හෝමියෝපති
From Wikipedia, the free encyclopedia
හෝමියෝපති යනු 1796 දී සැමුවෙල් හානමන් විසින් ආරම්භ කළ විකල්ප වෛද්‍ය ක්රමයකි. එය ඔහුගේ "like cures like" නම් මතය මත ආරම්භ වී ඇත. එනම් නිරෝගී පුද්ගලයෙකුගේ කිසියම් රෝග ලක්ෂණ ඇති කරන ද්‍රව්‍යයක් මගින් සමාන රෝගලක්ෂණ සුවකරනු ඇති බවයි. හෝමියෝපති යනු ව්‍යාජ විද්‍යාවකි, එනම් විද්‍යාවක් ලෙස ඉදිරිපත් කරන නමුත් විද්‍යාත්මක නොවන්නකි. හෝමියෝපති නිශ්පාදන කිසිම රෝගයකට හෝ තත්වයකට ප්‍රතිකාර ලෙස ඵලදායි නොවේ. මහා පරිමාණ සමීක්ෂණ වලින් හෝමියෝපති ප්‍රතිකාර "ඖෂධ නොවන ප්‍රතිකාර (placebo)" වලට වඩා කිසිදු සාර්ථකත්වයක් නොමැති වන බව පෙනී ඇති අතර, පෙනෙන්නට ඇති හොඳ ප්‍රතිඵල ප්ලැසීබෝ නිසාත්, රෝග වලින් සාමාන්‍ය ලෙස සුව වීමත්, මධ්‍ය ලක්ෂය කරා පැමිනීම නම් සංඛ්‍යාත ලක්ෂණය නිසාත් සිදුවන බව පෙනේ.
හානමන් විශ්වාස කළේ miasms ලෙස හැඳින්වෙන සංසිද්ධියක් රෝග සඳහා පාදක වූ බවත් හෝමියෝපති නිශ්පාදන මේ සඳහා උපකාරි විය හැකි බවය. මෙම නිශ්පාදන හෝමියෝපතික තනුක කිරීම මගින් නිශ්පාදනය කරයි. මෙහිදී අදාල රසායනිකය නැවත නැවත ආසවනය කරනලද ජලයේ දියාරුකරනු ලැබේ. මෙසේ තනුක කරන සෑම වරකම එම භාජනය ග්‍රන්ථයක තදින් වද්දනු ලැබේ. මෙම දියාරු කිරීම දිගින් දිගට අදාල රසායනිකයේ අංශුවක්වත් නැතිවන තරමටත් වඩා ප්‍රමාණයක් කරනු ලැබේ. මෙම රසායනික සහ සාදන උපදෙස් රෝගියාගේ ලක්ෂණ, පෞද්ගලික ගති ලක්ෂණ, භෞතික සහ මානසික තත්වය සහ ජීවිත ඉතිහාසය යන පරිණාමය සැලකිල්ලට ගනිමින් නිර්දේශිත ග්රන්ථ වලින් ලබා ගැනේ[1]
සියවස් දෙකකට ඉහත හෝමියෝපති ක්රමයේ නිර්මාණය සිට මිනිස් සිරුර, ඖෂධ, ද්‍රව විද්‍යාව පිලිබඳව නව සොයාගැනීම් රාශියක් සිදු වී ඇත. ජීව විද්‍යාව, භෞතික විද්‍යාව මානසික විද්‍යාව රසායනික විද්‍යාව හරහා සොයාගත් පුළුල් පරාසයකින් යුත් සොයා ගැනීම් වලින් අනාවරණය වී ඇති කරුණු අනුව හෝමියෝපති ක්‍රමය සිදුවිය හැක්කක් නොවන බව පැහැදිලි වී ඇත.[2][3][4][5] ඇතැම් සායනික පරීක්ෂණ මගින් ධනාත්මක ප්‍රතිඵල ඇති වුවද, බහු විධිමත් විචාරයන් පෙන්නුම් කර ඇත්තේ මෙය අහම්බෙන්, දුර්වල පර්යේෂණ ක්‍රම සහ පක්ෂග්රාහී වාර්තාකරණ නිසා පමනක් සිදුවී ඇති බවය. HIV රෝගය හා මැලේරියාව වැනි බරපතල රෝගාබාධවලට ප්‍රතිකාර කිරීමට උත්සාහ කිරීම සඳහා හෝමියෝපති භාවිතයට ගැනීම නිසා භාවිතයට ගතහැකි ප්‍රතිකාර ක්‍රම අධෛර්යමත් වීම ආචාරසම්පන්න නොවන බැවින් අනතුරු ඇඟවීමක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හෝමියෝතික ඖෂධ විවේචනය කර ඇත..[6] කිසිදු සාර්ථකත්වයක් නොමැති බව හෙලිවී ඇති නමුත් දිගින් දිගටම හෝමියෝපති ක්‍රමය භාවිතා කිරීම නිසා විද්‍යාත්මක හා වෛද්‍ය සමාජය තුල මෙය විකාරයක්,[7]බොරුවක්,[8] වංචාවක් ලෙස විවේචනයට බඳුන් වී ඇත.[9]
ඕස්ට්‍රේලියානු ජාතික සෞඛ්‍ය හා වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය, එක්සත් රාජධානියේ ප්‍රජාමූල විද්‍යා හා තාක්ෂණ කමිටුව, යුරෝපීය ශාස්ත්‍රීය විද්‍යා උපදේශක සභාව සහ ස්විට්සර්ලන්ත ෆෙඩරල් සෞඛ්‍ය කාර්යාංශය විසින් කරන ලද අධ්‍යයනයන් මගින් හෝමියෝපති ක්‍රමය නිශ්ඵල බව නිගමනය කරන ලද අතර, තව දුරටත් අරමුදල් සැපයීමට විරුද්ධව උපදෙස් දී ඇත.[10][11][12] එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවය විසින් "සම්පත් අනිසි ලෙස භාවිත කිරීම" නිසා හෝමියෝපති වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් අරමුදල් වෙන්නොකිරීමේ ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත් කර ඇත.[13] එක්සත් රාජධානියේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් තහනම් බෙහෙත් වට්ටෝරුවන්ගේ කලු ලයිස්තුවට හෝමියෝපති ඖෂධ එකතු කරන ලෙස ඉල්ලා ඇත.[14]