එඩ්ගා ඇලන් පෝ
From Wikipedia, the free encyclopedia
එඩ්ගා ඇලන් පෝ යනු ඇමරිකානු ග්‍රන්ථකර්තෘවරයෙකු, කවියෙකු, සංස්කාරවරයෙකු, සාහිත්‍ය විචාරකයෙකු ආදී ලෙස ලෙස හදුන්වා දිය හැකිය."මිස්ට්‍රි" හා "මැකබ්ර" යන කෘතීන්ගෙන් වඩාත් ප්‍රසිද්ධියට පත් පෝ මුල්කාලීන ඇමරිකානු කෙටිකතා නියුක්තිකයන්ගෙන් එක් අයෙකි. මොහු රහස් පරීක්ෂක ප්‍රබන්ධ කතා සාහිත්‍යයේ පුරෝගාමියා ලෙස සැලකෙන අතර විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍ය උදෙසා කරන ලද දායකත්වය වෙනුවෙන් සම්මානයටද පාත්‍ර විය. තම ආර්ථිකමය හා වෘත්තීමය දුෂ්කරතා හේතුකොටගෙන වෘත්තීමය ලේඛනයට පිවිසි පෝ, එමගින් පමණක් ජිවිකාව උපයා ගැනීමට උත්සහ කරන ලද ප්‍රකට ඇමරිකානු කතුවරයන්ගෙන් පලමුවැන්නා ලෙස ද හදුන්වා දිය හැකිය.
නාට්‍ය ශිල්පීන් දෙපලකගේ දෙවන දරුවා ලෙස උපන් පෝ ගේ පියා 1810 දී සිය පවුල හැර ගියේය. ඉන් අනතුරු වසරේදී ඔහුගේ මව මෙලොව හැර ගියාය. මෙලෙස අනාථභාවයට පත් පෝ දරුවා වර්ජිනියාවේ රිච්මන්ඩ් හි ජීවත් වූ ජෝන් සහ ෆ්රාන්සස් ඇලන් නම් දෙපල විසින් දරුවෙකු ලෙස හදා ගනු ලබයි. එහෙත් එය නීත්‍යානුකූලව සිදු කරන ලද්දක් නොවේ. එසේ වුවද පෝ තම තුරුණු විය දක්වාම ඔවුන් සමඟ සහයෝගයෙන් ජීවත් වී ඇති බව සඳහන් වේ.ජෝන් ඇලන් හා පෝ අතර ඝට්ටනය නිරතුරුව හටගන්නේ සූදුව නිස ඇතිවන ණයවීම් හා පෝ ගේ ද්වීතික අධ්‍යාපනය කරන්නට සිදුවූ වියදම හමුවේය. වර්ජිනියා විශ්ව විද්‍යාලයට ඇතුළත්වී පළමු වර්ෂාර්ධය පමණක් අවසන් කොට ආර්ථික අපහසුතා හමුවේ එය අතහැර දමන ඔහු සිය අධ්‍යාපන වියදම් වෙනුවෙන් පමණ ඉක්මවා මුදල් ඉල්ලමින් ඇලන් හා නිරන්තර අරගල කළේය. 1827 දී අන්වර්ථ නාමයක් යටතේ හමුදාව සේවයට බඳවා ගනු ලබන පෝ ඒ වනවිට ද සිය වෘත්තීමය ලේඛන දිවිය ආරම්භ කොට තිබිණ. ඒ "ටැම(ර්)ලන් හා වෙනත් කවි" යන කවි එකතුව ප්‍රකාශයට පත් කිරීමෙනි. එහෙත් ඔහු එහි සිය නාමය ඇතුලත් කළේ නැත. 1829 දී ෆ්රාන්සස් ඇලන් ගේ මිය යාමෙන් අනතුරුව පෝ හා ජෝන් ඇලන් තාවකාලික මිත්‍රත්වයකට පැමිණියහ. පසුකාලීනව උතුරු ප්‍රදේශයේ කැඩෙට් නිළධාරියෙකු ලෙස සේවයේ යෙදීමට අසමත් වීමත් කවියෙකු හා කතුවරයෙකු වීමට තිර අදිටනක පසුවන බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව පෝ හා ජෝන් ඇලන් එකිනෙකාගෙන් වෙන්වූහ.
ඉන් අනතුරු වසර කිහිපය සාහිත්‍යමය සඟරා හා වාර සඟරා වෙනුවෙන් කැප කරමින් කාලය ගත කරන පෝ, විචාර සාහිත්‍යය ජිවිතයේ සිය අනන්‍යතාවය ගොඩ නඟා ගත්තේය. ලේඛනය හේතුවෙන් බැල්ටිමෝ, ෆිලදෙල්ෆියා, නිව්යෝ(ර්)ක් ආදී නගර කිහිපයකම සංචාරයේ යෙදීමට ඔහුට සිදු විය. 1835 දී බැටිල්මෝ නගරයේදී සිය දහතුන් හැවිරිදි ඥාති සොයුරිය හා විවාහ දිවියට පත්වන පෝ 1845 දී "රාවෙන්" නමින් පද්‍ය කාව්‍යය ප්‍රකාශයට පත් කළේය. එය ප්‍රකාශයට පත්වීමෙන් වසර දෙකක් ගත වන විට ඔහුට සිය බිරිය අහිමි වන්නේ ඇය ක්ෂය රෝගයයෙන් මිය යාම හේතුවෙනි. මේ අසහාය කලාකරුවා සිය හතලිස්වන වියේදී අවාසනාවන්ත ලෙස සිය අවසන් ගමන් යන්නේ එම මරණයට හේතු වූ කරුණ ද ලොවට රහසක්ව තබමිනි. එහෙත් මද්‍යසාර, බුද්ධි සංකූලතාවය, කොළරාව, මත්ද්‍රව්‍ය, හෘද්‍යාබාධය, ජල භීතිකාව, සියදිවි නසා ගැනීම, ක්ෂය රෝගය ආදී ඒ යැයි සැක කළ හැකි කරුණු කිහිපයක්ම සොයා ගත හැකිව ඇත. පෝ සහ ඔහුගේ ක්‍රියා කලාපයන් ඇමරිකානු සාහිත්‍යයට මෙන්ම මුළු ලෝක සාහිත්‍යටම මහත් බලපෑමක් සිදු කළ බව නොරහසකි. එසේම අජටාකාශ විද්‍යාව මෙන්ම ගුප්ත ලේඛන කලාව වෙනුවෙන් ද ඔහු මහත් මෙහෙයක් ඉටු කොට තිබේ. ඔහුගේ නිවාස කිහිපයක්ම අද කෞතුකාගාරයන් බවට පත් වී ඇත. රහස් පරීක්ෂක කතා සාහිත්‍යය උදෙසා ඔහු කරන ලද මෙහෙය අරඹයා ඇමරිකානු රහස් පරීක්ෂක කතාකරුවන් වෙත පිදෙන වාර්ෂික ත්‍යාගය "එඩ්ගා තිළිණය" ලෙසින් නම් කොට තිබේ.