ආශා බෝස්ලේ
ඉන්දියානු ගායිකාවක / From Wikipedia, the free encyclopedia
ආශා බෝස්ලේ (උපත 1933 සැප්තැම්බර් 8) යනු ඉන්දියානු ගායිකාවක වේ. හින්දි සිනමාවේ පසුබිම් ගායිකාවක ලෙස ඇය ප්රකටව සිටී.[1][2] ඇයගේ සංගීත දිවිය ආරම්භ වන්නේ වර්ෂ 1943 සිට වන අතර ඇය වසර 60 කට අධික කාලයක් වර්තමානය දක්වා මෙම ක්ෂේත්රයේ රැදී සිටී. ඇය බොලිවුඩ් සිනමා නිර්මාණ දහසකට අධික ප්රමාණයකට පසුබිම් ගායනයෙන් දායක වී ඇත. මීට අමතරව බෝස්ලේ පෞද්ගලික ඇල්බම රාශියකටද, ඒක පුද්ගල ප්රසංග ගණනාවකටද ඉන්දියාවේදී මෙන්ම පිටරට වලදීද සහභාගී වී ඇත.[3][4] බෝස්ලේ පසුබිම් ගායිකා ලතා මන්ගේෂ්කාර්ගේ සහෝදරියක් වේ.
බෝස්ලේගේ ගීත අතර, චිත්රපට ගීත, පොප් ගීත, බජන් ගීත, පාරම්පරික ඉන්දියානු ගීත, ජන ගීත ආදිය වේ. හින්දි භාෂා ගීත වලට අමතරව, වෙනත් ඉන්දියානු භාෂා ගීත සහ විදේශීය භාෂා ගීත 20කට අධික ප්රමාණයක්ද ඊට අයත් වෙයි.[5] වර්ෂ 2006දී ඇය පවසන්නේ ඇය ගීත 12,000ක් පමණ ගායනා කළ බවයි.[6] ඇය ගැයූ මෙම ගීත ප්රමණය සම්බන්ධව වෙනත් මූලාශ්රයන්හීද දැක ගත හැකි වෙයි.[7] 2011හිදී, ලෝක ගිනස් වාර්තා පොතට අනුව ඉතිහාසයේ වැඩිම ගීත ගායනා කල පුද්ගලයා බවට ඇය නිළ වශයෙන් නම් කරන ලදී.[8] ඉන්දියානු රජය ඇයට වර්ෂ 2000දී දඩසාහෙබ් පහල්කේ සම්මානයද, වර්ෂ 2008දී පද්ම විභූශණ සම්මානයද පුදන ලදී.[9]