මෙම පොදු භාෂාව, මූල භාෂාව ලෙසින් හඳුන්වයි. මෙම මූල භාෂාවෙන් පැවත එන භාෂාවන් දුහිතෲ භාෂා ලෙසින් හඳුන්වයි. මෙම දුහිතෲ භාෂා සෑම විටම සමාන නොවේ.
Ethnologue වෙබ් අඩවියට අනුව, ලෝකයේ සජීවී මානව භාෂා 7,168 පමණ ඇති අතර, ඒවා විවිධ භාෂා පවුල් 142 කට වර්ග කර ඇත.[1][2] සජීවි භාෂා ලෙස හඳුන්වන්නේ එක් පුද්ගලයෙකුගේ හෝ මාතෘ හෝ පීතෘ භාෂාව ලෙස පවතින භාෂාවන් ය. ලෝකයේ ජනගහනයෙන් වැඩි දෙනෙකු කතා කරනු ලබන භාෂා අයත් භාෂා පවුල වන්නේ ඉන්දු යුරෝපීය භාෂා පවුල වේ. එය සමස්ත ජනගහනයෙන් 40% වැඩි දෙනෙකුගේ භාෂා නියෝජනය කරන අතර මෙම භාෂා පවුලට අයත් භාෂා යුරෝපයේ සිට දකුණු ආසියාව දක්වා වපසරියක ව්‍යාප්තව පවතියි.
ලයිල් කෑම්ප්බෙල් (2019) නැමැති භාෂා විශාරධයාට අනුව හුදෙකලා භාෂා ද ඇතුළු ව ස්වාධීන භාෂා පවුල් 406 ක් දක්නට ලැබේ.
භාෂා පවුලක් යනු ඒකවංශික ඒකකයකි (monophyletic unit). එනම් භාෂා පවුලේ සෑම සාමාජිකයෙක් ම පොදු පූර්වජයෙකුගෙන් පැවත එන බවත්, සාමාජිකයන් අතර අන්‍යොන්‍ය වශයෙන් සමීප හෝ දුරස්ථ ඥාතීත්වයක් දරන බවත් ය. මෙම ඥාතීත්වය රුක් සටහනක් හෝ ගැලීම් සටහනක් ඔස්සේ දැක්විය හැකි ය.[3]
භාෂා පවුලක් ඒකක ගණනාවකින් සමන්විත විය හැකි ය. භාෂා පවුලක ජානමය ඥාතීත්වය තුලනාත්මක වාග්විද්‍යාව ඇසුරින් අනාවරණය කර ගත හැකි ය.
ඉතා සමීප ඥාතීත්වයක් දරන භාෂා පවුල් හා භාෂා පවුල්වල උපශාඛා උපභාෂා සන්තතියක (Dialect Continuum) හෙවත් භාෂා දාමයක ස්වරූපයක් ගනු නිරීක්ෂණය කළ හැකි ය. උපභාෂා සන්තතියක් දක්නට ඇති භාෂා පවුල් කිසියම් අඛණ්ඩ භූගෝලීය ප්‍රදේශයක ව්‍යාප්තව පවතී. උපභාෂා ස්වාධීන භාෂා ලෙස නැගී ඒම සඳහා අත්‍යවශ්‍ය භෞමික හෝ සමාජීය ඛණ්ඩතාවය නොමැති වීම මෙවැන්නක පැවැත්මට හේතු වේ. මෙහි දී භූගෝලීය වශයෙන් ආසන්නව පවතින උපභාෂා අන්‍යෝන්‍ය වශයෙන් වටහා ගැනීමට හැකි අතර දුරස්ථ පවතින උපභාෂා අතර අන්‍යෝන්‍ය අවබෝධතාවය අවම මට්ටමක පවතී.[4]
මෙවැනි ව්‍යාප්තියක් පවතින උපභාෂා වාග්විද්‍යාත්මකව නිවැරදිව වර්ගීකරණය කිරීමට අපහසු වන්නේ එක් උපභාෂාවක් අනෙක් උපභාෂාවෙන් වෙන් කරන නිර්වද්‍ය භූගෝලීය සීමාව තීරණය කිරීම දුෂ්කර බැවිනි. වර්ගීකරණය කරනු ලබන පුද්ගලයා සලකා බලන සාධක, එම පුද්ගලයාගේ දේශපාලනික, සමාජීය, හා ආගමික නැඹුරුතාවය මත මෙම සීමා වෙනස් විය හැකි ය.
මෙම උපභාෂා සන්තති සඳහා නිදසුන් ලෙස අරාබි භාෂාව හා දකුණු ස්ලැවික් උපභාෂා සන්තතිය දැක්විය හැකි ය.[5]
ලෝකයේ වහරනු ලබන බොහෝමයක් භාෂා අනෙක් භාෂා සමඟ සමීප හෝ දුරස්ථ ඥාතීත්වයක් දරනු ලබන බව නිරීක්ෂණය කළ හැකි ය. එහෙත් ඇතැම් භාෂා වර්තමානයේ පවතින කිසිදු භාෂා පවුලක් සමඟ කිසිදු ආකාරයක් ඥාතීත්වයක් නොදරන බවක් පෙනේ. මෙවැනි භාෂා හුදෙකලා භාෂා ලෙස හඳුන්වයි.[6] බොහෝ වාග්විද්‍යාඥයින්ගේ මතය වන්නේ ඉතිහාසයේ කිසියම් කාල වකවානුවක මෙවැනි හුදෙකලා භාෂා අනෙක් භාෂා සමඟ ඥාතීත්වයක් තිබෙන්නට ඇති බවත්, එම කාලසීමාව වර්තමාන කාලයට වඩා බොහෝ දුරස්ථ බැවින් භාෂා පරිණාමය පෙන්වීමට පවතින දුෂ්කරතාවය මත මෙම ඥාතීත්වය හඳුනා ගැනීමට නොහැකි බවත් ය. බස්ක් භාෂාව මෙවැනි භාෂාවකට නිදසුනකි.[7]
භාෂා පවුලක ස්වාධීන උපශාඛාවක් ලෙස හඳුනා ගත හැකි භාෂා ද හුදෙකලා භාෂා ලෙස හඳුන්වයි. ඉන්දු-යුරෝපීය භාෂා පවුලට අයත් ආමේනියානු භාෂාව, ග්‍රීක භාෂාව, හා ඇල්බේනියානු භාෂාව මෙවැනි හුදෙකලා භාෂා සඳහා නිදසුන් වේ.[8]
භාෂා සන්ධියනයක් (Sprachbund හෝ Language federation) යනු පොදු භාෂා ව්‍යුහයන් දක්නට ලැබෙන එකිනෙකට වෙනස් භාෂා ගණනාවකින් සමන්විත භූගෝලීය ප්රදේශයකි. [9] මෙවැනි ප්‍රදේශයක වහරනු ලබන භාෂා විවිධ භාෂා පවුල්වලට අයත් භාෂා වීම හෝ විවිධ උපශාඛාවලට අයත් වීම හෝ යන ලක්ෂණ දක්නට ලැබේ. එනම් මෙම භාෂා සමූහය පොදු පූර්වජයෙකුගෙන් පැවත එන්නේ නැත. මෙම භාෂා සඳහා පොදු භාෂා ව්‍යුහයක් ඇති වීම සිදු වන්නේ කාලයත් සමඟ මෙම භාෂා වහරනු ලබන සමාජයන් අතර ඇති වන සමාජීය, ආර්ථික, දේශපාලනික, හා සංස්කෘතික හුවමාරු වීම හා සම්මිශ්ර වීම් වේ. භාෂා සන්ධියනකට නිදසුනක් ලෙස ඉන්දු උපමහාද්වීපය හඳුනාගත හැකි ය.
සාම්ප්‍රදායික වාග්විද්යාවන්ට අනුව භාෂාවක බිහි වීම සිදු වන්නේ මූල භාෂාවකින් පැන නැගුණ උපභාෂාවක් ස්වාධීන භාෂාවක් ලෙස වර්ධනය වීම මඟිනි. එහෙත් මෙම සාම්ප්‍රදායික ක්‍රමයෙන් පරිභාහිරව වුව ද භාෂා පැන නැගිය හැකි ය. මෙවැනි භාෂා සම්බන්ධිත භාෂා ලෙස හඳුන්වයි.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.