ජලාශ්‍රිත පුරා විද්‍යාව
From Wikipedia, the free encyclopedia
ජලාශ්‍රිත පුරා විද්‍යාව යනු බෝට්ටු වර්ග, වෙරළාශ්‍රිත ඉදි කිරීම්, බඩු බාහිරාදිය, මානව නෂ්ටාවශේෂ සහ දියෙන් වැසුණු භූමි ප්‍රදේශ අධ්‍යයනය මඟින් මුහුදු, ජලාශ සහ ගංඟාවන් සහ මිනිසා අතර පැවති අන්තර් ක්‍රියාවන් අධ්‍යයනය කරනු ලබන පුරා විද්‍යාත්මක ක්ෂේත්රයකි.මෙම ක්ෂේත්රයෙහි විශේෂිත කොටසක් වන්නේ දිය යට ඇති වස්තූන් සම්බන්ධ පුරා විද්‍යාවයි. මේ ඔස්සේ අතීතය සම්බන්ධ තොරතුරු ගිලී ගිය වස්තූන් ඇසුරෙන් අධ්‍යයනය කරනු ලැබේ. මෙම ක්ෂේත්රයට අයත් තවත් විශේෂිත කොටසක් ලෙස නාවුක පුරා විද්‍යාව හැඳින්විය හැකි අතර ඒ ඔසසේ විවිධ නාවුක යාත්‍රා නිර්මාණය සහ ඒවා භාවිතය පිළිබඳව අධ්‍යයනය කරනු ලැබේ.
සාමාන්‍යයෙන් ජලාශ්‍රිත පුරා විද්‍යාවට අයත් වන පුරා විද්‍යාත්මක ස්ථානයන් මුහුදු බත් වූ නාවුක යාත්‍රා හේතුවෙන් හෝ භූ විද්‍යාත්මක ව්‍යසනයන් හේතුවෙන් හට ගන්නා අතර ඒ හේතුවෙන් එවැනි ස්ථානයන් ආශ්‍රිතව කාලයත් සමඟ ක්‍රමයෙන් තැන්පත් වූ වස්තූන් සමූහයක් වෙනුවට අතීතයේ කිසියම් මොහොතකට අනුරූප වස්තුන් සමූහයක් හමු වීම සිදු වේ. මේ හේතුවෙන් ඇතැම් විට ගිලී ගිය නාවුක යාත්‍රා කාල කැප්සුල ලෙස ද හැඳින්වේ.
මුහුදෙහි හෝ වෙනත් ජලජ පරිසරයක ගිලී පවතින පුරා විද්‍යාත්මක ද්‍රව්‍යයන් භූමිය මත පවතින මානවකෘතීන්ට සාපේක්ෂව යටත් වන්නා වූ බලපෑම් එකිනෙකින් වෙනස් වේ. කෙසේ නමුත් භූමිය හා සම්බන්ධ පුරා විද්‍යාත්මක කටයුතුවල දී මෙන්ම මෙවන් පරිසරයන්හි දී ද නූතන පුරා විද්‍යාඥයන් මඟින් අන්වේෂණය කළ හැකි පරිද්දෙන් ඉතිරි වනුයේ ආරම්භයේ තැන්පත් වූ ද්‍රව්‍ය ප්‍රමාණයෙන් කුඩා කොටසකි. කෙසේ නමුත් ජලාශ්‍රිත පුරා විද්‍යාවේ වැදගත් ලක්ෂණයක් වනුයේ එසේ කාලයත් සමඟ බොහෝ විට ද්‍රව්‍ය රැසක් විනාශයට භාජනය වන නමුත් ඇතැම් දුලබ අවස්ථාවන් හි දී ඉතා විශාල ද්‍රව්‍ය ප්‍රමාණයක් පරිහානියකින් තොරව ඉතිරි වීමයි. එවැනි අවස්ථාවන් හමු වූ විට ඒ ඔස්සේ විශාල තොරතුරු ප්‍රමාණයක් රැස් කරගත හැකි වේ.
පුරා විද්‍යාඥයින් අතරින් ඇතැමෙක් ජලාශ්‍රිත පුරා විද්‍යාව සම්පූර්ණයෙන්ම වෙන් වූ පුරා විද්‍යා ක්ෂේත්රයක් ලෙස සලකන අතර ඔවුන්ගේ මතය වන්නේ මෙම ක්ෂේත්රයට මුහුදුබත් වූ නාවුක යාත්‍රා වැනි විශේෂිත පුරා විද්‍යාත්මක ස්ථානයන් සහ ඒවා අන්වේෂණය කිරීමට අවශ්‍ය වන දිය යට පුරා විද්‍යාත්මක කටයුතු සිදු කිරීමේ දක්ෂතාවයන් අයත් වන බවයි. කෙසේ නමුත් ඇතැම් පුරා විද්‍යාඥයන්ගේ මතය වන්නේ නාවුක කටයුතු ගොඩ බිම හා සම්බන්ධ සමාජීය හා ආර්ථික කටයුතු හා බැඳී පවතින බැවින් ජලාශ්‍රිත පුරා විද්‍යාව එසේ වෙන් වූ ක්ෂේත්රයක් ලෙස නොසැලකිය යුතු බවයි.