දළදා තේවාව
From Wikipedia, the free encyclopedia
ලක්දිව දළදා වහන්සේ වැඩම වීමෙන් පසුව කිත්සිරි මෙවන් රජතුමා පටන් වත් පිළිවෙත් රැසක් ආරම්භ විය. දළදා වහන්සේ වෙනුවෙන් පවත්වනු ලබන වසර දෙදහසකට වඩා පැරණි මෙම වත් පිළිවෙත් තුළින් බෞද්ධාගමික අනන්‍යතාවයන් හා අපූර්වතම ජාතික උරුමයක් මෙන්ම විවිධ සමාජ ස්ථරයනයන්නේ ස්වභාවය ඉස්මතු කොට දක්වයි. මෙලෙස දළදා වහන්සේ වෙනුවෙන් පවත්වනු ලබන පූජාවන් හදුන්වනු ලබන්නේ දීතේවාව” යනුවෙනි. ආහාර ගිලන්පස තෙල්මල් පහන් යනාදියෙන් දිනපතාම අලුයම් කාලයේ තේවාවද මධ්‍යහන හා සන්ධ්‍යා භාගයේ තේවාවන් ද පැවැත්වේ. අතීතයේ දෛනිකව දළදා මාලිගාව තුළ උදේ හවස පවත්වනු ලබන වතාවත් සදහා රජු විසින් ම පත් කළ වෙනමම පුද්ගල කොටස් විය. එලෙස දළදා වහන්සේ වෙනුවෙන් දෛනිකව තෙවරක් වත් පිළිවෙත් පවත්වන ලද බව විවිධ වංසකතා වල මෙන්ම විවිධ දේශාටන වාර්තාවලින් තොරතුරු රැසක් හමුවේ. දෛනිකව කෙරෙන එම තේවාව කිසියම් ව්‍යවස්ථාවකට අනුකූලව කළ යුතු බවට ඒ ඒ යුගයන්හි රජවරුන් විසින් පනවන ලද විවිධ නීති මාලාවක් ද දක්නට ලැබෙි. එම අතීත විධි විධාන අනුව යමින් වර්තමානයේ ද එම තත්වය ඒ අයුරින්ම පාරම්පරික වත්පිළිවෙත් වලට අනුකූලව සිදු කරන බව පෙනේ. අලුයම පූජාව, දවල් පූජාව ,සන්ධ්‍යා පූජාව යනුවෙන් අවස්ථා තුනකදී පැවැත්වෙන මෙම තේවාව තූළ පැහැදිළිවම පුරුෂ පාර්ශවය පමණක් යොදාගන්නා අතර වතාවත් පැවැත්වීම හා ඒ සම්බන්ධ සියලුම කටයුතු භාරවනුයේ ඉහළ යයි සම්මත කුලවල අයටය. දළදා මාලිගයේ වතාවත් සදහා පිරිමි හා භික්ෂූන් පමණක් යොදාගැනීම අතීතයේ සිදුවූවකි.