From Wikipedia, the free encyclopedia
පුරාතන ඊජිප්තුවේ පළමුවන රාජවංශය (හෙවත් රාජවංශය I) යටතට අයත් වන්නේ එක්සත් ඊජිප්තුවක් තුළ පාලනය ගෙන ගිය ඊජිප්තු රජවරුන්ගේ පළමුවන මාලාවයි. මෙය නාමර් රජු විසින් සිදුකළේ යැයි පැවසෙන ඉහළ සහ පහළ ඊජිප්තුව ඒකාබද්ධ කිරීමෙන් වහාම පසුව ඇරඹුණු යුගයයි. එසේම මෙය තිනිස් වටා බලය සංකේන්දුගත වූ මුල්කාලීන රාජවංශ යුගයේ ආරම්භය සනිටුහන් කරයි.
ඊජිප්තුවේ පළමුවන රාජවංශය | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
ක්‍රි.පූ. 3100 පමණ–ක්‍රි.පූ. 2900 පමණ | |||||||||
නාර්මෙර් ඵලකය (ක්‍රි.පූ. 3200–3000 පමණ) | |||||||||
අගනුවර | තිනිස් | ||||||||
පොදු භාෂාවන් | ඊජිප්තු භාෂාව | ||||||||
ආගම | පුරාතන ඊජිප්තු ආගම | ||||||||
රජය | පරම රාජාණ්ඩුව | ||||||||
ඓතිහාසික යුගය | ලෝකඩ යුගය | ||||||||
• ස්ථාපිත කළේ | ක්‍රි.පූ. 3100 පමණ | ||||||||
• අහෝසි කළේ | ක්‍රි.පූ. 2900 පමණ | ||||||||
|
මෙම යුගයේ කාලසීමාව විද්වතුන් අතර වාදවිවාදවලට හේතු වී ඇත. මෙය දිවෙන්නේ මුල්කාලීන ලෝකඩ යුගය හරහා වන අතර, මෙය ක්‍රි.පූ. 34වන හා 30වන සියවස් අතර කාලයක ඇරඹෙන්නට ඇතැයි ඇස්තමේන්තුගත කොට ඇත. 2013දී සිදුකළ විකිරණශීලී කාබන් දින අධ්‍යයනයක් අනුව, පළමු රාජවංශයේ ආරම්භය - හොර්-අහාගේ සිංහාසනාරූඪය - ක්‍රි.පූ. 3100ට ආසන්න (3218–3035, මෙය 95%ක විශ්වාසයකින් යුතු ය) සමයක සිදු වූයේ යැයි සැලකේ.[1]
ඊජිප්තුවේ ඉතිහාසය තුළ පළමු රාජවංශයට අයත් යැයි විශ්වාස කෙරෙන රජවරුන් නම්:
නම | දින | සටහන් |
---|---|---|
නාමර්/මෙනස්(?) | ක්‍රි.පූ. 32වන සියවසේ පමණ (?) | බොහෝ විද්වතුන් නාමර් යනු මෙනස් ලෙස හඳුනාගත්ත ද, විද්වතුන් සුළු පිරිසක් මෙනස් යනු හොර්-අහා ලෙස හඳුන්වයි.[2] |
හොර්-අහා | ඇරඹීම ක්‍රි.පූ. 3080 ± 30 (p-අගය = 0.32)[3] | |
ඩ්ජර් | ක්‍රි.පූ. 3073 – 3036 පමණ; වර්ෂ 41ක් | |
ඩ්ජෙට් | ක්‍රි.පූ. 3008 - 2975 ? | |
මර්නෙයිත් (ඩෙන්ගේ මව) | ක්‍රි.පූ. 3008? 2946–2916 | |
ඩෙන් | ක්‍රි.පූ. 2975–2935-2911 හෝ ක්‍රි.පූ. 2928–2911; වර්ෂ 19 සිට 50ක් (වර්ෂ 42) | |
අනෙඩ්ජිබ් | ක්‍රි.පූ. 2916–2896; වර්ෂ 20 | |
සෙමෙර්ඛෙට් | ක්‍රි.පූ. 2912–2891 ?; වර්ෂ 20 | |
කා'ආ | ක්‍රි.පූ. 2906–2886 ?; වර්ෂ 30 |
මෙම රාජවංශය පිළිබඳ තොරතුරු රාජකීය නාම දරන ඇතැම් ස්මාරක සහ වෙනත් අංග මගින් ලැබේ. මේ අතරින් වඩාත් වැදගත්ම පුරාවස්තූන් ලෙස නාමර් ඵලකය සහ නාමර් සොංකෝල හිස ආදියත්, ඩෙන් සහ ඛා රජුන්ගේ ලැයිස්තු ද සැලකේ.[4] පැලර්මෝ පාෂාණයේ ඇති සංක්ෂිප්ත ලැයිස්තු හැරුණුවිට මුල් රාජවංශ ද්විත්වය පිළිබඳ වෙනත් සවිස්තර වාර්තා හමු නොවේ. මේ පිළිබඳ තොරතුරු සඳහන් මැනතෝගේ ඒජිප්ටියැකා විස්තරය, පුරාවිද්‍යාත්මක මෙන්ම ඓතිහාසික වාර්තා සමග නොගැළපේ. මැනතෝ විසින් පළමු රාජවංශයේ රජවරුන් නවදෙනකු නම්කොට තිබුණ ද, ඉන් වෙනත් මූලාශ්‍ර සමග ගැළපෙන්නේ එක් නාමයක් පමණි. එසේම ඔහු විස්තර ඉදිරිපත් කොට ඇත්තේ ද රජවරුන් සිව්දෙනකු පිළිබඳ පමණි.[5] මෙකල ඊජිප්තු රූපාක්ෂර හොඳින් සංවර්ධනය වී පැවතිණි. ඒවායේ හැඩය අවුරුදු තුන්දහසක් පුරාවටම වෙනස් වී ඇත්තේ ස්වල්ප වශයෙනි.
ඇබයිඩොස් සහ නැකාඩාහි ඇති පාරාවෝවරුන්ගේ විශාල සොහොන්ගැබ් මෙන්ම මෙම්පිස් අසල පිහිටි සකාරා සහ හෙල්වාන් සුසානභූමිවලින් පෙනී යන්නේ මෙකල ඉදිකිරීම් විශාල වශයෙන් දැව සහ මඩින් තැනූ ගඩොල්වලින් සිදුව ඇති බවයි. බිත්ති සහ ගෙබිම සඳහා ගල් භාවිතා වී ඇත්තේ ස්වල්ප වශයෙනි. ආභරණ, බඳුන් සහ කලාතුරකින් ප්‍රතිමා නිර්මාණය සඳහා ගල් භාවිතා වී ඇත. ටැමරික්ස් (හෙවත් "ලවණ දේවදාර") ශාකය ඇබයිඩොස් බෝට්ටු වැනි බෝට්ටු නිර්මාණයට භාවිතා වී ඇත. මෙකල වඩාත් වැදගත් වූ දැවනිර්මාණ ක්‍රමවේදයක් ලෙස අචල කුඩුම්බි සන්ධි භාවිතය දැක්විය හැක. අචල කුඩුම්බි සකසන ලද්දේ එක් ලී කැබැල්ලක අග්‍රය දෙවන ලීයේ සිදුර තුළට ගැළපෙන පරිදි කපා සකස් කිරීමෙනි. නිදහස් කුඩුම්බියක් භාවිත වූ මෙම ක්රමයේ ප්රභේදයන් මධ්‍යධරණි සහ ඊජිප්තු නැව් නිර්මාණයේ දී වැදගත් විය. [6]
පළමු රාජවංශයේ සියලු පාරාවෝවරුන් විසින් අවමංගල චාරිත්‍රයක් ලෙස මිනිස් බිලිපූජා අනුගමනය කොට ඇත.[7] මේ බව සෑම පාරාවෝවරයකුගේම සොහොන්ගැබ අසල සේවකයින් සහ සත්ත්වයින් භූමදාන කොට තිබීමෙන් පෙනී යයි. ඩ්ජර්ගේ සොහොන්ගැබ සඳහා මිනිසුන් 338ක් භූමදාන කොට ඇත.[7] මෙහි දී බිලි දුන් මිනිසුන් සහ බූරුවන් වැනි සතුන් පාරාවෝවරයාට මරණින් මතු සහාය වේ යැයි සලකන්නට ඇත. කෙසේනමුත්, නොදන්නා හේතූන් මත මෙම රාජවංශයේ අවසානය වන විට මෙම පිළිවෙත ද අවසන් වී ඇත.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.