කුමාර් සංගක්කාර විසින් රැස් කොට ඇති ජාත්‍යන්තර ක්‍රිකට් ශතක ලැයිස්තුව
විකිමීඩියා ලැයිස්තු ලිපිය / From Wikipedia, the free encyclopedia
කුමාර් සංගක්කාර යනු, ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමෙහි හිටපු නායකයෙකු වෙයි. වමතින් පිත්ත හසුරුවන හා ලැයිස්තුවේ ඉහළින් පිටියට පිවිසෙන පිතිකරුවෙකු වන ඔහු, ක්‍රීඩාවෙහි එක් දින ජාත්‍යන්තරය (එදිජා) සහ විස්සයි20 ජාත්‍යන්තරය (වි20ජා) ආකෘතීන්හීදී කඩුළු-රකින්නා ලෙස ක්‍රීඩා කරයි. ඉංග්‍රීසි ක්‍රිකට් ලේඛක පීටර් රෝබක් විස්තර කරන පරිදී "පිතිකරුවන් අතර වඩාත් බැබලෙන සහ නැණවත් අයෙකු" වන සංගක්කාර,[1] 2014 අගෝස්තු 20 දින වන විට, ටෙස්ට් සහ එදිජා තරග වලදී, පිළිවෙලින් 37 සහ 19 වතාවකදී, ශතක (තනි ඉනිමකදී 100 ක් ඊට වැඩි ලකුණු ප්‍රමාණයක්) රැස් කර ගෙන ඇත. ටෙස්ට් පිතිකරුවන් සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල (අයිසීසී) අනුස්ථිතියෙහි ඉහළම ස්ථානයෙහි වැජඹිමට ඔහු විටින් විට සමත්ව ඇත. [2][3] 2014 අගෝස්තු 20 දින වන විට සංගක්කාර එසේ අයිසීසී ටෙස්ට් පිතිකරු අනුස්ථිතියෙහි ඉහළම ස්ථානයෙහි සිටියි. [4] ඔහු විසින් ලද ප්‍රදාන අතර, වසරේ එදිජා ක්‍රිකට් ක්‍රීඩකයා, අයිසීසී ලෝක XI ටෙස්ට් කණ්ඩායමේ නායකයා සහ, 2011 අයිසීසී ජනතාවගේ මනාපය ප්රදානය (මෙම සියල්ල 2011 අයිසීසී ප්‍රදාන තුලදී) මෙන්ම,[5] 2012 දී විස්ඩන් වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසින් නම් කිරීමද විය.[6]
සංගක්කාර විසින් සිය ටෙස්ට් මංගලාවතරණය සිදු කලේ, 2000 වසරෙහි ජූලි මාසයේදී දකුණු අප්‍රිකාවට එරෙහිවය. [7] ඔහු විසින් ඔහුගේ මංගල ශතකය, 2001දී ඉන්දියාවට එරෙහිව රැස් කල අතර,[8] 2002 ආසියානු ටෙස්ට් ශූරතාවයෙහි අවසන් තරගයෙහිදී පකිස්තානයට එරෙහිව ඔහුගේ මංගල ද්විත්ව-ශතකය රැස් කර ගති.[9] ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙහිදී සංගක්කාරගේ වැඩිම ලකුණු සංඛ්‍යාව 319 ක් වන අතර, එය ඔහු විසින් රැස් කෙරුණේ බංග්ලාදේශයට එරෙහිව 2014 වසරෙහිදීය. දකුණු අප්‍රිකාවට එරෙහිව, ඔහුගේ ලකුණු 287 ක ඉනිම තුලදී, ටෙස්ට් හෝ පළමු-පෙළ ක්‍රිකට් ඕනෑම විකට්ටුවක් වෙනුවෙන් ඉහළම සම්බන්ධතාවය ලෙසින් ලකුණු 624 ක නව ලෝක වාර්තාවක්, ඔහු සහ මහේල ජයවර්ධන විසින් පිහිටුවන ලදි. [10][N 1] ඊළඟ වසරෙහිදී, බංග්ලාදේශයට එරෙහිව පිට-පිට ද්විත්ව-ශතක වාර්තාකරගත් ඔහු, ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙහිදී එසේ අනුයාත ද්විත්ව-ශතක රැස් කළ පස්වන අවස්ථාව වාර්තා කළේය.[12][N 2]ටෙස්ට් තරගයකදී ලකුණු 200 ක් හෝ වැඩියෙන් රැස් කිරීම ඔහු විසින් නව වතාවක් සිදු කර ඇති අතර, බ්‍රයන් ලාරා විසින්ද ඒ හා සමාන වතාවක් මෙම දක්ෂතාවය සිදු කරමින්, ලකුණු 200 ක් හෝ වැඩියෙන් රැස් කිරීම නව වතාවක් සිදු කර ඇත; මෙයට වඩා වතාවක් මෙය සිදු කර ඇත්තේ ඩොනල්ඩ් බ්‍රැඩ්මන් පමණි.
පකිස්තානයට එරෙහිව, 2000 ජූලි මාසයේදී සිය එදිජා මංගලාවතරණය සිදු කළ ඔහු, මෙම ක්‍රීඩා ආකෘතියෙහි ඔහුගේ පළමු ශතකය, 2003 චෙරි බ්ලොසම් සාජා කුසලාන අතරතුර, එම කණ්ඩායමටම එරෙහිව රැස් කළේය. [13][14] ඔහුගේ එදිජා අභිවෘත්තියෙහි ආරම්භය "අතිශයින් සාමාන්‍යය" එකක් වූයේ යැයි එක් ක්‍රිකට් මාධ්‍යවේදියෙක් පැවසුවේ, වසර සතරක් ඇතුළත ඔහු විසින් රැස් කෙරුණේ ශතක දෙකක් පමණක් නිසාය. [15] 2013දී දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී දකුණු අප්‍රිකාවට එරෙහිව, කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඔහු විසින් සිය වැඩිම ලකුණු සංඛ්‍යාව වූ 169 රැස් කර ගති. නායකයා වශයෙන් සංගක්කාරගේ එකම එදිජා ශතකය 2011 අයිසීසී ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තයට එරෙහිව පැවැති කණ්ඩායම් අවධියේ තරගයකදී රැස් කර ගන්නා ලදි. [16] එදිජා ලකුණු 10,000 වෙත ලඟාවූ තුන්වැනි ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා සහ වේගයෙන්ම එය සාක්ෂාත් කරගැනුමට සමත්වූ ක්‍රීඩකයා වීමට 2011–12 කොමන්වෙල්ත් බෑන්ක් තරගාවලියේ සයවන තරගයෙහිදී සංගක්කාර සමත් විය.[17] 2014 අප්‍රේල් වන විට, ඔහු විසින් වි20ජා ශතකයක් රැස් කර ගෙන නොතිබීය; මෙම ආකෘතියෙහි ඔහුගේ වැඩිම ලකුණු සංඛ්‍යාව වනුයේ ලකුණු 78 කි.[18]