From Wikipedia, the free encyclopedia
සුක්ජොං (7 ඔක්තෝබර් 1661 – 12 ජූලි 1720) යනු කොරියාවේ ජොසොන් රාජවංශයේ 19වන රජු වූ අතර, ඔහු 1674 සිට 1720 දක්වා පාලනය ගෙගියේ ය. කෘතහස්ත දේශපාලඥයකු වූ මොහු සිය රාජ්‍ය සමය තුළ බහුවිධ දේශපාලන වෙනස්කම් සිදුකළේ ය. එහිදී ඔහු දක්ෂිණ, බටහිර, සොරොන් සහ නොරොන් දේශපාලන පක්ෂ සමග සම්බන්ධතා පැවැත්වී ය.
සුක්ජොං රජ | |
---|---|
ජොසොන්හි රජ | |
රාජ්‍ය සමය | 1674–1720 |
පූර්වප්‍රාප්තිකයා | හ්යොන්ජොං රජු |
අනුප්‍රාප්තිකයා | ග්යොංජොං රජු |
උපත | 7 ඔක්තෝබර් 1661 චංදොක්ගුං මාලිගය, කොරියාව |
මරණය | 1720 ගෝයැං, ග්යොංගි පළාත, කොරියාව |
භූමදානය | මියොංර්යුං, ගෝයැං |
වල්ලභයා | ඉන්ග්යොං අගබිසව ඉන්හ්යොන් අගබිසව ඉන්වොන් අගබිසව රාජකීය වංශවත් හුයි බිසව, උපබිසවකි රාජකීය වංශවත් සුක් බිසව, උපබිසවකි රාජකීය වංශවත් ම්යොං බිසව රාජකීය වංශවත් යොං බිසව, උපබිසවකි ග්වයි-ඉන් කිම්, උපබිසවකි සෝ-උයි යු, උපබිසවකි සෝ-උයි චෝයි, උපබිසවකි |
දරුවන් | ජොසොන්හි ග්යොංජොං රජු සොංසු කුමරු යොංසු කුමරු ජොසොන්හි යොංජෝ රජු නම් නොලද පුත්‍රයෙක් යොන්ඒයොං කුමරු නම් නොලද පුත්‍රයෙක් නම් නොලද දියණියක් නම් නොලද දියණියක් |
වංශය | යි ගෘහය |
පියා | ජොසොන්හි හ්යොන්ජොං රජු |
මව | චොංපුං කිම් වංශයේ මියොංසොං අගබිසව |
ජෝසුන්හි සුක්ජොං රජ | |
හංගුල් | 숙종 |
---|---|
හන්ජා | 肅宗 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | සුක්ජොං |
මැකූන්–රයිෂවර් | සුක්චොං |
උපන් නාමය | |
හංගුල් | 이순 |
හන්ජා | 李焞 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | ඉ සුන් |
මැකූන්–රයිෂවර් | යි සුන් |
සුක්ජොං රජු උපත ලැබූයේ 1661 සැප්තැම්බර් 8 (8වන චන්ද්‍ර මාසයේ 15වන දිනය) දින හ්යොන්ජොං රජු සහ මියොංසොං අගබිසවට දාව චංදොක්ගුං මාලිගය තුළදී ය. ඔහුට ඉ සුන් නැමැති උපන් නාමය ලබා දෙන ලදී. 1667දී සය වියැති ඔහු කිරුළහිමි ම්යොංබෝ කුමරු බවට පත් විය. 1674දී, 13වන වියේදී ඔහු ජොසොන් රාජවංශයේ 19වන පාලකයා බවට පත් විය.
සුක්ජොං රජු දීප්තිමත් දේශපාලඥයකු වුවද, ඔහුගේ රාජ්‍ය සමය ජොසොන් රාජවංශයේ දේශපාලන පක්ෂ අතර තීව්රතම අරගලවලින් පිරි සමයක් ලෙස සැලකෙයි. සිය රාජකීය අධිකාරය ශක්තිමත් කරගැනීමට සුක්ජොං එකක් පසු අනෙක වශයෙන් දේශපාලන පක්ෂ අතර බලය හුවමාරු කළේ ය. රාජ්‍යය වෙනස්වීම යන අරුතැති හ්වංගුක් (හංගුල්:환국;හන්ජා:換局) යනුවෙන් හැඳින් වූ, මෙම ආණ්ඩුව වෙනස් වූ සෑම අවස්ථාවකම, පරාජිත පක්ෂය දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම නෙරපනු ලැබූ අතර, එහි බොහෝ සාමාජිකයන්ට දඬුවම් කිරීම හෝ පිටුවහල් කිරීම සිදු විය. එසේවුවත්, මෙම ආණ්ඩුවේ අවුල් සහගත වෙනස්වීම් මහජනයාට එතරම් බලපෑවේ නැත මේ නිසා ඔහුගේ සමය වඩාත් සමෘද්ධිමත් සමයන්ගෙන් එකක් ලෙස සැලකේ.
සුක්ජොංගේ සමයේ මුල්කාලයේ ඉන්සුන් අගබිසව වෙනුවෙන් ශෝකවීමේ කාලය පිළිබඳ රාජකීය අවමංගල්‍ය විවාදයේදී දක්ෂිණ පක්ෂය සහ බටහිර පක්ෂය ගැටෙන්නට වූහ. දක්ෂිණ පක්ෂය පැවසූයේ ශෝකවීමේ කාලය වසරක් පැවතිය යුතු බවයි. නමුත් බටහිර පක්ෂය මාස නවයකින් යුත් ශෝක කාලයක් ඉල්ලා සිටියේ ය. වසරක ශෝක කාලයක් යන්නෙන් අදහස් කළේ හ්යෝජොං රජු වැඩිමහල් පුත්‍රයා ලෙස පිළිගත් බවයි. නමුත් මාස 9ක ශෝක කාලය අනුව යැංබැන් පාන්තික සම්ප්රදාය අනුව, හ්යෝජොං වැඩිමහප්ම පුත්‍රයා ලෙස නොසැලකි. වෙනත් අයුරකින් කියතොත්, බටහිර පක්ෂය සැලකූයේ රාජකීය පවුල යැංබැන් පන්තියේ පළමු මට්ටම ලෙස වන අතර, ඔවුන් විසින් රජ පවුල වෙනත් සමාජ පන්තියක් ලෙස නොසලකන ලදී. එමෙ මෙම පක්ෂ දෙක ම්ලේච්ඡ රාජ්‍යයක් ලෙස සැලකුණු ක්විං රාජවංශය (මිං රාජවංශයට එරෙහි වීම නිසා) මගින් ජොසොන් රාජ්‍යයේ ජාතික ආරක්ෂාවට එල්ල වූ තර්ජනය වැළැක්වීමට ඔවුන් සමග සටන් කිරීම පිළිබඳව ද ආරවුල් ඇතිකර ගත්හ. හියෝ ජොක් සහ යුන් හ්යු විසින් මෙහෙයවන ලද දක්ෂිණ පක්ෂය ක්විං රාජ්‍යයට එරෙහි යුද්ධයට සහාය පලකළ අතර, බටහිර පක්ෂයට අවශ්‍ය වූයේ මුලින්ම රටේ අභ්‍යන්තර තත්ත්වය පිළිබඳ අවධානය යොමු කිරීමටයි.
සුක්ජොං පළමුව දක්ෂිණ පක්ෂයේ පැත්ත ගත්තේ ය. නමුත් 1680දී, බටහිර පක්ෂය විසින් හියෝ ජොක්ට රාජද්‍රෝහී චෝදනා එල්ල කළ අතර, අනතකුරුව හියෝ ජොක් ස යුන් හ්යුට දඬුවම් පමුණුවා දක්ෂිණ පක්ෂය නෙරපන ලදී. මෙම සිදුවීම ග්යොංසින් හ්වංගුක් (경신환국) ලෙස හඳුන්වයි. අනතුරුව බලයේ පැවති බටහිර පක්ෂය නැවත සොං සියොල්ගේ නායකත්වයෙන් යුත් නොරොන් (පැරණි ඉගෙනීම) සහ යුන් ජ්යුංගේ නායකත්වයෙන් යුත් සොරොන් (නව ඉගෙනීම) ලෙස පක්ෂ දෙකකට දෙකඩ විය. වකර නවයක් බලය හෙබවීමෙන් පසු සුක්ජොං රජු විසින් බටහිර පක්ෂයේ සහාය ලද ඉන්හ්යොන් අගබිසව නෙරපීමෙන් පසු නොරොන් පක්ෂය බිඳවැටිණි. අනතුරුව ජෑං වංශයේ හුයි උපබිසව (ජෑං උපබිසව හෝ ජෑං හුයි-බින් ලෙස ද හඳුන්වයි) අගබිසෝ තනතුරට පත්කෙරිණි. ඇය ජොසොන් රාජවංශ සමයේ සිටි රූමත්ම කාන්තාවන් අතුරින් අයකු ලෙස පිළිගැනේ. ඇගේ රූපසෝභාව පිළිබඳ වාර්ෂික සටහන්වල පවා සඳහන් වේ. සුක්ජොං රජු පක්ෂය ජෑං උපබිසවගේ පුත්‍රයාව කිරුළහිමි කුමරු තනතුරට නම් කිරීමට උත්සාහ දරන විට බටහිර පක්ෂය සුක්ජොංට විරුද්ධ වූ බැවින්, ඔවුහු සුක්ජොංගේ කෝපයට ලක් වූහ. ජෑං උපබිසව සහ ඇගේ පුත්‍රයාට සහාය පලකළ දක්ෂිණ පක්ෂය මාලිගයේ බලයට පත්ව බටහිර පක්ෂය පන්නා දැමූයේ, සොං සියොල්ට දඬුවම් පැමිණවීමෙනි. මෙම සිද්ධිය ගිසා හ්වංගුක් (기사환국) ලෙස හඳුන්වයි.
වසර පහකට පසු 1694දී, සුක්ජොං බලයෙන් පහකළ ඉන්හ්යොන් අගබිසව පිළිබඳ පසුතැවෙන්නට වූ අතර, ඔහු නොරොන් පක්ෂයේ සහ ඉන්හ්යොන් අගබිසවගේ පාක්ෂිකාවක වූ චෝයි වංශයේ සුක් උපබිසව (චෝයි උපබිසව)ට ප්රියකිරීමත් සමග දක්ෂිණ පක්ෂය, බටහිර පක්ෂය වෙත කුමන්ත්‍රණ චෝදනා එල්ලකළේ ඉන්හ්යොන් අගබිසව නැවත තනතුරේ පිහිටුවීමට කුමන්ත්‍රණය කරන බව පවසමිනි. බටහිර පාක්ෂිකයනට දඬුවම් කිරීමට දක්ෂිණ පක්ෂය ගත් උත්සාහය පිළිබඳ කෝපයට පත් වූ සුක්ජොං සක්ෂිණ බක්ෂය මාලිගයෙන් නෙරපා බටහිර පක්ෂය නැවත බලයට පත්කළේ ය. මෙම පරාජයත් සමග දක්ෂිණ පක්ෂය යළි කිසිදින යථා තත්ත්වයට පත් වූයේ නැත. මෙම සිදුවීම ගප්සුල් හ්වංගුක් (갑술환국) ලෙස හඳුන්වයි. අනතුරුව සුක්ජොං රජු "ජෑං අගබිසව" නැවත "ජෑං හුයි-බින්" ලෙස උපබිසවක් දක්වා ධුරයෙන් පහත හෙළූ අතර, "ඉන්හ්යොන් අගබිසව" නැවත තනතුරේ පිහිටුවන ලදී. ඉන්හ්යොන් අගබිසවගේ මරණය සඳහා ශාප කිරීම (ගුරුකමක් කිරීම) හේතුවෙන් ජෑං උපබිසවට මරණ දඬුවම (වස දීමෙන්) ලබා දිණි. ජෑං උපබිසවගේ පුත්‍රයා වූ කිරුළහිමි හ්වයිසෝ (යි-යුන්) කුමරුට සොරොන් පක්ෂයේ සහාය හිමි විය. නමුත් සොරොන් පක්ෂය සහාය දැක්වූයේ චෝයි උපබිසවගේ පුත්‍රයා වූ පසුව ජොසොන්හි යොංජෝ රජු බවට පත් වූ යෝනිං කුමරුට (යි-ගූම්) යි. "ඉන්හ්යොන් අගබිසව" මෙන්ම ඇගේ මරණින් පසු අගබිසෝ තනතුරට පත් "ඉන්වොන් අගබිසව"ට ද දරුවන් සිටියේ නැත.
1718දී, සුක්ජොං රජු කිරුළ හිමි කුමරුට (නොබෝ කලකින් ජොසොන්හි ග්යොංජෝ රජු බවට පත් වන) උපරජු ලෙස රාජ්‍ය පාලනය කිරීමට අවස්ථාව ලබා දෙයි. 1720දී සුක්ජොං රජු මියගිය අතර, මියයාමට පෙර ඔහු යි යි-ම්යොංහට යෝනිං-ගුම් කුමරුව ග්යොංජොංගේ අනුප්‍රාප්තිකයා ලෙස නම් කරන ලෙස ඉල්ලූ බව පැවසේ. නමුත් මෙය ඉතිහාස වාර්තාවන් හෝ මූලාශ්රවල සඳහන් නොවේ. මෙය තවත් දඬුවම් පැමිණවීමකට හේතු වූ අතර, එහිදී 1721දී නොරොන් නායකයින් සතර දෙනකු ද, නැවත 1722දී තවත් නොරොන් සාමාජිකයින් අට දෙනකුට ද මරණයට පත්කිරීමට හේතු විය.
සුක්ජොං රජු බදු ක්‍රමය ප්‍රතිසංස්කරණය (大同法) කළ අතර, කාසි භාවිතය (කොරියානු මුන්) ප්‍රචලිත කළේ ය. එසේම ඔහු මධ්‍යම පාන්තිකයින්ට සහ උපභාර්යාවන්ගේ දරුවනට පළාත්වල ඉහළ රාජ්‍ය තනතුරු හෙබවීමට අවස්ථා සලසා දුන්නේ ය. 1712දී, සුක්ජොං රජය චීනයේ ක්විං රාජවංශය සමග එක්ව යාලු සහ ටුමෙන් යන ගංගා අසල රාජ්‍යයන් දෙකෙහි දේශසීමා නිර්ණය කළේ ය. 1696දී ජපන් රජය විසින් උල්ල්යොං දූපත් ජොසොන් රාජ්‍යයට අයත් බව පිළිගන්නා ලදී. (කොරියානු රජය පවසන්නේ ලියැන්කෝට් ගල් කුළු ද එසේ පිළිගැනුණු බවයි.[1] නමුත් ජපන් රජය පැවසූයේ ලියැන්කෝට් ගල් කුළු ජොසොන් රාජ්‍යයට අයත් බව පිළිනොගැනුණු බවයි.[2])
සුක්ජොංගේ සමයේ දුරබැහැර පළාත්වල පවා කෘෂිකර්මාන්තය දියුණු වූ අතර, මුද්‍රණ කටයුතු ඇතුළු සංස්කෘතික කටයුතු පවා ඉහළ ගියේ ය. වසර 46ක් රාජ්‍ය පාලනය කිරීමෙන් පසු 1720දී සුක්ජොං රජු මරණයට පත් වන විට ඔහුගේ වයස අවුරුදු 60කි. ඔහුගේ දේහය ග්යොංගි පළාතේ මියොංර්යුං (명릉) පෙදෙසේ, එනම් ගෝයැං නගරයේ බටහිර පංච රාජකීය සොහොන් (西五陵 서오릉 සියෝර්යුං) පෙදෙස තුළ භූමදානය කරන ලදී.
ඇය පිළිබඳ දන්නේ තොරතුරු ස්වල්පයකි. ඇය මිර්යැං පාක් වංශයේ (හංගුල්: 밀양 박씨, හන්ජා: 密陽 朴氏) යැංබැන්වරයකු වූ පාක් හ්යෝ-ගොන්ගේ (හංගුල්: 박효건, හන්ජා: 朴孝建) දියණියයි. ඇය රාජ මාලිගයට ඇතුළත් වූයේ ගුංන්යෝවරියක් ලෙස ය. 1698දී, එනම් සුක්ජොං රජුගේ විසි හතරවන වර්ෂයේ එකොලොස්වන මාසයේ සිව්වන දිනයේ ඇයව සුක්-වොන් නිලයේ රාජකීය උපබිසවක් බවට පත්කරන ලදී. 1699දී, සුක්ජොං රජුගේ විසි පස්වන වර්ෂයේ දසවන මාසයේ විසි තුන්වන දිනයේ ඇයව සුක්-උයි තනතුරට උසස් කරන ලද්දේ යි හ්වොන් (යොන්ර්යොං කුමරු) කුමරුට උපත ලබාදීමෙන් පසුවයි. අනතුරුව 1702දී, එනම් සුක්ජොං රජුගේ විසි අටවන වර්ෂයේ දසවන මාසයේ දහඅටවන දිනයේ ඇයව මියොං-බින් (ම්යෝ 명 - යනු "දීප්තිමත්" යන්නයි) තනතුරට ඔසවා තබන ලදී. 1703දී, එනම් සුක්ජොං රජුගේ විසි නවවන වර්ෂයේ හක්වන මාසයේ පහළොස්වන දිනයේ ඇය මියගියා ය.
යොන්ර්යොං කුමරු සුක්ජොං රජුගේ ප්‍රියතම පුත්‍රයා වූ බව කියැවේ. 1720දී සිදු වූ සුක්ජොංගේ මරණයට වර්ෂයකට පෙර එනම්, 1719දී කුමරු මියගියේ ය. මේ පුවත අසා සුක්ජොං රජු මහත් සේ ශෝකයට පත් විය. අවමංගල කටයුතු සඳහා රජුට සහභාගී වීමට අවශ්‍ය වුවත්, නිලධාරීන් එයට අවසර නොදුන්නේ එමගින් රජුගේ රෝගී තත්ත්වය උත්සන්න විය හැකි බැවිනි. යොන්ර්යොං කුමරුට දරුවන් නොසිටි නිසා කුමරුගේ පෙළපත ඉදිරියට ගෙනයාමට සුක්ජොං රජු වෙනත් කුමරකු යොන්ර්යොං කුමරුගේ "හදාගත් පුත්‍රයා" ලෙස නම්කළ බව පැවසේ. යොන්ර්යොං කුමරුගේ දේහය ඔහුගේ මව ළුූ පාක් මියොංබින් උපබිසවගේ සොහොන අසල භූමදාන කරන ලදී.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.