From Wikipedia, the free encyclopedia
රෂියා අල්-දීන් (1205 බුදාඋන් හි දී – ඔක්තෝබර් 13, 1240; සිහසුන් නාමය ජලාලත්-උද්-දීන් රෂියා) හෙවත් සාමාන්‍යයෙන් ඉතිහාසයේ රෂියා සුල්තානා ලෙස හැඳින්වෙන්නේ ඉන්දියාවේ දිල්ලියේ සුල්තානාවරියකි. ඇය විසින් 1236 නොවැම්බර් 10 දින සිට 1240 ඔක්තෝබර් 14 දින දක්වා රාජ්‍ය පාලනය මෙහෙයවන ලදී. දිල්ලි සුල්තානය පාලනය කළ පළමු සහ එකම කාන්තාව ලෙස ඇය ප්‍රකට ය.[1] නසීරුද්දීන් මහමුද් ඇගේ පූර්ණ සොයුරා විය. රුකන් උද් දීන් ෆිරූස් සහ මුයිසුද්දීන් බහ්රම් ඇගේ අර්ධ-සොයුරන් වූහ.
රෂියා සුල්තාන් | |
---|---|
දිල්ලියේ සුල්තාන් | |
රාජ්‍ය සමය | 10 නොවැම්බර් 1236 – 14 ඔක්තෝබර් 1240 |
අභිෂේකය | 10 නොවැම්බර් 1236 |
පූර්වප්‍රාප්තිකයා | රුකන් උද් දීන් ෆිරූස් |
අනුප්‍රාප්තිකයා | මුයිස් උද් දීන් බහ්රම් |
උපත | 1205 බුදාඋන්, ඉන්දියාව |
මරණය | 14 ඔක්තෝබර් 1240 (35 වියැති) දිල්ලි, සිල්ලි සුල්තාන් අධිරාජ්‍යය, වර්තමාන දිල්ලි, ඉන්දියාව |
භූමදානය | තුර්ක්මෙන් දොරටුව අසල බුල්බුල්-ඉ-ඛාන්, දිල්ලි |
වල්ලභයා | මලික් අල්තුනියා මීර්සා |
දරුවන් | සුබ්රුදීන් මීර්සා රහීල් (1237–38); හදාගත් පුත්‍රයා |
රාජවංශය | මම්ලුක් |
පියා | ඉල්තුත්මිෂ් |
මව | කුතුබ් බෙගම් |
ආගම | ඉස්ලාම් |
රෂියා උපත ලැබූයේ ෂම්ස්-උද්-දීන් ඉල්තුත්මිෂ්ගේ දියණිය ලෙසයි. තුර්කි වහලකු ලෙස සිය දිවිය ඇරඹූ ඉල්තුත්මිෂ් අවසානයේ දිල්ලියේ සුල්තාන් බවට පත් විය. ඉල්තුත්මිෂ් කෙරෙහි ඔහුගේ ස්වාමියා වූ කුතුබ් උද් දීන් ආයිබක් නැමැති දිල්ලි සුල්තාන්වරයා බෙහෙවින් ප්‍රිය කළේ ය. එබැවින් සුල්තාන්වරයා විසින් ඉල්තුත්මිෂ් (අල්තාමුෂ් හෙවත් ඉල්තාමුෂ්) හට සිය දියණිය වූ කුතුබ් බෙගම් විවාහ කරදෙන ලදී. කුතුබ් බෙගම් යනු රෂියා සුල්තානාගේ මෑණියන් ය. මෙලෙසින් කුතුබ් උද් දීන් ආයිබක් රෂියාගේ මාතෘ පාර්ශ්වීය මුත්තණුවන් වේ. වරප්‍රසාද ලත් තත්ත්ව යටතේ රෂියා හැදී වැඩුණේ අන්තඃපුරයේ (ඇගේ මව ප්‍රධානීත්වය දැරුවා ය) සහ රාජමාලිගයේ බල කඳවුරු හා සමීපව ය. එසේම ඇය ඇගේ මාතෘ පාර්ශ්වීය මුත්තණුවන්ගේ සහ සිය පියාගේ ප්‍රියතම දරුවා විය. ඇය හා සැසඳීමේ දී ඇගේ පියාට දාව, හිටපු වහල් ස්ත්රීන්ට උපන් ඇගේ අර්ධ සොයුරන් හැදී වැඩුණේ බල මූලාශ්‍රවලින් තරමක් ඈත්ව ය.
රෂියාට වයස අවුරුදු හතර සපිරෙන විට ඇගේ මාතෘ පාර්ශ්වීය මුත්තණුවන් මියගියේ ය. ඒ අනුව ඇගේ පියා වූ ඉල්තුත්මිෂ් සිහසුනට පත් විය. රෂියා සිය පියාගේ ප්රිතමයා වූවා ය. දැරියක වූ ඇයට ඇගේ පියා රාජ්‍ය කටයුතු මෙහෙයවන විට ඒ අසල රැඳීමට අවසර හිමි විය. පසුව, එකල ඇතැම් කුමරියන් මෙන් ඇයට ඇගේ පියා හෝ සැමියා නොමැති අවස්ථාවන්හි දී රාජ්‍ය පාලනය කළ යුතු ආකාරය පුහුණු කෙරිණි.[2] ඇගේ දස්කම් සහ ක්‍රියාශීලීභාවය ඇගේ මවගේ රාජකීය පෙළපතට වඩා කිසිසේත් අඩුනොවී ය. මේ නිසා රෂියා ඉල්තුත්මිෂ්ගේ ප්‍රියතම දියණිය බවට පත් විය. එසේවුව ද, ඉල්තුත්මිෂ් සිය වැඩිමහල්ම පුත්‍රයා වූ නසීරුද්දීන් මහමුද් සිය අනුප්‍රාප්තිකයා ලෙස නම්කළේ ය.
කෙසේනමුත්, 1229දී හදිසියේම නසීරුද්දීන් මියගියේ ය. ඉල්තුත්මිෂ්ට සිහසුනට පත් කිරීමට උරුමකරුවකු නොවිණි. මේ වනවිට, ඔහුගේ වෙනත් භාර්යාවන්ට දාව පුත්‍රයින් කිහිප දෙනකුම සිටිය ද, ඔවුන් සිහසුනට නුසුදුසු යැයි ඔහුට හැඟීයාම එයට හේතුවයි. 1230දී, ග්වලියෝර් ප්‍රදේශයේ ආක්‍රමණයක් සඳහා ඔහු අගනුවරින් පිටත්ව ගියේ ය. ඔහු අගනුවර නොසිටි කාලයේ සුල්තාන්ගේ විශ්වාසී අමාත්‍යවරයා සමග රෂියා අනුරාජ ලෙස එම තනතුරෙහි වැඩබලන්නට වූවා ය. 1231දී ඉල්තුත්මිෂ් නැවත දිල්ලිය වෙත පැමිණි අතර, ග්වලියෝරය අල්ලා ගැනීමෙන් පසු සිහසුනට උරුමකරුවකු නම් කිරීමට ඔහු තීරණය කොට සිටියේ ය.
ඉල්තුත්මිෂ් සිය යුව රජු ලෙස රෂියා දියණියව පත්කළේ ය. මෙලෙසින් ස්ත්‍රියක සිය අනුප්‍රාප්තිකයා ලෙස නම්කළ පළමු සුල්තාන්වරයා ලෙස ඉල්තුත්මිෂ් වාර්තාගත වේ. දිල්ලි සුල්තානයේ විසූ ප්‍රථම සහ එකම රාජ්‍ය කරන රැජිනිය රෂියා වූවා ය. නමුත් 1236 අප්‍රේල් 30වන බදාදා දින සුල්තාන් මරණයට පත්වීමත් සමග, රෂියාගේ සොහොයුරකු වූ රුකන් උද් දීන් ෆිරූස් සිහසුනට පත් විය.
රුකනුද්දීන්ගේ රාජ්‍ය සමය ඉතා කෙටි රාජ්‍ය සමයයකි. මෙකල රාජ්‍යයේ සියලු ප්‍රායෝගික කටයුතු මෙහෙයවන ලද්දේ රුකනුද්දීන්ගේ මෑණියන් මෙන්ම ඉල්තුත්මිෂ්ගේ වැන්දඹුව ද වූ ෂා තුර්කාන් විසිනි. සිය පෞද්ගලික සුඛ විහරණය පිළිබඳ පමණක් සිතූ රුකනුද්දීන් සල්ලාල දිවි පෙවෙතක් ගෙවමින් රට වැසියාට හිංසා කරන්නට විය. 1236 නොවැම්බර් 9 දින රුකනුද්දීන් සහ ඔහුගේ මව වූ ෂා තුර්කාන් යන දෙදෙනාවම ඝාතනය කෙරිණි.[3] මෙලෙසින් ඔවුනට බලයේ රැඳී සිටින්නට හැකිවූයේ මාස හයක් පමණි. නොයෙකුත් අමනාපකම් හමුවේ වුව ද, වංශවතුන් රෂියා දිල්ලියේ සුල්තාන් ලෙස පත් කිරීමට එකඟ වූහ.
රජකුට පැවතිය යුතු සියලු ගුණාංගවලින් ආඪ්‍ය වූ ඇය දක්ෂ පාලිකාවක වූවා ය. මින්හාජ්-ඉ-සිරාජ් අනුව, ඇය "විචක්ෂණශීලී, සාධාරණ, යහපත් තැනැත්තියක වූ අතර, උගතුන්ගේ අනුග්රාහිකාවත්, යුක්තිය පසිඳලන්නියන්, සිය යටත්වාසීන්ගේ රැකබලාගන්නියත් වේ. යුධමය දක්ෂතාවන්ගෙන් හෙබි ඇය රජකු පැවතිය යුතු පැසසිය යුතු සියලු ගුණාංගවලින් පොහොසත් වූවා ය. ඇය සහ ඇගේ පෙම්වතා හා පසුව සැමියා බවට පත් වූ මලික් ඉඛ්තියාර්-උද්-දීන් අල්තුනියා අතර පැවති ප්‍රේම වෘත්තාන්ත පිළිබඳ ජනප්‍රවාද ප්‍රචලිත ය."[4]
තුර්කික වංශවත්හු ඇයට ප්‍රතිරෝධය පෑමට සංවිධානාත්මක සැලසුමක් නිර්මාණය කළහ. ඔවුනට අවශ්‍ය වූයේ රාජ්‍යත්වය දුර්වල කිරීමටයි. මෙම කුමන්ත්රණයේ ප්‍රධානියා වූයේ බදාඋන්හි අණ්ඩුකාර ධුරයට පත් මලික් ඉඛ්තියාර්-උද්-දීන් අල්තුනියා ය. රැජිනිය අනුගමනය කළ ආරක්ෂක ක්‍රියාමාර්ග හේතුවෙන් දිල්ලිය තුළ මහා පරිමාණ කැරැල්ලක් ඇරඹිය නොහැකි බව අල්තුනියා වටහාගත්තේ ය. මේ නිසා ඔවුන්ගේ සැලසුම් විමසිල්ලෙන් යුතුව ක්‍රියාත්මක කළ යුතු විය. භාතින්දා ප්‍රදේශයේ ආණ්ඩුකාර මලික් ඉඛ්තියාර්-උද්-දීන් අල්තුනියා පළමුව කැරැල්ලකට පසුබිම සැකසී ය. නමුත් හමුදාවේ ප්‍රධානියා ලෙස රෂියා ක්ෂණිකව එයට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගත්තා ය. අල්තුනියා සහ ඔහුගේ ආධාරකාර කුමන්ත්‍රණකරුවෝ රෂියාව අල්ලාගත්හ. ඇයව අල්තුනියාගේ භාරයට පත්කළ සෙසු වංශවත්හු අගනුවර කරා පිටත්වූහ.[5]
රෂියා සහ භාතින්දාහි ආණ්ඩුකාර මලික් ඉඛ්තියාර්-උද්-දීන් අල්තුනියා ළමාවියේ මිතුරෝ වූහ. ඇතැමුන් පවසන්නට වූයේ ඔවුන් ළමාවියේ ළබඳි පෙම්වතුන් බව ය.කෙසේනමුත්, ඔහු භාතින්දා ප්‍රදේශයේ සිටින විට තුර්කිවරු ඇබිසීනියානු සිද්දි (හබ්ෂි) වහලකු වූ යකුට් ජමාල්-උද්-දීන් යකුට් සහ ඇය අතර සම්බන්ධයක් පවතින බවට දූෂමාන ආරංචි පැතිරවූහ.මෙය අල්තුනියා තුළ බලවත් කෝපයක් සහ ඊර්ෂ්‍යාවක් ජනිත කළ අතර, ඇයව තමන් වෙත නතු කරගැනීමේ අරමුණින් යුතුව අල්තුනියා කැරැල්ලක් මෙහෙයවන ලදී.[6]
පසුව රෂියා සහ අල්තුනියා අතර සටනක් ඇති විය. එහි ප්‍රතිඵලයක් ලෙස යකුට් මරාදැමුණු අතර රෂියාව සිරභාරයට ගැනිණි.[7] 1240 අප්‍රේල් මස භාතින්දාහි ක්විලා මුබාරක්හි ඇයව සිරගත කෙරිණි. සිරභාරයේ සිටිය ද, රෂියා සුල්තානා හට සිකුරාදා දිනවල යාඥා සඳහා හජිරත්තන් මස්ජිදය වෙත යාමට අවසර හිමි විය. ඇයව රාජ්යත්වයේම පැවති අතර, අල්තුනියා ඇයව බැහැ දැකීමට නිරත පැමිණියේ ය. එලෙසින් ඔවුන්ගේ ප්‍රේමය ජයග්‍රහණය කළ අතර, 1240 අගෝස්තු මස ඇයව නිදහස් කෙරිණි. අල්තුනියාගේ ප්‍රේමය දිනාගැනීමට සමත් වූ රෂියා ඔහු විවාහ කොට ගත්තා ය.
මේ අතර, රෂියාගේ සොහොයුරා වූ මුයිසුද්දීන් බහ්රම් ෂා සිහසුන පැහැරගත්තේ ය. අල්තුනියා සහ රෂියා සටනක දී සුල්තානේටය යළි බහ්රම්ගෙන් ලබාගැනීමට අභියෝග කළ අවස්ථාවේ, රාබි අල්-අව්වාල් A.H. 638 (1240 ඔක්තෝබර්) 14වන දින ඇය සහ ඇගේ සැමියා පරාජයට පත් විය. අනුතරුව ඔවුහු දිල්ලිය වෙත පලාගිය අතර, අනෙක් දිනයේ කයිතාල් වෙත ළඟ වූහ. නමුත් එහි විසූ ඇගේ හමුදා ඇයව හැරගියේ ය. අනතුරුව ඔවුන් දෙදෙනා ජාත්වරුන්ගේ ග්‍රහණයට හසුවූ අතර, ඔවුන්ව මංකොල්ල කනු ලැබිණි. රාබි අල්-අව්වාල් A.H. 638, 25දින ඔවුන්ව මරාදැමිණි.[8] මෙම දිනය ලෙස 1240 ඔක්තෝබර් 13 දිනය සැලකේ.[9] මේ අතර බහ්රම් 1240 සිට 1242 දක්වා රාජ්‍ය පාලනය මෙහෙයවූ අතර, පසුව අශක්නුවත්භාවය හේතුවෙන් ඔහුව සිහසුනෙන් නෙරපා දැමිණි.
රෂියා රැජිනගේ දේහය භූමදාන කළ ස්ථානය ඉතිහාසඥයන්ගේ මතභේදයට හේතු වී ඇත. රෂියා භූමදානය කළේ යැයි ස්ථාන තුන්ක යෝජනා වී ඇත. එනම් දිල්ලි, කයිතාල් සහ රාජස්ථානයේ තොන්ක් යන ප්රදේශයි.[10] ඇතැමුන් පවසන්නේ ඇය මියගිය ස්ථානයේම භූමදාන කෙරුණු බවයි.
රෂියා රැජින සිය අධිරාජ්‍යයේ සහ මහජනයාගේ අභිවෘද්ධිය සඳහා කැපවූ බව පැවසේ. ඇය ඇගේ යටත්වැසියන්ගෙන් දුරස් වී සිටි බවට කිසිදු සාධකයක් හමු නොවේ. ඇය ඔවුන් සමග එක්ව කටයුතු කළ බැව් පෙනේ.
රෂියා විසින් පාසල්, ශාස්ත්රාල, පර්යේෂණ මධ්‍යස්ථාන සහ මහජන පුස්තකාල ඉදිකරවන ලදී. මෙහි දී දාර්ශනිකයින් හට කුරානය සහ මහම්මද්ගේ සම්ප්රදායයන් හැදෑරිය හැකි විය.
රෂියා සුල්තාන් යනු රෂියා සුල්තානාවරියගේ ජීවන පුවත රැගත් 1983 චිත්‍රපටයකි. මෙහි ඇගේ චරිතය හේමා මාලිනී විසින් නිරූපණය කරන ලදී.[11]
2015දී, & TV නාළිකාව මගින් රෂියා සුල්තාන්ගේ දිවිය අලලා රූපවාහිනී කතාමාලාවක් විකාශය කරන ලදී. මෙහි ප්‍රධාන චරිතය පංඛූරි අවස්ථි විසින් නිරූපණය කරන ලදී. මෙහි සුල්තානා බවට පත්වීමේ දී ඇය මුහුණපෑ බාධා මෙන්ම අල්තුනියා සමග පැවති පෙම් සබඳතාව නිරූපණය වේ.[12]
ඇගේ සොහොන පිහිටි ස්ථානය පිළිබඳ නොයෙකුත් මතභේද පවතී. ඇගේ සොහොන්ගැබ පිළිබඳ සනාථ කෙරෙන කිසිදු පුරාවිද්‍යාත්මක හෝ ලිඛිත සාක්ෂි හමුවී නැත. මෙලෙම මතභේදයට හේතුවී ඇත්තේ ඇයව භූමදානය කෙරුණේ කයිතාල්[13] හෝ දිල්ලි හෝ තොන්ක් යන පෙදෙස්වලින් කුමන් ස්ථායක ද යන්නයි. එසේම අල්තුනියා සහ යකුට් භූමදාන කළ ස්ථානය ද මෙසේ විවාදයට තුඩු දී ඇත.
පළමු මතය නම් රෂියාගේ සොහොන පැරණි දිල්ලිගේ පටු වීදියක තුර්ක්මන් ද්වාරය අසල, ෂාජහානාබාද්හි, බුල්බුල්-ඉ-ඛානා අංගනයේ පිහිටා තිබේය යන්නයි.
රෂියා සුල්තානාගේ දේහය කයිතාල්හි භූමදානය කෙරුණු බවට ජනප්‍රවාදයක් පවතියි.[14] අල්තුනියාගේ දේහය ද ඇගේ දේහයට යාබදව භූමදානය කෙරිණි. එසේම මීට යාබදව මස්ජිදයක් ද වේ.
ඉන්දියාවේ ප්රතිරාජයා (ලින්ලිත්ගව් සාමි) 1938දී රෂියාගේ සොහොන නැරඹීමට කයිතාල් වෙත පැමිණ තිබේ. මෙම සොහොන්ගැබ ප්‍රතිසංස්කරණයට ඔහු ආධාර ප්‍රදානයක් අනුමත කළේ ය.[15] ඉන්පසුව, ඉන්දියාවේ පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්වරයා ද සොහොන නැරඹීමට පැමිණි නමුත්, දෙවන ලෝක යුද්ධය ඇරඹීම හේතුවෙන් එම ආධාර මුදල් ප්‍රතිසංස්කරණයට වැයකළ නොහැකි විය.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.