ත්‍රිමාණ සජීවීකරණය
From Wikipedia, the free encyclopedia
සන්තතිකව චලනය වන වස්තුවක් දකින බවට හඟවමින් ඇස සහ මොළය රැවටීම සඳහා තත්පරයකට රූප රාමු 12ක් (රූප රාමුවක් යනු එක් සම්පූර්ණ රූපයකි) හෝ ඊට වැඩි සංඛ්‍යාවක් පෙන්විය යුතුය. තත්පරයකට රූප රාමු 70 ඉක්මවා පෙන්වන විට තාත්වික බවේ හෝ සන්තතික චලනය පිළිබඳ හැඟීම තවදුරටත් වැඩි දියුණු වීමක් සිදු නොවේ. ඊට හේතුව ඇස සහ මොළය රූප තේරුම් ගන්නා ආකාරයයි. තත්පරයකට රූප රාමු 12කට අඩු සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කරන විට බොහෝ පුද්ගලයන්හට නව රූප රාමුවක් පෙන්වීමත් සමඟ ඇති වන ගැස්සෙන සුළු ස්වභාවය හඳුනා ගත හැකි අතර එවිට තාත්වික චලනය පිළිබඳ ඇති වූ හැඟීම බිඳ වැටේ. සාම්ප්‍රදායික ක්‍රමයට අතින් අඳිනු ලබන කාටූන් සජීවීකරණ ක්‍රමවේදයන්හි දී බොහෝ විට ඇඳිය යුතු රූප රාමු ගණන අවම කර ගැනීම සඳහා තත්පරයකට රූප රාමු 15ක් බැඟින් පෙන්වනු ලබන අතර කාටූනවල ඇති ශෛලීගත ස්වභාවය හේතුවෙන් මේ තත්වය පිළිගත හැකි වේ. නමුත් පරිගණක සජීවීකරණය මඟින් වඩාත් තාත්වික රූප නිර්මාණය කෙරෙන බැවින් තාත්වික බව තහවුරු කිරීම සඳහා පරිගණක සජීවීකරණයේ දී වඩාත් ඉහල රූප රාමු සංඛ්‍යාතයක් භාවිත කළ යුතු වේ.
ඉහල රූප රාමු සංඛ්‍යාතයන්හි දී ගැස්සෙන සුළු ස්වභාවයක් දැකිය නොහැකි වීමට හේතුව “persistence of vision” යනුවෙන් හැඳින්වේ. කුඩා කාල ප්‍රාන්තර තුළ ඇස සහ මොළය එක්ව ක්‍රියාත්මක වෙමින් ඇසට පෙනෙන දර්ශනය තත්පරයකින් පංගුවක කාලයක් ගබඩා කර තබා ගන්නා අතර එහි දී රූප රාමු අතර සිදු වන කුඩා පැනීම් ස්වයංක්‍රීයව සන්තතික තත්වයට පත් කෙරේ. ඇමරිකා එක්සත් ජනපදයේ චිත්‍රපටි ශාලාවල චිත්‍රපට ප්‍රදර්ශනය කෙරෙනුයේ තත්පරයට රූප රාමු 24ක සීඝ්‍රතාවයෙන් වන අතර මෙය සන්තතික චලනය පිළිබඳ හැඟීම ලබා දීම සඳහා ප්‍රමාණවත් වේ.