මැලේසියා එයාර්ලයින්ස් 370 පියාසැරිය
From Wikipedia, the free encyclopedia
මැලේසියා එයාර්ලයින්ස් පියාසැරි 370 (MH370), යනු බෝයිං 777-200ER මෙහෙයුම් ගණයේ අන්තර්ජාතික මගී ප්‍රවාහන ගුවන් යානයකි. ගුවන් යානය 2014 මාර්තු 8 වන දිනදී, එහි ගමන් කරමින් සිටි මගීන් 227ක් සහ කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකු සමග අතුරුදන් වූ අතර,[1][2][3] යානය දක්ෂිණ ඉන්දියන් සාගරයට කඩා වැටෙන්නට ඇතැයි මාර්තු 24 වන දිනදී තහවුරු කෙරිණි.[4]
අතුරුදන් ගුවන් යානය පිළිබඳව | |
---|---|
දිනය | 8 මාර්තු 2014 (2014-03-08) |
කෙටි විස්තරය | 2014 මාර්තු 8 දින සිට අතුරුදන් 2014 මාර්තු 24 වන දින MH370 යානය දකුණු ඉන්දීය සාගරයට කඩා වැටෙන්නට ඇති බව තහවුරු කරන ලදී. |
මගීන් ප්‍රමාණය | 227 |
කාර්ය මණ්ඩලය | 12 |
ගුවන්යානා වර්ගය | බෝයිං 777-2H6ER |
ක්‍රියාකරු | මැලේසියා එයාර්ලයින්ස් |
ලියාපදිංචිය | 9M-MRO |
පටන් ගැන්ම | ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපළ |
ගමනාන්තය | බෙයිජිං කැපිටල් ජාත්‍යන්තර ගුවන්තොටුපළ |
2014 මාර්තු 8 වන දින පැය 00:41 දී (මැලේසියානු වේලාවෙන්) මැලේසියාවේ ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපළින් නික්මුණු ගුවන් යානය, පැය 6 ක පියාසැරියකින් පසු, චීනයේ බෙයිජිං කැපිටල් ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ලඟා වීමට නියමිතව තිබුණි. පැය 01:22 දී ගුවන් යානය සහ සුබං ගුවන් මෙහෙයුම් පාලන මධ්‍යස්ථානය (Subang Air Traffic Control Centre) අතර තුබූ සම්බන්ධතා අවසන් වූ අතර, ඒ අවස්ථාවේදී ගුවන් යානය තායිලන්ත බොක්කට (Gulf of Thailand) ඉහල අහසේ පිහිටි බව සඳහන්ය. පැය 02:40 දී ගුවන් යානය අතුරුදන් වූ බවට වාර්තා වුණි.[5][6] ගුවන් යානය අතුරුදන් වීමට පෙර එහි ගමන් පථයේ නැවත හැරවුමක් වැනි දෙයක් සිය රේඩාර් පද්ධති තුල සටහන් වූ බවට, මැලේසියානු ගුවන් හමුදා ප්‍රධානියා ප්‍රකාශ කරන ලදී.[7]
සිද්ධිය වී පැය කීපයකින් පසුව, අතුරුදන් වූ ගුවන් යානය සොයා අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, චීනය, ප්‍රංශය, පිලිපීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මලයාසියාව, සිංගප්පූරුව, තායිලන්තය, සහ වියට්නාමය යන රටවල් එකතුවී, මූලික ලෙසම දකුණු චීන මුහුදේ ඒකාබද්ධ සෙවීම් මෙහෙයුමක් දියත් කරන ලදී.[8][9][10]
ගුවන් යානයේ ව්‍යාජ ගමන් බලපත්‍ර සහිතව ගමන් කල මගීන් දෙදෙනෙකු සිටි බවට හෙළි වීමත් සමග, මෙම සිදුවීමට ත්‍රස්ථවාදී සම්බන්ධයක් පැවතියේද යන්න කෙරෙහි බලදාරීන්ගේ අවධානය යොමු විය.[11][12][13]
නමුත් මාර්තු 11 වන දිනදී මැලේසියානු පොලීසිය වාර්තා කර සිටියේ ව්‍යාජ ගමන් බලපත්‍ර සහිතව ගමන් කල මගීන් දෙදෙනා ඉරාන ජාතිකයින් වූ බවයි. නීතිවිරෝධී ලෙස යුරෝපය වෙත සංක්‍රමණය වීමට ඔවුන් උත්සහ කරන්නට ඇතැයි අනුමාන කරන බවටයි පොලිසිය වාර්තා කරන ලද්දේ. මින් එක් අයෙකු 19 හැවිරිදි අයෙකු ලෙස මුලින්ම හඳුනාගත් අතර, අනෙක් පුද්ගලයා 29 හැවිරිදි අයෙකු ලෙස පසුව හඳුනා ගැනුණි. ඔවුන් ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ අය විය නොහැකි බවද වාර්තාවේ සටහන් විය.[14]
මාර්තු 24 වන දින මැලේසියානු අගමැති නජිබ් රසාක් මහතා විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, මැලේසියාවට අයත් MH370 දරණ ගුවන් යානය දක්ෂිණ ඉන්දියන් සාගරයෙන් නිමා වී (කඩා වැටී) ඇති බවට නව දත්ත අනූව තහවුරුව ඇති බවයි. මේ සම්බන්ධව වැඩි විස්තර මාර්තු 25 වන දින නිකුත් කරන බවත්, මේ පිළිබඳව මගින් යානයේ සිටි මගීන්ගේ ඥාතීන් දැනුවත් කල බවත්, කරුණාකර ඔවුන්ගේ පෞද්ගලික නිදහස සුරකින ලෙසට මාධ්‍ය වලින් ඉල්ලා සිටින බවත්, එතුමා වැඩි දුරටත් ප්‍රකාශ කරමින් කියා සිටින ලදී. මේ අතර නව දත්ත හා තොරතුරු පිළිබඳව දැනුවත් කොට යානයේ සිටි මගීන්ගේ ඥාතීන් වෙත යැවූ කෙටි පණිවිඩයෙහි, යානයේ සිටි කිසිවෙකුත් දිවි බේරා ගෙන නැති බවට සඳහන්ව තිබුණි.[15]