From Wikipedia, the free encyclopedia
සොංජෝ රජු (26 නොවැම්බර් 1552 – 16 මාර්තු 1608) යනු 1567 සිට 1608 දක්වා කොරියාව පාලනය කළ රජකෙනෙකි. ඔහු ජොසොන් රාජවංශයේ දාහතරවන රජු ලෙස සැලකෙයි. ඔහු ප්‍රකට වූයේ කොන්ෆියුසියානුවාදය දිරිමත් කිරීම සහ ආරම්භක රාජ්‍ය සමයේ රාජ්‍ය සබඳතා ප්‍රකෘතිමත් කරගැනීම හේතුවෙනි. පසුකාලීන සමයේ ඔහුගේ දේශපාලන අදක්ෂභාවය හේතුවෙන් දේශපාලන අරගල සහ ජපන් ආක්‍රමණ පැනනැගිණි.[1]
යි යොන් | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
ජොසොන්හි රජ | |||||||||
රාජ්‍ය සමය | 1567–1608 | ||||||||
පූර්වප්‍රාප්තිකයා | මියොංජොං (යි හ්වන්) | ||||||||
අනුප්‍රාප්තිකයා | ග්වංහේගුන් (යි හොන්) | ||||||||
අනුරජ | කිරුළහිමි කුමරු ලෙස ග්වංහේගුන් (1592–1608) | ||||||||
උපත | 26 නොවැම්බර් 1552 සෝල් | ||||||||
මරණය | 16 මාර්තු 1608 (55 වියැති) | ||||||||
බිසව | උයිඉන් අගබිසව ඉන්මොක් අගබිසව | ||||||||
දරුවන් | ග්වංහේ-ගුන් (යි හොන්) | ||||||||
| |||||||||
වංශය | ජොන්ජු යි | ||||||||
පියා | දොක්හ්‍යුං, ප්‍රධාන අභ්‍යන්තර කුමරු | ||||||||
මව | හාදොං, ප්‍රධාන අභ්‍යන්තර වල්ලභ කුමරිය | ||||||||
ආගම | කොන්ෆියුසියානුවාදය |
ජෝසුන්හි සොන්ජෝ රජ | |
හංගුල් | 선조 |
---|---|
හන්ජා | 宣祖 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | සොන්ජෝ |
මැකූන්–රයිෂවර් | සෝන්-ජෝ |
උපන් නාමය | |
හංගුල් | 이연 |
හන්ජා | 李昖 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | ය යොන් |
මැකූන්–රයිෂවර් | යි යොන් |
1552දී හන්සොං (වර්තමාන, සෝල්) නුවර යි යොන් යනුවෙන් උපත ලද සොන්ජෝ, දොක්හ්‍යුං කුමරුගේ (덕흥군) තෙවන පුත්‍රයා විය. දොක්හ්‍යුං කුමරු යනු ජුංජොං රජුට දාව රාජකීය වංශවත් චංබින් ආන්-සි උපබිසවට (창빈 안씨, 1499–1549) උපන් පුත්‍රයෙකි. යි යොන්හට “හන්සොං කුමරු” යන නාමය ලබාදෙන ලදී. මියොංජොං රජු උරුමකරුවකු නොමැතිව තරුණ වියේ දී මියයාමත් සමග රාජකීය පෙළපතේ ඉන්පසු සුදුස්සා වූයේ හන්සොං කුමරුයි. අනතුරුව රාජ මාලිගයේ තීරණය අනුව 1567දී ඔහුව සිංහාසනාරූඪ කෙරුණු අතර, එවිට ඔහුගේ වයස අවුරුදු 16කි.[1][2] එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ පියාව දේවොන්ගුන් (대원군, 'මාලිගයේ මහා කුමරු')[3] යන පදවියට උසස් කෙරිණි.
සාමාන්‍ය ජනයාගේ ජීවිත වැඩිදියුණු කිරීම සහ යොන්සන්ගුන් සහ ජුංජොං රජ සමයයන්හි දූෂිත තත්ත්වයට පත්ව තිබූ ජාතිය යළි ගොඩනැගීම කෙරෙහි සොන්ජෝගේ අවධානය යොමු විය. 1498 සහ 1545 අතර කාලයේ යොන්සන්ගුන් සහ ජුංජොං රජවරුන්ගේ සමයේ වෙනස් ශෝධන සතරක් හේතුවෙන් පීඩාවට පත්ව සිටි සරිම් විද්වතුන් දිරිමත් කිරීම ද ඔහු විසින් සිදු කරන ලදී. මියොංජොං රජුගේ දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ සොන්ජෝ යි හ්වං, යි ඉ, ජොං චොල්, සහ යු සොං-ර්යොං වැනි බොහෝ ප්‍රකට කොන්ෆියුසියානු විද්වතුන් කාර්යාල සඳහා පත්කළේ ය.[1]
සිවිල් සේවා විභාගය, විශේෂයෙන්ම සිවිල් නිලධාරී සුදුසුකම් ලැබීමේ විභාගය ප්‍රතිසංස්කරණයට ලක් කිරීම ද මෙකල සිදු විය. පෙර පැවති විභාග ක්‍රමය මගින් මූලිකව සාහිත්‍යය පිළිබඳ සලකා බැලුණු අතර දේශපාලනය හෝ ඉතිහාසය සැලකිල්ලට නොගැනිණි. රජු මෙම ක්‍රමය ප්‍රතිසංස්කරණය කරමින් නියෝග කළේ සෙසු මාතෘකා ද සැලකිල්ලට ගත යුතු බවටයි. 1519 තෙවන වියත් ශෝධනයේ දී මියගිය ජෝ ග්වං-ජෝ වැනි විද්වතුන්ගේ නම් වරදින් මුදා හළ මෙතුමා, ජුංජොං රජ සමයේ සිටි නම් ගොන් වැනි දූෂිත වංශවතුන්ට ප්‍රසිද්ධියේ චෝදනා කළේ ය. මෙම ක්‍රියාමාර්ග හේතුවෙන් සාමාන්‍ය ජනයාගේ ගෞරවය රජුට හිමි වූ අතර, රාජ්‍යය කෙටි කාලීන නිදහස් යුගයක් භුක්ති වින්දේ ය.[1][4]
සොන්ජෝ රජු විසින් රජයට පැමිණීමට ආරාධනා කළ විද්වතුන් අතර සිම් උයි-ග්යොම් සහ කිම් හ්යෝවොන් ද විය. දැඩි ගතානුගතික පුද්ගලයකු වූ සිම් අගබිසවගේ ඥාතියකු විය.[5] කිම් යනු නිදහස් මතවාදී ප්‍රතිසංස්කරණ සඳහා හඬනැගූ නව පරපුරේ නිලධාරීන්ගේ ප්‍රධානියෙකි.[6] මේ හේතුවෙන් සොන්ජෝ රජුට සහාය වූ විද්වත්හු සිම් සහ කිම්ගේ නායකත්වයෙන් යුත් පාර්ශ්ව දෙකකට බෙදුණහ. මෙම පක්ෂ දෙකෙහිම සාමාජිකයන් එකම ප්‍රදේශය ජීවත් වූ නමුත්, සිම් පාක්ෂිකයන් නගරයේ බටහිර පෙදෙසේ විසූ අතර, කිම්ගේ අනුගාමිකයින් නගරයේ නැගෙනහිර පෙදෙසේ පදිංචිකරුවන් වූහ. මේ නිසා මෙම පක්ෂ දෙක බටහිර පක්ෂය සහ නැගෙනහිර පක්ෂය නම් විය. මෙම ද්විත්ව-පක්ෂ මූලික කරගත් දේශපාලන ක්‍රමය වසර 200ක් පමණ පැවති අතර, එය රාජවංශයේ බිඳවැටීමට ද හේතු විය.[2][4]
සිම්, අගබිසවගේ ඥාතියකු වූ හෙයින් සහ ධනවත් වංශවතුන්ගේ සහාය හිමි වී තිබූ හෙයින් පළමුව බටහිර කණ්ඩායමට රජුගේ ප්‍රසාදය හිමි විය. කෙසේනමුත් ප්‍රතිසංස්කරණ පිළිබඳ ඔවුන්ගේ අදහස් සහ සිම්ගේ අවිනිශ්චිත ස්වභාවිය හේතුවෙන් බටහිර කණ්ඩායමට හිමිව තිබූ ප්‍රසාදය හීන වී නැගෙනහිර පක්ෂයට රජුගේ ප්‍රසාදය හිමි විය. නැගෙනහිර පාක්ෂිකයන්ගේ බලපෑම හේතුවෙන් මුල්කාලයේ ප්‍රතිසංස්කරණ ශීඝ්‍රයෙන් ක්‍රියාත්මක විය. නමුත් පසුව බොහෝ නැගෙනහිර පාක්ෂිකයෝ ප්‍රතිසංස්කරණ මන්දගාමී කරන්නට ප්රයත්න දැරූහ. මේ හේතුවෙන් නැගෙනහිර පක්ෂය නැවත උත්තර සහ දක්ෂිණ පක්ෂය ලෙස කොටස් දෙකකට බෙදිණි. යු සොං-ර්යොං විසින් දක්ෂිණ පක්ෂය මෙහෙයවූ අතර, උත්තර පක්ෂය ආරවුල් හේතුවෙන් නැවත කොටස්වලට කැඩීගියේ ය. ඉන් වඩාත් වාමාංශික පක්ෂය මහා උත්තර පක්ෂයයි. කුඩා උත්තර පාක්ෂිකයෝ මහා උත්තර පාක්ෂිකයන්ට වඩා අඩු ප්‍රතිසංස්කරණ නැඹුරුතාවක් පෙන්වූවද, දක්ෂිණ පක්ෂයට වඩා වැඩි වාමාංශික ස්වරූපයක් පෙන්වූහ.[2]
මෙම දේශපාලන පක්ෂ බෙදීම් නිසා ජාතිය දුර්වල වූ අතර, යුධ හමුදාවේ ප්‍රමාණය ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයෙහි ප්රමුඛ විෂයයක් විය. උදාසීන මතයක් දැරූ යි ඉ අනාගතයේ ජුර්චෙන්වරුන්ගෙන් සහ ජපන් ආක්රමණවලින් ආරක්ෂා වීමට හමුදාවේ ප්‍රමාණය විශාල කරන මෙන් රජුට උපදෙස් දුන්නේ ය. කෙසේනමුත් දෙපක්ෂයම යිගේ යෝජනා ප්‍රතික්ෂේප කළහ. සාමකාමී යුගයක් පවතීවි යැයි වූ මතය හේතුවෙන් හමුදාවේ ප්‍රමාණය ක්‍රමයෙන් අඩු කෙරිණි. ජුර්චෙන්වරු සහ ජපන්නු මෙය නැගෙනහිර ආසියාවේ සිය බලය පැතිරවීමට ඇති අවස්ථාවක් ලෙස දුටුවෝ ය. මෙහි ප්‍රතිඵලයක් ලෙස සත් අවුරුදු යුද්ධය සහ චීනයේ ක්විං රාජවංශය බිහි වූ අතර, කොරියානු අර්ධද්වීපයට ආක්‍රමණ එල්ල වන්නට විය.[4]
මෙම නව තර්ජන හේතුවෙන් සොන්ජෝ රජු දැඩි අපහසුතාවයකට පත් විය. දක්ෂ යුධ සෙන්පතීන් උතුරු පෙරමුණ වෙත යැවීමට ඔහුට සිදු වූ අතර දකුණින් ඔඩා නොබුනගා, ටොයොටොමි හිදෙයොෂි සහ ටොකුගාවා ඉයාසු යන ජපන් පාලකයින් සමග සටන් වැදීමට සිදු විය. කෙසේනමුත් ටොයොටොමි හිදෙයොෂි විසින් ජපානය එක්සත් කළ පසු, ජපානය ඔවුනට දැඩි තර්ජනයක් බව පෙනෙන්නට තිබිණි. සිය රාජ්‍යය ජපනුන්ට යටත් වේ යැයි බොහෝ කොරියානුවෝ බියට පත්වූහ. රාජධානියේ ආරක්ෂාව පිළිබඳසිතූ බොහෝ නිලධාරීහු හිදෙයොෂි වෙත දූතයන් පිටත් කර හරින මෙන් රජුගෙන් ඉල්ලා සිටියහ. ඔවුනට අවශ්‍ය වූයේ හිදෙයොෂි ආක්‍රමණයකට සැරසෙන්නේ ද යන්න දැන ගැනීමටයි. කෙසේනමුත් රාජ්‍ය පක්ෂ ද්විත්වය ජාතික වැදගත්කමක් ඇති මෙම ගැටලුව පිළිබඳ එකඟත්වයකට පැමිණියේ නැත. මේ හේතුවෙන් සෑම පක්ෂයකින් එක් නියෝජිතයකු බැගින් හිදෙයොෂි වෙත පිටත් කරන මෙන් සම්මුතියකට එළැඹිණි. ඔවුන් නැවත කොරියාව වෙත පැමිණි විට ඔවුන්ගේ වාර්තා පැටලිලි සහගත විය.[1][2][4] බටහිර පක්ෂයේ හ්වං යුන්-ගිල් වාර්තා කළේ හිදෙයොෂි අතිවිශාල හමුදාවක් සංවිධානය කරන බවයි.[7] නමුත් නැගෙනහිර පක්ෂයේ කිම් සොං-ඉල් පැවසූයේ එම විශාල හමුදා කොරියාවට එරෙහි යුද්ධයක් සඳහා යැයි තමන් නොසිතන බවයි. කිම්ට අවශ්‍යව තිබුණේ අවනීතිය වළක්වන සිය ප්‍රතිසංස්කරණ ශීඝ්‍ර කොට ගම්බද පෙදෙස්වල සැරිසැරූ දාමරිකයන් පලවා හැරීමටයි.[8] මෙකල රජය තුළ ප්‍රධානත්වය නැගෙනහිර පක්ෂයට හිමි වූ බැවින්, හ්වංගේ වාර්තාව නොසළකා හැරිණි. ආසියාව ආක්‍රමණයට ඇති සිය අභිප්‍රාය හිදෙයොෂිගේ ලිපිය මගින් පැහැදිළිව පෙනුණත්, සොන්ජෝ යුද්ධයක් සඳහා සූදානම් වූයේ නැත.[7][9]
1591දී නියෝජිතයන් ජපානයේ සිට නැවත පැමිණි විට, ටොයොටොමි හිදෙයොෂි සිය දූතයන් සොන්ජෝ වෙත පිටත් කර හැරි අතර, කොරියානු අර්ධද්වීපය හරහා චීනය ආක්‍රමණයට ඔහු අවසර ඉල්ලා සිටියේ ය. මෙය ජොසොන් රාජධානිය ආක්‍රමණය කිරීමක් හා සමාන විය. පුදුමයට පත් වූ රජු ජපන් ඉල්ලීම ප්‍රතික්ෂේප කොට, කොරියානු-චීන සන්ධානයට එරෙහිව ජපනුන් යුද්ධයට සූදානම් බව දන්වමින් බෙයිජිං වෙත ලිපියක් යැවී ය. මීට අමතරව වෙරළබඩ ප්‍රදේශවල බලකොටු ඉදි කිරීමට නියෝග කළ ඔහු යුද්ධයට සූදානම් වීම සඳහා සින් රිප් සහ යි ඉ යන සෙන්පතීන් දකුණු වෙරළ තීරය වෙත පිටත්කළේ ය. කොරියානුවන් යුද්ධයට සූදානම් වන අතරතුර, ජපන්නු සිය බොහෝ සෙබලුන්ට තුවක්කු නිර්මාණය කරගත් අතර සම්පූර්ණ රාජ්‍යය හරහාම ගමන් කිරීමට සිය හමුදාව පුහුණු කරන්නට වූහ.[9][10]
1592 අප්‍රේල් 13 දින කොනිෂි යුකිනගාගේ නායකත්වයෙන් යුත් ජපන් නැව් 700ක් පමණ කොරියාව ආක්‍රමණයට පැමිණියේ ය. කොනිෂි පහසුවෙන්ම බුසන් බලකොටුව සහ දොංග්ලේ බලකොටුව ගිනිබත් කොට ජොං බල් සහ සොං සං-හ්යොන් යන සෙන්පතීන්ව මරාදමා උතුර වෙත ගමන්කළේ ය. ඊළඟ දිනයේ කටෝ කියෝමසා සහ කුරෝඩා නගමසාගේ නායකත්වයෙන් යුත් තවත් හමුදා ගොඩබට අතර, ඔවුහු හන්යං කරා පැමිණියෝ ය. ටොඩෝ ටකටෝරා සහ කුකි යොෂිටකාගේ නායකත්වයෙන් යුත් විශාල නාවික බලඇණියක් ඔවුන්ගේ සහායට පැමිණියේ ය. යි සෙන්පතියා සහ කටෝ කියොමසා අතර සංජු සටන ඇති වූ අතර ඉන් ජපානය ජයගත්තේ ය. අනතුරුව යි ඉල්, සින් රිප් සෙන්පතියාට එකතු වී සටන් කළ ද, ඔවුන්ගේ සංයුක්ත හමුදා ද, කටෝ කියොමසා විසින් චුංජු සටනේ දී පරාජයට පත්කරන ලදී. අනතුරුව සෝන්ජෝ රජු විසින් සෙන්පති කිම් මියොං-වොන්ව ප්‍රධාන ආඥාපති සහ සේනාධිපති ලෙස නම්කොට අගනුවර ආරක්ෂා කිරීමට නියෝග කරන ලදී. ජපනුන් අගනුවර අල්ලා ගැනීමට උත්සාහ දැරූ හෙයින් රජු ප්යොංග්යැං වෙත පලාගියේ ය. ප්යොංග්යැං බිඳවැටීමට ආසන්න වන විට ඔහු උතුරු දේශසීමාවේ උයිජු නගරය වෙත පලාගියේ ය. රජු අගනුවර නොසිටි හෙයින් රජය පිළිබඳ බලාපොරොත්තු බිඳවැටුණු බොහෝ වැසියෝ මාලිගයට කඩා වැදී බොහෝ පොදු ගොඩනැගිලි ගිනිබත් කළහ. මෙහි දී ජපනුන් අගනුවර අල්ලා ගැනීමේ දී සිදු වූ හානියට වඩා විශාල හානියක් සිදු විය.[9][10]
සටන්වලින් හමුදා සතු සෙබලුන් විනාශ වන්නට වුවද, කොරියානු නාවික හමුදාව ජපන් හමුදාවේ සාගර සැපයුම් සාර්ථකව අවහිර කිරීමට සමත් විය. නාවික සෙන්පති යි සුන්-සින් විසින් ජපන් නාවික බලඇණි කිහිපවරක්ම පරාජය කළ අතර, ජපන් සැපයුම් නැව්වලට බොහෝ හානි ද සිදුකරන ලදී. නාවික හමුදාව සැපයුම් අවහිර කරන විට, ලි රුසොං සෙන්පතියාගේ නායකත්වයෙන් යුත් චීන හමුදා ද පැමිණි අතර, ඔවුහු ජපන් හමුදා දකුණට පලවා හැර ක්‍රමයෙන් ප්යොග්යැං අත්පත් කරගත්හ. බ්යොක්ජෙග්වන් සටනේ දී කොනිෂි යුකිනගා විසින් සාර්ථකව ජපන් ආක්‍රමණය මැඬලීම හේතුවෙන් කොරියානුවන්ට උතුරට පසුබැසීමට සිදු වන බව පෙනිණි.[11] නමුත් හංජුහි සටනේ දී කුඩා හමුදාවක් ආධාරයෙන් ජපනුන් පැරදවීමට ග්වොන් යුල් සෙන්පතියා සමත් විය.[12] අනතුරුව ජපනුන් සාම සාක්ච්ඡා පැවැත්වීමට තීරණය කළේ ය. මෙම සාකච්ඡාවලදී කොරියානුවන් නැවත සෝල් වෙත යළි පැමිණි අතර, එහි වූ සියලු මාලිග දැවී ගොස් තිබිණි. එහි වූ පැරණි රාජකීය පවුලේ නිවසක් ප්‍රතිසංස්කරණය කළ සොන්ජෝ එය දොක්සුගුං යනුවෙන් නැවත නම්කළේ ය. මෙය නිල මාලිගා අතුරින් අකක් බවට පත් විය.[13]
දෙපාර්ශ්වය අතර අවබෝධය හිග වීම සහ කොරියානුවන්ගේ වැරදි අර්ථකථනය හේතුවෙන් චීනය සහ ජපානය අතර සාම සාකච්ඡා අසාර්ථක විය. 1597දී ජපන්නු නැවත වරක් කොරියාව ආක්‍රමණය කළහ. නමුත් මේ වන විට ජාතීන් ත්‍රිත්වයම යුද්ධය සඳහා හොඳන් සූදානම් වී සිටියේ ය. මේ හේතුවෙන් 1592දී තරම් පහසුවෙන් සටනෙහි නිරත වීමට ජපනුන්ටඅ වසථාව නොලැබිණි. ගොඩබිම් මෙන්ම මුහුදු මාර්ග ඔස්සේ ජපන්නු හන්යං ආක්‍රමණයට උත්සාහ කළහ. මුල දී චිල්චොන්ර්යැංහි සටනෙන් ටොඩෝ ටකටෝරා විසින් යොන් ග්‍යුන් සෙන්පතියා පරාජය කිරීමත් සමග, ඔවුන්ගේ සැලසුම සාර්ථක වන බව පෙනෙන්නට තිබිණි.[14] නමුත් යි සුන්-සින් නැමැති නාවික සෙන්පතියාගේ නායකත්වයෙන් යුත් නැව් 13කින් පමණක් යුතු වූ කොරියානු නාවික හමුදාව විසින් මියොංන්යැං සටනේ දී ටොඩෝ ටකටෝරාගේ ජපන් නාවික බලඇණි පරාජය කිරීමත් සමග මෙම තත්ත්වය වෙනස් විය. මෙම සටන යුද්ධය අවසන් වීමට බලපෑ අතර 1598දී ටොයොටොමි හිදෙයොෂිගේ හදිසි මරණය හේතුවෙන් ජපන්නු කොරියාවෙන් පසුබසින්නට වූහ. නොර්යැංහි සටන යුද්ධයේ නිමාව සනිටුහන් කළේ ය. එහි දී, කොනිෂි යුකිනගා යටතේ වූ අවසන් ජපන් හමුදා ඒකක ද කොරියාවෙන් පිටව ගියහ.[4][9][10]
යුධ පුහුණු පහසුකම් සැපයීම සහ බදු ක්‍රමය ප්‍රතිසංස්කරණය වැනි ප්‍රතිපත්ති සොන්ජෝ විසින් අනුගමනය කළ ද යුද්ධයේ ප්‍රතිඵලය වූයේ හානි වූ බිම් සහ කුසගින්නෙන් පෙළුණු ජනතාවක් බිහි වීම ය.[1] යුද්ධයෙන් පසු දේශපාලන පක්ෂවල ආරවුල් සහ සාගත හේතුවෙන් ජාතිය යළි නගා සිටුවීම බෙහෙවින් දුෂ්කර කටයුත්තක් විය.[2] රාජ්‍ය පාලනය පිළිබඳ බලාපොරොත්තු ක්ෂීණ වූ සොන්ජෝ කිරුළහිමි ග්වංහේගුන් කුමරුට සිය තනතුරෙහි වැඩ බැලීමට පැවරී ය. කෙසේනමුත් අගබිසව විසින් පුත්‍රයකුට (ග්වංහේගුන් යනු රජුගේ උපබිසවක වූ කිම් ආර්යාවගේ දෙවන පුත්‍රයායි) උපත ලබා දීමත් සමග සිහසුනට තරගයක් ඇති විය.[15] 1608දී සොන්ජෝ රජු මියගිය අතර, දේශපාලන බෙදීම් සහ විදේශ තර්ජන හේතුවෙන් රාජ්‍යය අඳුරු තත්ත්වයකට පත්ව පැවතිණි.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.