රුඛයියා සුල්තාන් බෙගම්
මූඝල් අධිරාජ්‍යයේ පාද්ෂා බෙගම් / From Wikipedia, the free encyclopedia
රුඛයියා සුල්තාන් බෙගම් (පර්සියානු: رقیه سلطان بیگم) (1542ආ. – 1626 ජනවාරි 19) යනු 1557 සිට 1605 දක්වා ධුරය හෙබවූ මූඝල් අධිරාජ්‍යයේ වල්ලභ අධිරාජිනියකි. ඇය තෙවන මූඝල් අධිරාජ අක්බර්ගේ පළමු බිසව වූ අතර,[2] අගබිසව ද විය.[3][4][5] වැඩිම කාලයක් සේවය කළ මූඝල් අධිරාජිනිය වූ ඇය එම ධුරය වසර පනහකට ආසන්න කාලයක් හොබවා ඇත.[6]
රුඛයියා සුල්තාන් බෙගම් رقیه سلطان بیگم | |
---|---|
මූඝල් අධිරාජ්‍යයේ ෂාසාදි | |
මූඝල් අධිරාජ්‍යයේ වල්ලභ අධිරාජිනිය | |
නිල කාලය | 1557ආ. –1605 |
පූර්වප්‍රාප්තිකයා | බෙගා බෙගම් |
අනුප්‍රාප්තිකයා | සලීහා බානු බෙගම් |
උපත | 1542ආ. |
මරණය | 1626 ජනවාරි 19 (84 වියැති)[1] අග්‍රා, ඉන්දියාව |
භූමදානය | බාබර්ගේ උද්‍යාන, කාබුල් |
වල්ලභයා | අක්බර් |
වංශය | ටිමූර් ගෘහය (උපතින්) |
පියා | හින්දල් මීර්සා |
මව | සුල්තානම් බෙගම් |
ආගම | ඉස්ලාම් |
රුඛයියා ඇගේ සැමියාගේ ලේ ඥාති සොයුරියක විය. ඇය උපතින් මූඝල් කුමරියක ද විය. ඇගේ පියා වූ හින්දල් මීර්සා අක්බර්ගේ පියා වූ හුමායුන්ගේ බාලම සොයුරා විය. ඇයට වයස අවුරුදු නවයක් වන විට ඇගේ පියාගේ අභාවය සිදුවූ අතර, ඉන් මඳ කලකට පසු ඇයව අක්බර්හට සරණ පාවා දෙන ලදී. මුළු දිවිය පුරාම මේ යුවල ඉතා සමීපව දිවි ගෙවූව ද, ඇයට දරුවන් සිටියේ නැත. පසුකාලීනව, රුඛයියා අක්බර්ගේ ප්‍රියතම මුණුපුරා වූ ඛුරාම්ව (අනාගත අධිරාජ ෂා ජහාන්) දරුකමට හදාවඩා ගත්තා ය.
අක්බර්ගේ අගබිසව වශයෙන් රුඛයියාට මාලිගයේ විශාල බලයක් හිමි වූ අතර, ඇය ඇගේ සැමියා සහ සුළු පුත්‍රයා වූ ජහාන්ගීර් අතර සමාදානය ඇතිකිරීමට වැදගත් කාර්යාභාරයක් ඉටුකළා ය. 1600 දශකයේ මුල් කාලයේ පිය-පුතු දෙපළ අතර සම්බන්ධතා අප්‍රසන්න තත්ත්වයට පැමිණි විට, එය නිරාකරණය කරමින් ක්‍රමිකව ජහාන්ගීර්ගේ අනුප්‍රාප්තියට මඟපෑදූයේ ද ඇයයි.[7] ඇය ඇගේ හදාගත් පුත්‍රයා වූ ෂා ජහාන් සහෝදර ඝාතන අරගලයක් තුළින් සිහසුනට පත්වීමට වසරකට පෙර මියගියා ය.