ඊගා
From Wikipedia, the free encyclopedia
ඊගා (සිංහල: මැස්සා) යනු කේ. වී. විජයේන්ද්‍ර ප්‍රසාද් විසින් රචනා කරන ලද, ඔහුගේ පුත් එස්. එස්. රාජමෞලි විසින් අධ්‍යක්ෂණය කළ 2012 ඉන්දියානු ද්වීභාෂා ෆැන්ටසි චිත්‍රපටයකි. මෙය නිෂ්පාදනය කරන ලද්දේ කෝරපති රංගනාථ සායිගේ වරාහි චලන චිත්‍රම් ආයතනය විසිනි. මිලියන 260 සිට 400 දක්වා වූ ඇස්තමේන්තුගත අයවැයක් ඇතිව නිපදවූ මෙය තෙලිඟු සහ දෙමළ භාෂාවලින් සමගාමීව නිර්මාණය විය. මින් දෙමළ ප්‍රභේදය නාන් ඊ (මම, මැස්සා) ලෙස නම්කෙරිණි. චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ සුදීප්, නානි, සහ සමන්තා රුත් ප්‍රභූ විසිනි. මෙහි ධ්වනිපථය සහ ස්වර ලිපි එම්. එම්. කීරවානි විසින් නිමවන ලදී. මෙහි ඡායාරූපකරණ අධ්‍යක්ෂකවරයා ලෙස කේ. කේ. සෙන්තිල් කුමාර් කටයුතු කළ අතර, චිත්‍රපටය සංස්කරණය කරන ලද්දේ කෝටගිරි වෙන්කටේස්වරා රාඕ විසිනි. මෙහි තෙලිඟු සහ දෙමළ ප්‍රභේද සඳහා පිළිවෙලින් ජනාර්ධන් මහාඍෂි සහ ක්‍රේසි මෝහන් විසින් දෙබස් රචනා කරන ලදී.
ඊගා | |
---|---|
![]() තෙලිඟු ප්‍රභේදය සඳහා සිනමාශාලා පෝස්ටරයක් | |
අධ්‍යක්ෂණය | එස්. එස්. රාජමෞලි |
රචනය |
|
තිර රචනය | එස්. එස්. රාජමෞලි |
නිශ්පාදනය |
|
රංගන ශිල්පීන් |
|
සිනෙමාරූපණය | කේ. කේ. සෙන්තිල් කුමාර් |
සංස්කරණය | කෝටගිරි වෙන්කටේස්වරා රාඕ |
සංගීතය | එම්. එම්. කීරවානි |
Production company | වරාහි චලන චිත්‍රම් |
බෙදාහැරීම |
|
නිකුත්වූ දිනය | 2012 ජූලි 6 |
තිර කාලය | මිනිත්තු 134[1] |
රට | ඉන්දියාව |
භාෂා |
|
පිරිවැය | ![]() |
ආදායම | ![]() |
ඊගාහි කථන විලාසය පියකු විසින් සිය දියණියට නින්දට යාමට පෙර පවසන කථාවක ආකාරයෙන් යුතු ය. මෙහි ප්‍රධාන චරිතය වන නානි සිය අසල්වැසි බින්දු හට පෙම් කරයි. බින්දු වෙත ආකර්ෂණය වන ධනවත් ව්‍යාපාරික සුදීප් නානිව මරා දමන්නේ ඔහු තමන්ට බාධාවක් ලෙස සලකමිනි. නානි ගෙමැස්සකු ලෙස යළි උපත ලබන අතර, ඔහු බින්දුව ආරක්ෂා කරමින් සිය මරණය වෙනුවෙන් පළිගන්නට උත්සාහ දරයි.
චිත්‍රපටය පිළිබඳ අදහස පහළ වූයේ 1990 දශකයේ ප්‍රසාද් විසින් මිනිසකුගෙන් පළිගන්නට උත්සාහ දරන මැස්සකු පිළිබඳ පවසමින් රාජමෞලිට විහිළු කළ අවස්ථාවකයි. මරියාද රාමණ්ණා (2010) චිත්‍රපටය අවසන් කිරීමෙන් පසුව රාජමෞලි මෙම සංකල්පය පිළිබඳ සිය අවධානය යොමු කළේ ය. ප්‍රසාද් එය තිර පිටපතක් ලෙස ගොඩනැගී ය. චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු 2010 දෙසැම්බර් 7 දින හයිදරාබාද්හි රාමනායිදු ස්ටූඩියෝස්හි දී ආරම්භ විය. මෙහි ප්‍රධාන ඡායාරූපකරණය 2011 පෙබරවාරි 22 දින ඇරඹි අතර, එය 2012 පෙබරවාරි තෙක් සිදු විය. ඊගාහි දෘශ්‍ය ප්‍රයෝග සහ ඩිජිටල් අතරමැදි කටයුතු මෙහෙයවන ලද්දේ පිළිවෙලින් මකුට VFX සහ අන්නපූර්ණ ස්ටූඩියෝස් ආයතන විසිනි.
චිත්‍රපටයේ ප්‍රභේද දෙක සමග ඊචා ලෙස මලයාලම් හඬකැවූ ප්‍රභේදය 2012 ජූලි 6 දින ලොව පුරා සිනමාහල් 1,100 පමණ ප්‍රදර්ශනය වීම ඇරඹිණි. ප්‍රධාන නළු නිළියන්ගේ රංගනය, රාජමෞලිගේ අධ්‍යක්ෂණය සහ දෘශ්‍ය ප්‍රයෝග විචාරක පැසසුමට ලක් විය. බිලියන 1.25 ඉක්මවූ ආදායමක් හිමි කරගත් ඊගා චිත්‍රපටය වසරේ ඉහළම ආදායම් ලබන තෙලිඟු චිත්‍රපට අතුරින් එකක් විය. මෙහි හින්දි හඬකැවූ ප්‍රභේදය මක්ඛි යන නාමයෙන් 2012 ඔක්තෝබර් 12 දින මුදාහැරුණු නමුත් සෙසු චිත්‍රපට මෙන් එය ආර්ථික වශයෙන් එතරම් සාර්ථක වූයේ නැත. ඊගා ජාතික චිත්‍රපට සම්මාන දෙකක් (හොඳම තෙලිඟු වෘත්තාන්ත චිත්‍රපටය සහ හොඳම විශේෂ ප්‍රයෝග), ෆිල්ම්ෆෙයාර් සම්මාන පහක්, සහ දකුණු ඉන්දියානු අන්තර්ජාතික චිත්‍රපට සම්මාන තුනක් හිමි කරගෙන ඇත. මෙම චිත්‍රපටය ටොරන්ටෝ ආෆ්ටර් ඩාර්ක් චිත්‍රපට උළෙල, ෂැංහයි අන්තර්ජාතික චිත්‍රපට උළෙල, සහ මැඩ්රිඩ් අන්තර්ජාතික චිත්‍රපට උළෙලවල්හි දී ප්‍රදර්ශනය කොට තිබේ.