රොසෙටා පාෂාණය
From Wikipedia, the free encyclopedia
රොසෙටා පාෂාණය යනුවෙන් හඳුන්වන්නේ 1799දී සොයාගනු ලැබූ පාෂාණමය ශිලා ස්තම්භයකි. මෙහි ක්‍රි.පූ. 196 දී ඊජිප්තුවේ මෙම්ෆිස් නුවර සිට Vවන ටොලමි රජු විසින් නිකුත් කළ නියෝගයක් අන්තර්ගත වේ. මෙම නියෝගය අක්ෂර වර්ග තුනකින් ප්‍රකාශයට පත්කොට තිබේ: එහි ඉහළ පාඨය පුරාතන ඊජිප්තු රූපාක්ෂරවලින් ද, මධ්‍ය පෙදෙස පොදු ජන වහරින් ද, සහ පහළම පාඨයන් පුරාතන ග්‍රීක බසින් ද ලියා තිබේ. මූලිකවම මෙම පාෂාණය මගින් එකම පාඨය ඉහත අක්ෂර මාලා තුනෙන්ම ලියා ඇති බැවින් (ඒවා අතර සුළු වෙනස්කම් ඇත) මෙය ඊජිප්තු රූපාක්ෂර වටහා ගැනීමට යතුර වශයෙන් නූතනයේ භාවිත වූයේ යැයි සැලකේ.
රොසෙටා පාෂාණය | |
---|---|
මාධ්‍යය | ග්‍රැනෝඩයෝරයිට් |
ප්‍රමාණය | 114.4 cm × 72.3 cm × 27.93 cm (45 in × 28.5 in × 11 in) |
ලේඛනය | පුරාතන ඊජිප්තු රූපාක්ෂර, පොදු ජන වහර, සහ ග්‍රීක අක්ෂර |
නිර්මාණය වූයේ | ක්‍රි.පූ. 196 |
සොයාගනු ලැබූයේ | 1799 |
වර්තමාන පිහිටුම | බ්‍රිතාන්‍ය කෞතුකාගාරය |
මෙම පාෂාණය කළු ග්‍රැනෝඩයෝරයිට් පාෂාණයෙන් නෙළා ඇති අතර, මුලින් මෙය දේවස්ථානයක් ඇතුළත ප්‍රදර්ශනය කෙරෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. බොහෝවිට මෙම දේවස්ථානය සායිස් අසල පිහිටා තිබෙන්නට ඇත. මුල්කාලීන ක්‍රිස්තියානි හෝ මධ්‍යකාලීන යුගයේ එය වෙනත් ස්ථානයකට රැගෙන ගොස් ඇති බව පෙනේ. පසුකාලීනව නයිල් ඩෙල්ටාවේ රෂිඩ් (රොසෙටා) නගරය අසල ජුලියන් බලකොටුව ඉදිකිරීමේ දී එය ගොඩනැගිලි අමුද්‍රව්‍යයක් ලෙස භාවිතා කර ඇත. මෙය නැවත සොයාගන්නා ලද්දේ 1799 ජූලි මස නැපෝලියනික ඊජිප්තු ආක්රමණයේ දී පියරේ-ෆ්‍රංෂුවා බෝචාර්ඩ් නැමැති සෙබලකු විසිනි. මෙය නූතන කාලයේ දී සොයාගත් පළමු පුරාතන ඊජිප්තු ද්වීභාෂා ලේඛනය ලෙස සැලකේ. මින් පෙර පරිවර්තනය කළ නොහැකිව තිබූ රූපාක්ෂර භාෂාව පරිවර්තනයට මෙය දායක කරගත හැකි වීම හේතුවෙන්, රොසෙටා පාෂාණය පුළුල් ජනතා ආකර්ෂණයට ලක් විය. මෙහි ශිලාරේඛන පිටපත් සහ බදාම වාත්තු යුරෝපීය විශ්වවිද්‍යාල සහ විද්වතුන් අතර සංසරණය විය. මේ අතර, 1801දී බ්‍රිතාන්‍ය හමුදා විසින් ඊජිප්තුවේ දී ප්රංශවරුන්ව පරාජය කිරීමත් සමග, ඇලෙක්සැන්ඩ්‍රියාව යටත් වීමෙන් පසු මෙහි නියම පාෂාණය බ්‍රිතාන්‍යයක් යටතට පත් විය. අනතුරුව එය ලන්ඩන් වෙත රැගෙන යන ලදී. 1802 සිට අඛණ්ඩව මෙය බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනයට තබා ඇත. බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ වඩාත්ම නැරඹූ කෞතුක වස්තුව ලෙස ද රොසෙටා පාෂාණය සැලකෙයි.
1803දී ග්‍රීක පෙළෙහි පළමු සම්පූර්ණ පරිවර්තනය නිකුත් වීමත් සමග රාජ ආඥාව පිළිබඳ හැදෑරීම් ඇරඹිණි. කෙසේනමුත් තවත් වසර 20කට පසු 1822දී ජීන්-ෆ්‍රංෂුවා චැම්පොලියන් විසින් පැරීසියේ දී ඊජිප්තු පාඨයේ අක්ෂර පරිවර්තනය ප්‍රකාශයට පත්කරන ලදී. නමුත් විද්වතුන් හට පුරාතන ඊජිප්තු ශිලා ලේඛන සහ සාහිත්‍ය ග්රන්ථ කියවීමට හැකියාව ලබාගන්නට තවත් වසර ගණනාවක් ගත විය. මෙහි අර්ථ නිරූපණයේ ලත් ප්රගමනයන් නම් එකම පාඨය ප්‍රභේද ත්‍රිත්වයක් ලෙස දක්වා ඇති බව වටහා ගැනීම (1799); විදේශ නාමයන් උච්චරාණයට පොදු ජන වහරේ දී ශබ්ද විද්‍යාත්මක සංකේත භාවිතා වී ඇති බව (1802); රූපාක්ෂර පෙළ එහි වූ පොදු ජන වහරට යම් සමානත්වයක් දක්වන බව (තෝමස් යන්ග්, 1814) සහ විදේශ නම්වලට අමතරව ස්වදේශික ඊජිප්තු වචන උච්චාරණයට ද ශබ්ද විද්‍යාත්මක සංකේත භාවිතා කර ඇති බව (චැම්පොලියන්, 1822–1824) වටහා ගැනීමයි.
සොයාගත් දින සිටම මෙම පාෂාණය ජාතිකවාදීන්ගේ විරෝධතාවන්ට තේමාවක් විය. නැපෝලියනික යුද්ධ සමයේ මෙය ප්‍රංශවරුන්ගෙන් බ්‍රිතාන්‍යයට හිමි වීම සහ යන්ග් හා චැම්පොලියන් විසින් මෙය අර්ථ නිරූපණයට දැක්වූ දායකත්වය පිළිබඳ නොයෙකුත් මතභේද පවතී. 2003 සිට, මෙම පාෂාණය යළි ඊජිප්තුව වෙත ගෙන්වා ගැනීමට ඉල්ලීම් ද සිදු වී ඇත.
පසුකලෙක මෙම ආඥාවේම පිටපත් දෙකක කැබලි සොයාගැනිණි. එසේම මෙවැනි ඊජිප්තු ද්වීභාෂා හෝ ත්‍රීභාෂා අභිලේඛන ගණනාවක් ද හමු විය. මේ අතර ඉහත පාෂාණය අයත් යුගයට පෙර කාලයක ලියැවුණු ටොලමියානු ආඥා ද්විත්වයක් (ක්‍රි.පූ. 238 කැනෝපස් ආඥාව, සහ ක්‍රි.පූ. 218 IVවන ටොලමිගේ මෙම්ෆිස් ආඥාව) ද වේ. මේ නිසා රොසෙටා පාෂාණය තවදුරටත් අනන්‍ය එකක් නොවිණි. නමුත් එය පුරාතන ඊජිප්තු සාහිත්‍යය සහ ශිෂ්ටාචාරය වටහා ගැනීමට යතුර වශයෙන් ක්‍රියාකළේ යැයි සැලකේ. වර්තමානයේ රොසෙටා පාෂාණය යන යෙදුම දැනුමේ නව ක්ෂේත්රයක ආරම්භක ඉඟිය වශයෙන් භාවිතා වන වෙනත් පාඨ යෙදුම් සඳහා ද භාවිතා වේ.