ශ්‍රී ලංකාවේ උභයජීවී නාමාවලිය
විකිමීඩියා ලැයිස්තු ලිපිය / From Wikipedia, the free encyclopedia
ශ්‍රී ලංකාව උභයජීවී විශේෂ 110කට අධික සංඛ්‍යාවක් සඳහා වාසභවන වන අතර, ඉන් විශේෂ 90කට අධික සංඛ්‍යාවක් මෙරටට ආවේණික වේ.[1] මෙලෙසින් 85%ක පමණ ආවේණිකතා ප්‍රතිශතය හේතුවෙන් ශ්‍රී ලංකාව ආසියාවේ ඉහළම උභයජීවී ආවේණිකතාව සහිත රට බවට පත්ව ඇත.[2] පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාවෙන් සොයාගැනුණු නව උභයජීවී විශේෂ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.[3] 1957 ශ්‍රී ලංකාවේ පළමු උභයජීවී විමර්ශනය මගින් විශේෂ 35ක් හඳුනාගන්නා ලදී. 1996දී උභයජීවී විශේෂ සංඛ්‍යාව 53දක්වා ඉහළ ගියේ, කෞතුකාගාර එකතු පර්යේෂණ සහ ක්ෂේත්‍ර සමීක්ෂණ පාදක කරගනිමිනි. 1998දී පෙතියාගොඩ සහ මනමේන්ද්‍ර-ආරච්චි විසින් මෙම ක්ෂේත්‍ර සමීක්ෂණය මත පදනම්ව විශේෂ 250කට අධික සංඛ්‍යාවක් යෝජනා කෙරිණි. කෙසේනමුත් මීගස්කුඹුර සහ පිරිස විසින් එම සංඛ්‍යාව විශේෂ 140ක් අවට සංඛ්‍යාවක් දක්වා ප්‍රතිශෝධනය කරන ලදී.[4] මෙහි දී "නව" විශේෂ 100කට අධික සංඛ්‍යාවක් සොයාගැනුණු බවට වූ වාර්තාව විවේචනයට ලක් විය.[5] 2016 වන විට, උභයජීවී විශේෂ 120ක් පිළිබඳ තොරතුරු පකාශයට පත්කෙරිණි. මෙයට ආවේණිකයින් 110ක් ඇතුළත් විය.[6] හිරිදණ්ඩන් විශේෂ තුනක් හඳුනාගෙන ඇති අතර, තවත් එක් විශේෂයක් විස්තර කළ යුතුව ඇත.
Adenomus, Nannophrys සහ Lankanectes යන උභයජීවී ගණ තුනම ශ්‍රී ලංකාවට ආවේණික වේ.[3] නව විශේෂවලින් බහුතරයක් Philautus ගණයට අයත් අතර, මෑතක දී එම ගණයට අයත් විශේෂ Pseudophilautus ගණය යටතට ඇතුළත් කෙරිණි. මේ නිසා ශ්‍රී ලංකාවෙන් Philautus ගණයට අයත් කිසිදු උභයජීවී වශේෂයක් හමු නොවේ. Pseudophilautus pardus සහ P. maia යන විශේෂ හමුවන්නේ 1876ට පෙර සිදුකළ එකතුවලින් පමණක් වන අතර, 2007දී එම විශේෂ නව විශේෂ ලෙස විස්තර කෙරිණි. නමුත් මෙම විශේෂ දෙකම වර්තමානය වන විට නෂ්ට වූ විශේෂ යැයි සැලකේ.[7] මීට අමතරව ශ්‍රී ලංකාව ආසියාවේ ඉහළම උභයජීවී නෂ්ට වීම් සහ තර්ජිත ප්‍රතිශතය සහිත රට වශයෙන් නම්කොට ඇත.[2] 20වන සියවසේ දී, මෙරට උභයජීවී විශේෂ අතුරින් 20%ක් පමණම නෂ්ට වී ගිය අතර, සෙසු උභයජීවී විශේෂවලින් අඩක් පමණම නෂ්ට වීමේ තර්ජනය අභිමුව සිටියි. පසුගිය වසර 500 තුළ ලෝකයෙන් නෂ්ට වී ගිය උභයජීවී විශේෂ 34 අතුරින් 19ක්ම ශ්‍රී ලංකාවට අයත් වූ විශේෂ වේ.[3] වාසස්ථාන අහිමි වීම මෙම තර්ජනවලට ප්‍රධාන හේතුව ලෙස හඳුනාගෙන ඇති අතර, වාසස්ථාන කැබලි වීම, පලිබෝධනාශක භාවිතය සහ වායු දූෂණය ද උභයජීවීන්ට තර්ජන එල්ල කරයි. 2015 අප්‍රේල් මස මෙන්ඩිස් වික්‍රමසිංහ සහ පිරිස විසින් Pseudophilautus ගණයට අයත් තවත් ආවේණික විශේෂයක් හඳුනාගන්නා ලදී. මෙම විශේෂය P.dilmah නම් විය.